UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

භාරතයේ භූමිකාව

සිංහල බෞද්ධ ජන ජීවිතයට අතිශයින් සමීප පූජනීය චරිත දෙක වන ගෞතම බුදුන් වහන්සේ ගේ මෙන් ම මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ද නිජබිම වූයේ ඉන්දියාව ය. එම ඉන්දීය සම්භවය මේ උත්තරීතර මනුෂ්‍යයන් දෙදෙනා වෙත ගෞරව දැක්වීමේ දී සිංහල බෞද්ධයාට කිසි විටෙක බාධකයක් වන බව නො පෙනේ. එ පමණක් ද නො ව මේ උත්තරීතර මනුෂ්‍යයන් දෙදෙනා ගේ ඉන්දීය සම්භවය ඉන්දියානුවන් ගේ ජන ජීවිතය සමඟ පූජනීය සබඳතාවක් ඇති කිරීමට හේතු වී නොමැත.

මනුෂ්‍යත්වයේ සැබෑ අගය රඳා පවතිනුයේ ජාතිය මත නො වන බව මේ අනුව පැහැදිලි විය යුතු කරුණකි. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මෙහි දී අපට උදාහරණ වශයෙන් ගැනීමට පුළුවන.

එහෙත්, ජාතිය නමැති සාධකය අප සියලු දෙනා ගේ ජීවිත පැවැත්ම පිළිබඳ ව තීරණය කැරෙන තත්ත්වයක් අද උදා වී තිබේ. උත්තරීතර මිනිස් දහමක් ලොවට දායාද කළ බුදු රදුන් උපන් දේශයේ ජනතාව හා බුදු රදුන් ගේ දහම ජීවිතයේ කොටසක් බවට පත් කැර ගත් දේශයක ජනතාව අතර වාර්ගික වුවමනාවන් නිසා අද වන විට මතභේද උත්සන්න වී ඇත. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ඉන්දියාව මැදිහත් වී සටන් විරාමයක් ඇති කළ යුතු යැයි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩු නියෝජිතයන් ගේ සර්ව පාක්‍ෂික සමුළුවක දී තීරණය කිරීමත් සමඟ මේ තත්ත්වය ඇති විය.

තමිල්නාඩු මහ ඇමැති ඇම්. කරුණානිධි විසින් නායකත්වය දෙන මේ වාර්ගික දේශපාලනය ඉන්දු –ලංකා සබඳතා කෙරෙහි ඉතා අහිතකර අයුරින් බලපා තිබේ. මෙය, මිහිඳු හිමියන් ගේ විශිෂ්ට රාජතාන්ත්‍රික දූත මෙහෙවර අභියෝගයට ලක් කිරීමකි. ඉන්දු – ලංකා සබඳතා කෙරෙහි යම් යම් අහිතකර බලපෑම් ඉතිහාසය පුරා එල්ල වී ඇතත්, වත්මන් තත්ත්වය ඉතා තීරණාත්මක ය. මෙහි බැරූරුම්කම තේරුම් ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වශයෙන් සිට පසු ව ඉන්දියාවේ විදේශ ලේකම් තනතුරට පත් ජේ.එන්.ඩික්සිත් ලියූ ‘කොළඹ භූමිකාව‘ නමැති කෘතිය මෙ සේ උපුටා දක්වමු.

“1986 අගවන විට එල්.ටී.ටී.ඊ. ප්‍රචාරාත්මක ව්‍යාපාරයෙහි විශේෂ වැදගත් මට්ටමේ උසස් දේශපාලනික අභිලාෂයන් ඉස්මතු වන්නට පටන් ගති. ද්‍රවිඩ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා මූලික පියවරක් වශයෙන් ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන අතර ඉන්පසු තමිල්නාඩුව, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්, අග්නිදිග ආසියාවේ වැඩි වශයෙන් ද්‍රවිඩයන් වාසය කරන ප්‍රදේශ හා මොරිෂස් යා කැරෙමින් මහා ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහන් විය. මේ සංකල්පයේ පදනම වූයේ ඉන්දීය භූමියේ දකුණු දිග කලාපයෙහි හා ඉන්දීය සාගරයේ උතුරට වන්නට පැවැති අති පැරැණි වාර්ගික - භාෂාමය ශිෂ්ටාචාරය වත්මන් ජාතික රාජ්‍ය ව්‍යුහය ඉක්මවමින් යළි ඇති කිරීම ය. මේ සිද්ධාන්තය සවිස්තර ලෙස ප්‍රසිද්ධ කැරෙනු නො ලැබුවත් එල්.ටී.ටී.ඊ. යේ ප්‍රචාරාත්මක ලියකියවිලි වල මෙකී යටි ප්‍රවාහය විද්‍යමාන විය.”

මෙ බඳු අරමුණකින් යුතු ව සන්නද්ධ අරගලයක නිරත වී සිටින එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් වාර්ගික පදනමකින් පෙනී සිටීම ඉන්දියාවේ පැවැත්ම අනතුරකට ලක් කිරීමක් නො වේ ද? ක්‍රි.පූ. හයවන සියවසේ දී සිදුහත් කුමරු සිය රාජකීය උරුමය පමණක් නො ව බ්‍රාහ්මණ හින්දු මතවාදය ද ඉවත දමා නව දර්ශනයක් සොයා ගිය ආකාරය මේ අවස්ථාවේ දී සිහිපත් කිරීම වැදගත් ය. බුදු රදුන් එදා පරාජය කළ බමුණු මතවාදය කෙ බඳු දැයි තේරුම් ගැනීම පිණිස ඉන්දීය බුද්ධිමතකු වූ මහාචාර්ය ධම්මානන්ද කෝසම්බි තුමා (1876 – 1947) ගේ ‘භගවාන් බුද්ධ’ කෘතිය මෙහි උපුටා දක්වමු.

“ඒකාධිපති රාජ්‍යවල පුරෝහිත තනතුර වංශපරම්පරාවෙන් හෝ බමුණු සමූහයා ගේ සම්මුතියෙන් හෝ ලැබුණේ බමුණකුටම ය. මේ අනුව බලන විට බමුණන් ඒකාධිපති පාලන ක්‍රමයට ප්‍රබල ලෙස අනුබල දුන් බව පැහැදිලි වෙයි. බ්‍රාහ්මණ ග්‍රන්ථවල ගණ රජවරුන් ගේ නම් සඳහන් නො වීම ද විමසිය යුත්තකි. මෙයින් පැහැදිලි වන්නේ බමුණන්ට ගණ පාලන ක්‍රමය සහමුලින් ම අපි‍්‍රය වූ බවයි. අම්බට්ඨ සූත්‍රයේ දී අම්බට්ඨ බ්‍රාහ්මණයා ‘ශාක්‍යයන්’, වැනි ගණ රජවරු බමුණන්ට දැක්විය යුතු ගරු සම්මාන නො දක්වති යි දෝෂාරෝපණය කළේ ය. යාග - යාඥා සඳහා ද ඔවුන් ගෙන් කිසිම අනුබලයක් ලැබුණේ නැත. එහෙත් ඒකාධිපති රාජ්‍යවල මහ රජවරු බමුණන්ට යාග කිරීම සඳහා පරම්පරාගත ඉඩමක් හා වෙනත් තෑගි ආදිය ද දුන් හ. සූත්‍ර පිටකයට අනුව පෙනී යන්නේ බිම්බිසාර ගේ රාජ්‍යයෙහි සොණදණ්ඩ, කූටදත්ත ආදී බමුණන්ට සහ කොසල දේශයේ පොක්ඛරසාතී, තාරුක්ඛ ආදී බමුණන්ට විශාල වටිනාකම් සහිත තෑගි, බෝග ආදිය ලැබී තිබුණු බව යි. මෙ සේ ඔවුනොවුන්ට සැලකිලි දක්වමින් උසස් තත්ත්වයකට පත් විය යුතු යි යන මේ න්‍යාය අනුව බ්‍රාහ්මණ වර්ගයා සහ ඒකාධිපති පාලන ක්‍රමය අන්‍යොන්‍ය සහයෝගයෙන් අභිවෘද්ධියට පැමිණියේ ය. එය ස්වභාවික දෙයකි.”

භාරතයෙන් බුදු දහම අතුරුදන් වීම කෙරෙහි මේ හින්දු අධිපතිවාදී මතය බලපෑ බව අපි දනිමු. එහි අවසාන ප්‍රතිඵලය නම්, බුදු රදුන් ගේ අහිංසා ධර්මය නිසා භාරතීය ජනතාව අහිංසකයන් බවට පත් වී රට විදේශිකයන් සතු වූයේ යැයි විවේචනයක් එල්ල වීම ය.

ඉන්දියාවේ අධිපතිවාදී දේශපාලනය හා වර්ගවාදී බලපෑම් පිළිබඳ ව නිසි අවබෝධයක් ලබා දීම පිණිස මේ කරුණු ඉදිරිපත් කළ බව සැලකිය යුතු ය. එ සේ නොමැති ව යුද්ධය එක ම විසැඳුම යැයි කීම අප ගේ අරමුණු නො වේ.

වප් අමාවක පෝය


වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග

 

මීළඟ පෝය නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]