UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

බන්කේයි හිමියන් ගේ ආදර්ශය

ජපන් සෙන් කතාවක් උපුටා දක්වමින් අද දින කතු වැකිය ආරම්භ කිරීම මැනවැයි අදහස් කළෙමු. එම සෙන් කතාව මෙ සේ ය.

බන්කේයි නමැති සෙන් ආචාර්ය හිමියන් ගේ පන්සලේ දානය පිළියෙළ කිරීමට සිටියේ තරුණ හිමි නමකි. බන්කේයි හිමියන් වයස් ගත නිසා තරුණ හිමියෝ උන්වහන්සේට විශේෂ ආහාරපාන වර්ග පිළියෙළ කළ හ. බන්කේයි හිමියන්ට එ බැව් දැනගන්නට ලැබිණ. එයින් කලකිරීමට පත් උන්වහන්සේ සිය කුටියට වී දොර වසාගෙන නිරාහාරව උන්හ. එම තරුණ භික්‍ෂූන් වහන්සේ ගුරුතුමාගෙන් සමාව අයැදිමින් දොර ළඟට වී සිටිය හ.

දින හතක් ගත විය. දොර විවෘත වීමක් හෝ සැනසිලි වදනක් හෝ ගුරුහිමියන්ගෙන් නො ලැබුණි. අන්තිමේ දී අනික් ශිෂ්‍යයෝ දොර ළඟට පැමිණ මෙ සේ කෑගැසූ හ.

ඔබ වහන්සේ ගැන නෙමෙයි, නායක හාමුදුරුවනේ, මේ පොඩි හාමුදුරුවො ගැන අනුකම්පා කරන සේක්වා, එයා ඉන්නෙත් කුසගින්නේ, සාදුකින්, එයාට හැමදාමත් හාමතේ ඉන්න පුළුවන්කමක් නැහැ.

දොර විවෘත විය. එළියට පැමිණි බන්කේයි හිමියෝ සිනහ මුසු මුහුණින් තරුණ භික්‍ෂුවට මෙ සේ වදාළ හ.

‘අනෙක් අයට හදන කෑම වලින් ම මටත් කෑම හදන්න. ඔබ ගුරුවරයකු වූ දවසක මේක අමතක කරන්න එපා.’

මෙ වර පැවැත් වූ අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමෙන් ගුරුවරුන් වැළැකී සිටීම නිසා මතු වී ඇති තත්ත්වය ගැන කතා කිරීම පිණිස බන්කේයි හිමියන් ගේ කතාව වෙත අවධානය යොමු කළ බව කිව යුතු ය. එ සේ වූව ද බන්කේයි හිමියන් ගේ කතාව හා උත්තර පත්‍ර ඇගැයීමෙන් වැළැකීම එක සමාන සිද්ධි යැයි අපි නො කියමු. එහෙත්, කුමන තත්ත්වයක් යටතේ වූව ද යහපත් ගුරුවරයකු, බන්කේයි හිමියන් මෙන්, ගෝලයා දෙස සානුකම්පික හැඟීමෙන් බැලීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. මේ සිද්ධියට මුල් වී ඇති ගුරු වැටුප් විෂමතා පිළිබඳ ගැටලුව නො සලකා හැරිය යුතු යැයි වරදවා වටහා ගත යුතු ද නැත.

කුමන හේතු මත හෝ අවසානයේ සිසු පරපුර විඳින පීඩාව හා ගුරු, සිසු සබඳතාව පළුදුවීම මෙහි දී අප ගේ අවධානයට යොමු වූ ප්‍රධාන කරුණු දෙක ය. සැප්තැම්බර් මස 02 වන දා දිනමිණ පුවත්පතෙහි පළ වූ රවීන්ද්‍ර නාලක නැමැති සිසුවා ගේ ලිපියෙහි එම තත්ත්වය මෙ සේ දක්වා තිබේ.

‘වසර දහතුනක් අපි, ගුරුසිත නො රිදවා වේලාව නො වරදවා ඉතා දුක සේ අකුරු කළෙමු. එහෙත් අද වන විට අප විඳි දුක් අතරට බිය ද එකතු වී ඇත. බුලත් හුරුල්ලක් අතට දී අප ගේ ඉෂ්ඨ දෙවිවරු වැනි ගුරු දෙවිවරුන් දෙපාමුල වැන්දේ සැබෑ ම බැතියෙනි. නමුත් දහසක් බලාපොරොත්තු පොදිබැඳ මෙ වර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි අපහට නො සිතූ දෙයක් ම සිදු විය. අපට මඟ පෙන් වූ, දියුණුවට අත්වැලක් වූ ඔබ ම අපහට මෙ ලෙස එරෙහි වේ යැයි කිසි දා නො සිතුවෙමු. මේ මොහොතේ ද දහසක් කම්කටොලු මැද ගුරු සංගම්වල විරෝධය ද නොතකා අප ගේ උත්තර පත්‍ර බැලීමේ නිරත ව සිටින අවංක, දක්‍ෂ ගුරු මෑණිවරුන්, පියවරුන් හට අප සැම ගේ ගෞරව ප්‍රණාමය ඉත සිතින් පුදකර සිටිමු. අද ඔවුන් ගුරුවරුන් වශයෙන් කරන එම කැපවීම හෙට දින ගුරු වෘත්තීය භාර ගැනීමට සිටින අප සැමට පූර්වාදර්ශයකි. එ සේ ම මේ මොහොතේ තම පෞද්ගලිකත්වය ඉදිරියට දමා පටු පරමාර්ථවල එල්ලී අප අනාගතය ඇපයට තබාගෙන, රජය සමඟ කේවල් කරමින් සිටින ගුරුවරුන් ද සිටිනු දැකීම මොන තරම් අභාග්‍යයක් ද?’

එම සිසුවා ගේ හඬ ම පී.ජී.ආර්. සේනක බණ්ඩාර නමැති අයකු හා මෙ වර උසස් පෙළ ශිෂ්‍යාවක වන ඔහු ගේ දියණිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද රැගෙන ගොස් තිබේ. එම පෙත්සම සලකා බැලූ අවස්ාවේ, ගුරු වැටුප් ප්‍රශ්නය පිළිබඳ ව ජනාධිපති ලේකම්වරයා හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කැර මේ මස 08 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස අගවිනිසුරු වරයා ගුරු සම්ගම් වලට නියම කළේ ය.

එහෙත්, සැබෑ බෞද්ධයන් ලෙස මේ ප්‍රශ්නය දෙස බැලීමට සියලු පාර්ශ්වයන් තවමත් අපොහොසත් ය. බන්කේයි හිමියන් ගේ ආදර්ශය අපට වැදගත් වන්නේ මේ නිසා ය.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]