UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවි ප්‍රාප්ත

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අතින් 3 වන දා

වි.ජ.මු. ලොකුබණ්ඩාර

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියට, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් වී ඇත. මෙම සභාපති පදවිය සමස්ත අමරපුර මහා නිකායේ ම අනුනායක පදවිය සේ සැලකේ. මෙතෙක් උන්වහන්සේ අනුනායක පදවිය දරන ලද්දේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක් පාර්ශ්වයක ය. එවන් උසස් තනතුරකට උන්වහන්සේ පත්වීම පිළිබඳව සුබ පතමි. ඒ පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති මැතිතුමාණන් විසින්, මෙම ඔක්තෝම්බර් මස 03 වැනි කිවි දින ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී සිදු කෙරේ.

බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ, කොටුගොඩ ගම් පියසෙහි දහමට ලැදි සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක පවුලේ බාලයා වශයෙන් 1933 ජනවාරි 26 වන දා උපත ලැබී ය. පියා ඇඳවිතාරණ ගේ හර්මානිස් රුද්‍රිගු නමින් පතළ වැවිලිකරුවෙකි. මව සෙලෙස්තිනා රුද්‍රිගු නම් පිංවත් මාතාවය. දැනට කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලය නමින් හඳුන්වනු ලබන එදා කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් ව මූලික අධ්‍යාපනය ලබමින් සිටිය දී සිරිලක සසුන්කෙත බැබලවීමේ පෙර පින් ඇති නිසා ගිහිගෙය හැර පියා උණවටුනේ ධම්මපාල නාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු මස 17 වන දා ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමයේ දී කොටුගොඩ ධම්මාවාස නමින් සසුන් බිමට පිළිපන්හ.

1949 දී තෙවළා දහම් විෂයෙහි පරිණත දැනුමක් ලැබීම පිණිස රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණට ඇතුළත්ව ද්විතීය අධ්‍යාපනය ලැබීමෙන් පසුව, උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා 1952 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් විය. එහිදී පණ්ඩිත පලන්නොරුවේ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ධර්මාචාර්යත්වයෙන් සිංහල, පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍ර හා ත්‍රිපිටක ධර්මය පිළිබඳව ද හැදෑරූ උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙණ මගින් පවත්වන ලද විනයාචාර්ය සද්ධර්මාචරිය යන විභාගය ඉහළින් ම සමත් විය. වලානේ සට්ඨිසර නාහිමි, පූජ්‍ය කම්මට්ඨානාචාර්ය මාහෝ සුමේධ, පූජ්‍ය පණ්ඩිත යටිපහුවේ මේධානන්ද නාහිමි යන හිමිවරුන් යටතෙහි, ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍රාදිය හදාළ උන්වහන්සේ 1954 ජූලි 10 වන දින කලුගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මාහිමිපාණන් වහන්සේ ගේ උපාධ්‍යයෙන් උපසපන්වූ හ. අතිශය නිරහංකාර ගුණයෙන් මෙන් ම විශාර ද පාණ්ඩිත්‍යයෙන් යුත් ධම්මාවාස හාමුදුරුවෝ මධුර මනෝහර ලෙස ධර්ම දේශනා කිරීමට ඇති සුවිශේෂී හැකියාව නිසා ම ලක් වැසි ජනතාව ගේ මහත් පැසසුමට මෙන් ම ප්‍රසිද්ධියට පත් වූ සේක.

කොළඹ දෙමටගොඩ ප්‍රධානඝර ධර්මදූත ආයතනයෙන් ධර්මදූත කටයුතු පිළිබඳව පරවාහැර වජිරඥාන නායක හාමුදුරුවන්ගෙන් හා පෙම්රොක් විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලද උන්වහන්සේ මුල් අවධියේ සිට ම ධර්මදූත කටයුතු වල යෙදුණාහ. යටත් විජිත සමයේ දී අධිරාජ්‍යවාදී පාලකයන් විසින් විනාශ කරන ලද රට ජාතිය ආගම සහ භාෂා ශාස්ත්‍ර යළි නංවාලනු වස් අනූපමේය සේවාවක් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ජාතික සිත් සතන් පුබුදුවා පොදු ජනයා තුළ ජාතික මමත්වය ජනිත කිරීමට මේ රටේ ගෙනගිය ධර්මදූත ව්‍යාපාරය අනුගමනය කරමින් අපේ ධම්මාවාස හාමුදුරුවෝ ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල මෙන් ම දෙස් විදෙස් හි ධර්මදූත මෙහෙවරෙහි යෙදුණු ආකාරය ප්‍රශංසනීය ය. උන්වහන්සේ ගේ සිත්කළු ධර්මදේශනා තුළ පිරිසුදු බුද්ධ ධර්මයට අදාළ කාරණා ද ජාතිය ගොඩනැඟීමේ උපදේශ ද ඇතුළත් වූයේ චිත්තාකර්ශනීය විලාසයකිනි.


කොටුගොඩ ධම්මාවාස නා හිමිගේ ගුරුදේවයාණන් වන
උණවටුනේ ධම්මපාල නාහිමි

කපිතාන් ඩී.ඒ. වික්‍රමසිංහ මැතිදුන්ගේ ආධාර උපකාර ඇතිව නේපාල රටට දාහතර වතාවක් ම වැඩම කොට නේපාල් ජාතික අමෘතානන්ද මහා නායක ස්ථවිරයන්, නේපාල ජාතික අශ්වඝෝෂ නායක ස්ථවිරයන් හා නේපාල ජාතික මෛත්‍රී ස්ථවිරයන් සමඟ එක්ව නේපාලය පුරා ධර්මදූත කාර්යයන්හි නියැලුණු උන්වහන්සේට නේපාල රජය විසින් කත්මණ්ඩු නුවර ස්වර්ණපුර චාරුමතී මහා විහාරය පූජා කරන ලදී. අපේ කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ එම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස දැනට නේපාල ජාතික තපස්සි ධම්ම හිමියන් පත්කර ඇත. ඉන්දියාවට ධර්මදූත කටයුතු සඳහා දාහතරවතාවක් ම වැඩම කළ ධම්මාවාස හාමුදුරුවෝ සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාර්, එංගලන්තය, ඇමරිකාව, රුසියාව, සයිබීරියාව, මොන්ගෝලියාව ආදී රටවල් රාශියක ම ධර්මදූත කටයුතු සඳහා වැඩම කළහ. විශේෂයෙන් ම රුසියාවේ ප්‍රාන්ත දහසයක ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමට වැඩම කළ අතර, එහිදී උන්වහන්සේ කළ ධර්ම දේශනා රුසියන් බසට පරිවර්තනය කිරීමට මහත් උනන්දුවකින් කටයුතු කළේ රුසියාවේ වැඩ වසන පල්ලේකන්දේ රතනසාර හාමුදුරුවන් වහන්සේ විසිනි.

බෞද්ධ පුනරුද වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාම පිණිස කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේට අත හිත දී ක්‍රියා කළ පින්වතුන් ලෙස මැලිබන් සමාගමේ අධිපති ඒ.ජී. හින්නිඅප්පුහාමි, හිටපු අග්‍ර විනිශ්චයකාර හේම බස්නායක මැතිතුමා හිටපු මහාභාරකාර තැන්පත්, වී.එෆ්, ගුණරත්න මැතිතුමා, විහාර මහා දේවි බෞද්ධ කාන්තා සම්මේලනයේ හිටපු සභාපතිනි සිරිදන්ත ජයකොඩි මැතිනිය ආදී පින්වතුන් උන්වහන්සේ කෘතවේදීව සිහිපත් කරන සේක. එසේම වජිරාරාමවාසී මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමියන් නාරද හිමිපාණන් හා පියදස්සි හාමුදුරුවන් ද, මොරටුවේ ශාසන රතන අනුනායක හාමුදුරුවන් ද, අම්බලන්ගොඩ ධම්මකුසල නායක හාමුදුරුවන් ද, අග්ගමහා පණ්ඩිත බේරුවල සිරි නිවාස මහ නාහිමිපාණන් ද රාජකීය පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද මහා නායක හාමුදුරුවන් ද තමන් වහන්සේට අර්ථයෙන් ධර්මයෙන් කළ අනුශාසනා මෙන් ම දිරි ගැන්වීම් ද නිතර ගෞරවයෙන් සිහිපත් කරන්නේ කෘතවේදීත්වයෙනි.


කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි
සාමණේර අවධියේ දී


තම ගුරු දේවයාණන් වූ ගල්කිස්සේ ශ්‍රී ධම්මපාලාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය පාද උණවටුනේ ධම්මපාල මාහිමිපාණන් වහන්සේ 1967 මැයි 14 වන දින අපවත් වීමෙන් පසුව, එම විහාරාධිපති තනතුරට කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ පත් වූහ. ඉන් පසුව විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස කළ වැඩ කොටස් අපමණ ය. විහාරාංග සියල්ලෙන් පරිපූර්ණ වූ ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමය අද රමණීය පුද බිමකි. ඒ උන්වහන්සේ ගේ අපරිමිත ධෛර්ය හා උත්සාහය නිසා ම සිදු වූ සංවර්ධන ක්‍රියාවලියකි. ප්‍රදේශවාසී දූ දරුවන්ට දහම් දැනුම ලබාදීමට දහම් පාසල ව්‍යාප්ත කිරීමත් ඊට අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීමත් උන්වහන්සේ අතින් සිදු විය. දෙහිවල බෞද්ධ සංගමය පිහිටුවා එමගින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් ගොඩනැගීමට උන්වහන්සේ දරන ප්‍රයත්නය ප්‍රශංසනීය යි. කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණෝ අමරපුර සංඝ සභාවේ ලේඛකාධිකාරී ලෙසත්, 1992 සිට මහා ලේඛකාධිකාරී ලෙසත් කොස්ගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ ගේ මඟ පෙන්වීම අනුව, අමරපුර මහා නිකාය එක් සේසත් කරමින් සියලුම නායක හාමුදුරුවන් ගේ ආශීර්වාදය මැද උදාර මෙහෙවරක යෙදී සිටින සේක. සාහිත්‍යධරයකු පාලි භාෂා විශාරදයකු හා ගත් කතුවරයකු වශයෙන් කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ 1960 සිට වාර්ෂිකව වෙසක් පොහොය නිමිති කරගෙන ධර්ම ග්‍රන්ථයක් සෑම වසරක් පාසාම අඛණ්ඩව බෙදා හැරීමට ක්‍රියා කිරීම අප අගය කළ යුතු ය. උන්වහන්සේ අතින් ලියැවුණු ජනපි‍්‍රය වූ තවත් ධර්ම ග්‍රන්ථ අතර මෛත්‍රී බුදුපියාණෝ, දෙලොව දියුණුවට මඟ, නිවනට මඟ, කේතුමතී රාජධානිය, පිරිනිවන් මංචකය, පුණ්‍ය මහිමය තථාගත ලක්‍ෂණ හා කෝසල රාජ සිහින ආදිය ද වේ.

විවිත‍්‍ර සුමධුර ධර්ම දේශකයන් වහන්සේ කෙනෙකු වශයෙන් අප රටේ මෙන් ම දේශ දේශාන්තරයේත්, පතළ කිත් යසස් ඇති කොටුගොඩ නාහිමිපාණන් වහන්සේ ගුවන් විදුලියේ කරන ලද දහම් දේශනා නිසා අප ගේ ධර්ම ඤාණය දියුණු වූ අයුරු අතිශය කෘතවේදී ව ගෞරවයෙන් සිහිපත් කරමු. උන්වහන්සේ සමග දඹදිව වන්දනා ගමන් යෑම් යනාදියේදී අප ලත් අත්දැකීම් ආදර්ශවත් ය. මගේ මෑණියන් අභාවයට පෙර දැකගන්නට පුල පුලා බලා හිටි හැටිත්, දකින්නට පෙර ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ අසාමාන්‍ය ධර්ම දේශනා ශෛලියෙන් හා කටහඬින් දැන අඳුනාගෙන සිටි අයුරුත් මගේ සිහියට නැගේ. අපේ යුගයේ ධර්ම දේශකයන් වහන්සේ නමක් වශයෙන් තමන් හට ම අනන්‍ය වූ දේශනා ශෛලියක් ගොඩ නඟා ගත් අප නා හිමිපාණන් වහන්සේට 2007 වසරේ දී (බුරුම දේශයෙන්) මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත යන අග්‍රගණ්‍ය උපාධිය පිරිනැමීම අප රටේ භික්‍ෂූන් වහන්සේලා ගේ අනූපමේය ධර්ම ඥානයට හා සසුන් සේවයට කැපවීමට කරන ලද උදාර අනුග්‍රහයකි. “පූජා ච පූජනීයානං” යන බුදු වදන සිහිපත් කරමින්, අප ගේ දහම් දැනීම දියුණු කර ගන්නට දශක ගණනාවක් තිස්සේ අපට පිහිට වූ සමස්ත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියට පත් වූ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස අනු නා හිමිපාණන් වහන්සේට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් දීර්ඝායුෂ ලැබේවා! යි ආසිරි පතමු.

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]