UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තුරු ලිය සුරකින බොදු උපදෙස්

ජෛවීය සම්භවය පිළිබඳ විශ්වාසනීය යථාර්ථවාදී අදහස ඉදිරිපත් කළ එකම ආගමික ශාස්තෘවරයාණෝ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. උන් වහන්සේ දේශනාකොට වදාළ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය, එය පසක් කරයි. එම සූත්‍රයේ සඳහන් වන ලෙසට පෘථිවියේ මුලින්ම හටගෙන ඇත්තේ භූමි පප්පටක, භදාලතා සහ ස්වයංජාන සහල් වැනි ශාක වර්ග ය.

සත්වයන් බිහි වී ඇත්තේ, ඉන් පසුවය. මෙම ශාක බිහිවීම සත්ත්වයන්ගේ සම්භවයට අවශ්‍යම සාධකයක් වී ඇත. ශාකවලින් තොරව සත්ත්වයන්ගේ පැවැත්ම, සිහිනයකි. මේ සත්‍ය ය වටහාගත් ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බිහි වූ ජෛන දර්ශනයද, ශාක ඒකීන්ද්‍රිය ජීවින් ලෙස දක්වා ඇත.

නූතන විද්‍යා විෂය අතර රසායන විද්‍යාව හා උද්භිද විද්‍යාව දක්වනුයේ රසායන ද්‍රව්‍යයන්ගේ් සුසංයෝගයෙන් ලෝකයේ මුල් වරට ශාකයන්ගේ සම්භවය ඇති වූ බව ය. ප්‍රාග් කේම්බ්‍රීය යුගය ශාකවල මුල්ම අවස්ථාව බවත් ඇල්ගී, ලයිකන, පන්ගයි ශාක (පුස්වර්ග) ඒ යුගයේ හටගත් ශාක බවත්, එය දක්වයි.

බුදු දහමේ විනය පිටකයේ ප්‍රාතිමෝක්ෂයේ ශාකයන්ගේ වර්ගීකරණයක් ද දක්නට ලැබෙයි. වෘක්ෂලතා ‘භූතගාම’ වශයෙන් එහි දක්වන අතර, පෘථිවියෙහි ජලයෙහි ගල් පර්වතාදියෙහි වැඩෙමින් පවත්නා සියලු උද්භිද වර්ග මේ ගණයට අයත් වන බවත්, එය පවසයි. පාචිත්තිය පාලියට අනුව භූත ගාම වර්ග හෙවත් ශාඛා පහකි. අල හෝ මුල් නිසා ප්‍රරෝහණය වන වෘක්ෂ ලතාදිය මුල් බීජ වශයෙන් ද අතු රිකිලි වලින් ප්‍රරෝහණය වන ශාඛ වර්ග ඛන්ධ බීජ ලෙසින්ද උණ බට වැනි ශාක එලු බීජ වශයෙන් ද කරටි වලින් ප්‍රරෝහණය වන ශාඛ අග්ග බීජ වශයෙන් ද ඇට වර්ග වලින් ප්‍රරෝහණය වන ශාක බීජ බීජ වශයෙන් ද වර්ගීකරණය කැරේ.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගතකොට ඇත්තේ ද තුරුලිය ඇසුරු කරගෙන ය. සිදුහත් උපත සිදු වී ඇත්තේ ද ලොවුතුරා බුද්ධත්වයට පත් වී ඇත්තේ්ද පිරිනිවන් පෑම සිදු වී ඇත්තේ ද වෘක්ෂලතා ඇසුරුකොට ගෙන ය. දහවන වස් කාලය වැඩ සිටි බව දැක්වෙන්නේ ද පාරිලෙය්‍යක වනයේ ය. භද්දවග්ගිය කුමාරුවරු මුණ ගැසී ඇත්තේ ද උන්වහන්සේ සිංසපා නම් වනගත පෙදෙසක වැඩ වෙසෙද්දී ය. වෘක්ෂලතාවල පත්‍ර, තණකොළ ආදිය උපමා වශයෙන් ගෙන ඇති අවස්ථා බොහෝ විට බණ පොතේ සඳහන්ව ඇත. දිවා විහරණය සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ්ද තුරුලිය අතර ප්‍රදේශය. භික්ෂූන්ට භාවනාව සඳහා සුදුසු ම ස්ථාන තුරුලිය වලින් ගහණ ප්‍රදේශ ලෙස ද දේශනාකොට ඇත.

තුරුලිය රැකීම සඳහා බෞද්ධ දර්ශනය වැදගත් ස්ථාවරයක සිටියි. එය ප්‍රාතිමෝක්ෂයේ දැක්වෙන්නේ මෙසේ ය. බුදුරදුන් අලවි නුවර අග්ගාලව විහාරයේ වැඩ විසූ අවස්ථාවක නුවර වැසි භික්ෂූහු වෙහෙර විහාර ඉදිකිරීම සඳහා වෘක්ෂලතාදිය කපා දමති. එක් ගසක් කපා දැමීමට සූදානම් වන විට එහි සිටි දේවතාවා එය නොකපන ලෙස ඉල්ලා ඇත. භික්ෂුව එය නොඅසා ගස කපා ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෘක්ෂ දේවතාවාගේ් පුතාගේ අත තැලී ඇත. මෙයින් කෝප වී භික්ෂුව විනාශ කරන්නට සිතූ® දෙවියා පසුව එය පවක් බව සිතා බුදුරජාණන්වහන්සේට මේ පුවත ප්‍රකාශ කරයි. මේ

හැර සාමාන්‍ය මිනිස්සුද තුරුලිය සිඳීම ගැන භික්ෂූන් වහන්සේට දොස් කියති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වෘක්ෂලතා සිඳීම උපසපන් භික්ෂුවක් ඇවැතකට පත්වීමක් බව ‘බීජ ගාම භූ®ත ගාම පාතව්‍යතාය පාවිත්තියං’ යනුවෙන් දේශනා කළහ.

මජ්්ඣිම නිකායේ සල්ලේඛ සූත්‍රයේ සඳහන් ලෙසට බුදුරජාණන් වහන්සේ චුන්ද හිමියන්ට භාවනා කිරීමට යෝග්‍යම ස්ථානය ලෙස දක්වන්නේ තුරුලිය වලින් ගැවසුණ ලෙනය. ‘යං බෝපන චුන්ද සත්ර්‍ථරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කත වෝ නං මයා ඒතානි චුන්ද රුක්ඛමූලානි’ මහාකාශ්‍යප හිමියන්ගේ පැවිදි ජීවිතයේ වැඩි කොටස වැඩ වාසය කර ඇත්තේ ද වනගතව ය.

ථෙර ගාථාවේ සඳහන් ලෙසට කාලපුට හා සප්පක වැනි රහත් උතුමෝ වනගතව වැඩ වෙසෙමින් වෘක්ෂලතාදිය පිළිබඳ ඉතා සෞන්දර්යාත්මක ප්‍රකාශ දේශනා කොට ඇත.

අරඤ්ඤේ රුක්ඛ මූලේසු
කන්ද රාසු ගුහා සුව
විවේක මනු බ්‍රෑහන්තා
විහන්සු තප්පරායනා

පියාපත් සෙවෙණි ඇත්තා වූ පක්ෂීහු, මේඝ ගර්ජනා ;හ්තුවෙන් මිහිරි හඬින් නාද කරන මොනරුන් සහිත වනයේ ධ්‍යාන වඩන සුළු වූ අවස්ථා, ඔබගේ සිත් ඇඳ ගනී. සාමාන්‍ය ජනයා නොඇලෙන රමණීය වන පෙදෙස්හි වීතරාග සිත් ඇලෙනුයේ ඔවුන් කාම ගවේෂීන් නොවන හෙයින් යැයි ධම්මපදය පෙන්වා දෙයි.

රමණීයානි අරඤ්ඤාණි - යකත්ථ න රමනී ජනෝ

විතරාගා රමස්සන්ති - නතේ කාම ගවේසිනෝ

මේ හැර කිසි පරිසර අපවිත්‍ර කාරකයක් තුරුලිය අසලට හෝ ජලයට එක් නොකරන ලෙස සංයුක්ත නිකායේ කසීභාරද්වාජ සංයුක්තයේ දක්වන්නේ මෙසේ ය. ‘අප්පහරිත්වා ජඩිඩේහි - අප්පාණ කෙත්වා උදකේ ඕපිලාපේහි’ වැසි කාලයේ වස් වසන ලෙසට භික්ෂූන් වහන්සේට දේශනාකොට ඇත්තේ ද, අලුතින් දලු ලා එන තුරුලිය පෑගීම වැළැක්වීමට ය.

භික්ෂූන් වහන්සේට පමණක් නොව, සියලු සත්වයන්ගේ උපතේ සිට විපත දක්වා ආහාර වශයෙන් ද සෙවණ ලබා ගැනීමට ද ශ්වසනයට අවශ්‍ය වායුවේ පවිත්‍රත්වයටද උපකාරීවන වෘක්ෂලතා වගා කරන්නට උපදෙස් දී ඇත. (ආරාම රෝපා වන රෝපා) තුරුලිය කැපීම නිසා සිදුවන ජල උල්පත් සිඳී යෑම, පාංශ ඛාදනය, ගංගා පත්ල ගොඩ වී ජල විපත් ඇතිවීම වැනි හානිකරන තත්ත්වය නිසා වන වගාවට ද බුදුන් වහන්සේ උපදෙස් දී ඇත.

(වනං පින්දථ මා රුක්ඛ) මේ කරුණු සියල්ල විමංශනය කිරීමෙන්, මෙතෙක් ලොව පහළ වූ අන්කිසි පුද්ගලයකු නොසිතූ®, ප්‍රකාශ නොකළ උතුම් ප්‍රකාශ සමුදායක් දේශනා කරමින් තුරුලිය සිය පණ මෙන් රැකගන්නා ලෙස දේශනා කර ඇති උත්තමයාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]