UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය
 

මනෝවිග්‍රහවාදයේ ගැබ්‍වන ඇතැම්‍ මූලධර්ම

බෞද්ධ චින්තනයේ ප්‍රතිරාවයකි

නූතන මානව චින්තනයේ පෙරමුණට පිවිස ඇති වැදගත් විෂයයන් දෙකක් වන්නේ මනෝවිග්‍රහය සහ මනෝචිකිත්සාවයි. මනෝවිග්‍රහයා මගේ ම සොයා ගැනීමක් වෙතියි “සිග්මන්ඩ් ප්‍රොයිඩ්” පැවසීය. තම පියාට සාත්තු කිරීම නිසා රෝගාතුර වුණු “ඇනා” හෙවත් “වර්තා පැපන් හිමි” නමැති යුවතියට ජෝසප් බ්‍රෝයර් කළ ප්‍රතිරාව වලින් ලැබුණු ප්‍රතිඵල දැන ගැනීමත් ප්‍රොයඩනය බෙහෙවින් උපකාර විය. මනෝවිග්‍රහයේ දියුණුව නිසා මිනිසා ගේ යටිහිත පිළිබඳ දැනුම් සම්භාරයක් ලොවට හෙළි විය. මානව චර්යාව කෙරෙහි නිර්විග්‍රහය මහත් බලපෑමක් කරයි. මේ පිළිබඳව “ලුසී පී‍්‍රමන්” නමැති මනෝචිකිත්සකවරිය මෙසේ පවසන්නී ය.

හුස්ම ගැනීම, ආහාර දිරවීම, හද ගැස්ම, පාලනය කරන්නේ හිතය. බයාදු ගති ඇති ගෘහණියටත්, විවාහවීමට බියවන යුවතියන්ටත්, රාගාධික පුද්ගලයන්ටත්, මත්පැණින් තොරව චිත්ත සමාධියක් නොවෙතියි සිතන සුරාසොඩුන්ටත් යටිහිත පිළිබඳව හෙළිවුණු දැනුමෙන් මහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි ය.

මනෝවිග්‍රහවාදයේ ගැබ්වන වැදගත් මූලධර්ම තුනක් මෙහි දක්වමි. සෑම දෙයක් ම සිදු වන්නේ හේතු ප්‍රත්‍යය ඇතිවය යන්න පළමු වැනි මූලධර්ම යයි.

යේ ධම්මා හේතුප්පභාවා යනු බුදු වදනයි. මිනිසාගේ මානසික ක්‍රියාදාමයේ එකමිතියක් සහ අඛණ්ඩතාවයක් ඇත යනු දෙවැනි මූලධර්මයයි.

මේ මූල ධර්මය බුද්ධ ධර්මයේ ඇතුළත් වෙයි. ඉන් අදහස් කරන්නේ පසු කාලීන ජීවිතයේ සිදුවන දේවල මුල් ඇත්තේ කුඩාකාලයේ බවයි.

මේ මතය මෙලොව ජීවිතයට සීමාවන බව මනෝවිග්‍රහවාදීන් පවසන අතර එය භවාන්තර ජීවිතයට අදාළ වන බව බුද්ධ ධර්මය පෙන්වා දෙයි.

පූර්ව හේතුවක් නැතිව කිසිවක් සිදු නොවේ යන්න තුන්වැනි මූලධර්මයයි. කලින් දැක් වූ මූලධර්ම දෙකම මීට අයත් වෙයි. ඒ සිග්මන්ඩ් ප්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරනු ලැබූ මතයකි.

ලෝකප්‍රකට උගතුන් ලියූ පොත්වලින් මීට නිදසුන් ගෙනහැර පෑම මගේ අරමුණ වෙයි. මනෝවිග්‍රහය සාහිත්‍යය මෙන් රසවත් බව කිසිවිටෙක අමතක නොකළ යුතු ය.

රඩ්යාඩ් කිප්ලිංගේ කතාව

රඩ්යාඩ් කිප්ලිං සුප්‍රසිද්ධ ඉංගී‍්‍රසි ලේඛකයෙකි. බොහෝ දෙනෙක් ඔහුගේ පොත්පත් කියවා මහත් ආස්වාදයක් ලැබූහ. ඔහු ස්නායු රෝගයට ගොදුරු වූවකු බව බොහෝ දෙනෙක් නොදනිති. ඔහු බාලකාලයේ අමිහිරි අත්දැකීම් ලැබීම නිසා මානසික ආබාධ වලින් පෙළුණු බව බොහෝ දෙනෙක් නොදනිති.

කුඩා කල ඔහු මවුපියන්ගෙන් ඈත්ව වැඩුණු කෙනෙකි. කිප්ලිං ගේ සහෝදරියත් මානසික වේදනාවන්ට ගොදුරුව දුක්වින්දේ ඇගේ දෙමාපියන් ගේ වරද නිසා ය. කිප්ලිං ද ඔහුගේ සහෝදරිය ද මුල් අවුරුදු හය ජීවත් වූයේ ඉන්දියාවේ ය. ඒ ඔවුන්ගේ දෙමාපියන් ද ඉන්දියාවේ ජීවත්වුණු බැවිනි. දෙමාපියන් මේ සිඟිති දෙදරුවන් රැක බලාගැනීම පැවරුවේ ඉන්දියානු ජාතික මෙහෙකරුවන්ටයි. මේ දරුවන් කතා කිරීමට පුරුදු වුණේ හින්දුස්ථානි භාෂාවයි. කිසියම් හේතුවක් නිසා මේ දෙදරුවන් දෙදෙනා එංගලන්තයට යැවීමට දෙමාපියන්ට සිදුවිණි. ඔවුන් රැක බලා ගැනීම පැවැරුණේ දරුවන් ගේ නැන්දා කෙනෙකුටයි. සැඩ පරුෂ ස්ත්‍රියක වූ නැන්දා ඉතා සුළු දේට පවා ඔවුන්ට හිරිහැර කළා ය. දරුවන්ගේ කුඩා කාලය දුකින් හා වේදනාවෙන් පිරී ගියේ ය. මේ දරුවන් දෙමාපියන්ට මහත් සේ ද්වේෂ කළ බව කියනු ලැබේ.

දශක කිහිපයකට පෙර එංගලන්තයේ සුප්‍රසිද්ධ රෝහලක, රෝගී දරුවන් බැලීමට මව්පියන්ට ඉඩ තිබුණේ දවස් දෙකක් බවත්, ජෝන් බෝල්වි වැනි මනෝවිද්‍යාඥයන් ගේ උපදේශ නිසා, දැන් එහි ඕනෑම වේලාවක රෝගී දරුවන් බැලීමට මවුපියන්ට ඉඩ සලසාදී ඇති බවත් “කලිපර්ඩ් ඇලන්” නැමැති මනෝවිද්‍යාඥයා ලියූ පොතක සඳහන් වෙයි. සියල්ලක්ම හේතුප්‍රත්‍ය ඇතිව සිදුවන බව මේ කතාවෙන් හෙළිවෙයි.

ඉංගී‍්‍රසි තරුණයාට සිදු වූ ඇබැද්දියක්

ළදරු වියෙහි අමිහිරි අත්දැකීම් ලැබීමේ දුර්විපාක පිළිබඳව ඉංගී‍්‍රසි ජාතික මනෝවිද්‍යඥයකු දක්වන අදහස් මෙහි දැක්වීම වැදගත් වෙතියි සිතමි. අපි ඔහු “ජෝර්ජ්” යන නමින් හඳුන්වමු. ජෝර්ජ් ගේ වයස අවුරුදු විසිපහක් විය. ඉගෙනීමෙහි මහත් සමත්කමක් දැක් වූ මේ ධනවත් තරුණයා සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකට ඇතුළුව හොඳින් ඉගෙන ගෙන උපාධියක් ද ලබාගත්තේ ය. ඔහු සාහිත්‍යය හැදෑරීමට මහත් අභිරුචියක් දැක් වූයේ ය. ඔහු පළමු වැනි පන්තියේ ගෞරව උපාධියක් ලැබීම දෙමාපියන්ගේ මෙන්ම හිතවතුන්ගේ ද ඉමහත් සොම්නසට හේතුවිණ. ඉගෙනීමේ යෙදී සිටින කාලයේදීම ඔහු නවකතාවක් ලිව්වේ ය. ප්‍රකාශක සමාගමක් ඒ නවකතාව පළ කිරීමට කැමැත්ත පළ කර තිබිණ. රූමත් තරුණියක ගේ සෙනෙහස දැනගෙන සිටි ඔහු වාසනාවන්තයෙකැයි කවුරුත් කීහ.

නෑදෑ හිතමිතුරන් ගේ බලාපොරොත්තු බිඳ දමමින් ඔහු හිටිහැටියේම මානසික පීඩනයකට ගොදුරු විය. මෙබඳු විපතක්වීමට පැහැදිලි හේතුවක් දක්නට නොලැබිණ. ඔහු පිහියක් ගෙන ඇනගෙන සිය දිවි නසා ගැනීමට ද තැත් කළේ ය. තුවාලය බරපතල නොවුයෙන් ඔහු ගේ ජීවිතය යන්තම් බේරුණේ ය. ටික කලක් මානසික රෝහලක නැවතී සිටීමට ද ඔහුට සිදුවිණ.

මානසික රෝහලෙන් පැමිණි පසු ඔහු ගේ රෝගය සෑහෙන තරම් දුරට සුවවී තිබිණ. එහෙත් අවනති මෙන්ම චිත්ත පීඩනය ද ඔහු කෙරෙහි විය. එහෙයින් ඔහු මනෝචිකිත්සකගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ ය.

ඔහු මේ තරුණයාගේ අතීත ජීවිතය පිළිබඳ තොරතුරු අසා දැනගත්තේ ය. එහෙත් රෝග නිදානය සොයා ගැනීමට ප්‍රශ්න කිරීම ප්‍රමාණවත් නොවී ය. ඔහු විටින් විට කුඩා දරුවකු මෙන් කෑ ගසා හැඬුවේ ය. චිකිත්සකයා ඔහු මෝහණයට පත් කොට ප්‍රශ්න අසන්නට විය. මේ දරුවා මවුකුසෙන් ගත්තේ ශල්‍ය කර්මයකින් බව වෛද්‍යවරයාගෙන් දැන ගත්තේ ය. සැත්තකම කළ වෛද්‍යවරයා මොළකැටි දරුවා ගොරෝසු රෙදි කඩකින් පිසනු ඇති බවත් එයින් දරුවා බලවත් වේදනාවට පත්වුණු බවත් වෛද්‍යවරයාට දැන ගන්නට ලැබිණ. වෛද්‍යවරයා මේ කරුණු පිළිබඳ අවබෝධයක් රෝගියාට ලබා දෙමින් සුදුසු ප්‍රතිකාර කළ විට, ඔහුට සුවය ලැබිණ.

දරුවකු කුඩා කාලයේ ලබන අත්දැකීම් ඔහු ගේ පසු ජීවිතය කෙරෙහි සෑහෙන බලපෑමක් කරයි. දරුවෙකුට මවුකිරි බීමට ඉඩදීම මෙන්ම ඔහු මවු ඇසුරේ සිටීම ඉතා වැදගත් බවත් මනෝචිකිත්සක යෝ පවසති. කුඩා කල දරුවා මවගෙන් ඈත් කර තැබීම, පසු කාලයේ නොයෙක් රෝගාබාධ පහළ කිරීමට හේතුවෙයි. මේ අනුව දරුවන් ගේ මනෝඥ වර්ධනය නිසි ලෙස සිදුවනු දැකීමට කැමති දෙමාපියන් මේ කරුණු වටහා ගත යුතු ය. සියල්ලක්ම හේතු ප්‍රත්‍ය ඇතිව සිදුවේය යන මූල ධර්මයත්, මානසික ක්‍රියාදාමයේ අඛණ්ඩතාවයක් වෙතියි යන මූලධර්මයත් ජෝර්ජ් ගේ ජීවිතය කෙරෙහි බලපෑවේ ය.

සංගීතකාරියගේ කතාව

ඉංගී‍්‍රසි ජාතික දැරියක තොටිල්ලේ සිටින කාලයේ ලැබූ අමිහිරි අත්දැකීමක් නිසා, පසු කාලයේ අද මානසික රෝගියක වූ ආකාරය “ලෙස්ලි වෙදර්හෙඩ්” නමැති මනෝවිද්‍යාඥයකු ලියූ පොතක සඳහන් වෙයි. මේ දැරිය පුංචි කාලයේ සිටම සංගීතය කෙරෙහි මහත් ලැදිකමක් දැක්වූවා ය. දෙමාපියන් ද ඈට අනුබල දීමට පැකුළුනේ නැත. මේ දැරිය තරුණියක වුණු පසු එක්තරා සංගීත කණ්ඩායමකට බැඳී සේවය කරන්නට වූවා ය. කලකට පසු ඈට පුදුම රෝගයක් හටගත්තේ ය. සිගරැට් දුමෙන් යුතු අඳුරු ශාලාවක සිට වීණාව වාදනය කරන විට ඇගේ ඇඟ පණ නැති වී ගොස් කලාන්ත ගතියක් ඇතිවෙයි. කළ ප්‍රතිකාරවලින් ඈට සුවයක් ලැබුනේ නැත. අන්තිමේ දී ඈට මනෝචිකිත්සකයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිණ. දොස්තර මහතා දිගින් දිගටම ප්‍රශ්න කළ නමුදු රෝග නිදානය සොයා ගැනීමට නොහැකි විය. අමිහිරි අත්දැකීම ලබන්නට ඇත්තේ ඉතාම කුඩා කාලයේ බව ඔහු නිගමනය කෙළේ ය. ඒ නිසා අද මෝහනයට පත් කිරීමට ඔහු තීරණය කළේ ය. මේ තරුණිය තොටිල්ලේ සිටින කාලයේ අමිහිරි අත්දැකීම බලා ඇති බව ඔහු සොයා ගත්තේ ය.

මේ තරුණිය ගේ පියා, රාත්‍රී භෝජනය ගැනීමෙන් පසු, සිගරැට්ටුවක් දල්වාගෙන, තොටිල්ලේ නිදන සිඟිති දුව වෙත ගියේ ය. සිඟිති දුව බැලීමෙන් පසු තුටු පහටු වුණු ඔහු සිය නිදන කාමරය වෙත ගියේ ය. සිඟිති දැරිය වේදනාවෙන් කෑ ගසනු හඬ ඇසූ ඔහු වහාම දුව ළඟට දිවැ ගියේ ය. බලවත් ලෙස කැළඹුණු මව ද දරුවා සිටින කාමරයට දිවැ ගියා ය.

තොටිල්ල දුමෙන් පිරී තිබෙන සැටි දුටු ඔවුහු කලබල වූහ. මව වහාම දරුවා ඔසවාගෙන ඉවතට වූවා ය. දරුවා ගේ පියා උරමින් සිටි සිගරැට්ටුවෙන් ගිනි කැබැල්ලක් කඩා වැටී ඇඳ ඇතිරිල්ල ගිනිගෙන දුම පැතිරී ගොස් ඇති බව ඔවුන්ට වටහා ගැනීමට හැකිවිණ. දැරිය දැඩි බියෙන් කම්පාවුණු බවට කිසිදු සැකයක් නැත. යමෙකු කුඩා කාලයේ ලබන මානසික අත්දැකීම් කිසි විටෙකත් මැකී යන්නේ නැති බව “බාර්බරා ලෝ” නමැති මනෝ චිකිත්සකවරිය ලියූ  Psycho Analysis නමැති පොතේ සඳහන් වෙයි. දැරිය ගේ රෝගය නිදානය මේ අත්දැකීම බව වෛද්‍යවරයාට වැටහිණ. මේ කරුණු පැහැදිලි කරදීමෙන් පසු ඇගේ රෝගය සුවවිය. ඊට පසු සංගීත කණ්ඩායමට බැඳී සේවය කිරීමට හැකිවිණ. සියලුම රෝගාබාධ ඇතිවන්නේ හේතුප්‍රත්‍ය ඇතිවය යන මූලධර්මයත්, කුඩා කල ලබන අත්දැකීම් මුල්කොට ගෙන පසු කාලයේ රෝගාබාධ ඇති බව පෙන්වා දෙන මානසික ක්‍රියාදාමයේ එකමුතුකමක් වෙතියි යන මතයට, සංගීත කාරියගේ රෝගයෙන් පැහැදිලි වෙයි. ලෙස්ලි වෙදර්හෙඩ් ලියූ පොතෙහි නම Psychology of life  යන්නයි.

දොස්තර මහතා හෙළි කළ කරුණු සම්පූර්ණයෙන් ම සත්‍ය බව තරුණිය ගේ මව කීවා ය.

ඊර්ෂ්‍යාවෙන් රෝගී වූ කතගේ කතාව

ඉතා උග්‍ර වූ ඊර්ෂ්‍යාවෙන් බලවත් පීඩනයට පත්වුණු පනස් දෙහැවිරිදි ඉංගී‍්‍රසි ජාතික කාන්තවකගේ කතාව ඇතුළත් වන්නේ “ඇල්ප්‍රඩ් ඇඩ්ලර්” නමැති සුප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයා විසින් ලියනු ලැබූ The Education of children නමැති පොතේ ය.

වයස පනහක් ඉක්ම වූ ඉංගී‍්‍රසි ජාතික ස්ත්‍රියක් තමාට වැඩි මහළු සියලුම ස්ත්‍රීන්ටත් ඉතා දැඩි ලෙස බැණ වැදීමේ ස්වභාවයකින් යුක්ත වූවා ය. ඈ මෙසේ බැණ වදින්නේ ඈට කිසිම වැරැද්දක් කළ ස්ත්‍රීන්ට නොවේ. ඉතා දැඩි ලෙස අනුන්ට ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් එයින් ම රෝගාතුර තත්ත්වයට පත්වන බව පෙනේ. මනෝවිද්‍යාඥයන් මේ තත්ත්වය හඳුන්වා දෙන්නේ Pathological leakousy යනුවෙනි. ඇතැමුන් තුළ පවතින මේ උග්‍ර ඊර්ෂ්‍යාව මනෝකායික රෝග ඇතිවීමට ද හේතුවෙයි. උග්‍ර ඊර්ෂ්‍යාව පුද්ගලයන්ට පිළිකා රෝග වැළඳීමට ද මඟ පාදයි.

මේ ඉංගී‍්‍රසි ජාතික ස්ත්‍රියගේ ඊර්ෂ්‍යා රෝගය බලවත් වීම නිසා ඈට මනෝචිකිත්සකයකු ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවිණ. වෛද්‍යවරයා දිගින් දිගටම ඇගෙන් ප්‍රශ්න ඇසුවේ ය.

රෝග නිදානය සොයා ගැනීමට ඈ මෝහනයට පත් කිරීම අවශ්‍ය නොවී ය. ඇගේ කුඩා කල ජීවන තොරතුරු දැන ගැනීම ප්‍රමාණවත් විය. ඈ ජීවත් වූයේ ඇගේ අක්කාත් සමඟය.

නිවසට පැමිණෙන සියලු දෙනාම ආදරය දැක්වූයේ, කතාබහ කළේ ඇගේ අක්කා සමඟය.

කිසිම කෙනෙකු ඈ සමඟ කතා නොකිරීමටත්, ආදරය නොකිරීමත් නිසා ඈ බලවත් වේදනාවට පත්වූවා ය. කුඩා කල ඈ අක්කාට ද්වේෂ කිරීමට පටන් ගත්තා ය. අක්කා නංගීට ආදරය කළා ය.

ඒ නිසා ඈ අක්කා කෙරෙහි දැක් වූ ද්වේෂය උග්‍ර ස්වරූපයක් ගත්තේ නැත. පසු කාලයේ දී ඈ අක්කා කෙරෙහි දැක් වූ ද්වේෂය ව්‍යාප්ත වී ගොස් තමන්ට වැඩිමහලු සියලුම ස්ත්‍රීන්ට ද්වේෂ කරන්නට පටන් ගත්තේ ය. කුඩා කාලයේ ලබන අමිහිරි අත්දැකීම් පසුකාලයේ ජීවිතය කෙරෙහි බලපාන සැටි මෙයින් පැහැදිලි වෙයි.

මානසික ක්‍රියාදාමයේ එකමිතියක් හා අඛණ්ඩත්වයක් ඇත යන මූලධර්මයට ;ම් පුවත කදිම නිදසුනකි. අප පවුලක එක් පුද්ගලයකුට දක්වන අප්‍රසාදය ව්‍යාප්ත වී ගොස්, පසුව මුළු පවුලටම ද්වේෂ කරන්නට යොමුවන සැටි මෙයින් පැහැදිලි වෙයි.

කලාකරුවාගේ කතාව

එංගලන්තයේ විසූ දක්‍ෂ කලාකරුවාගේ කතාවෙන් පැහැදිලි වන්නේ බිළිඳු වියේ වූ සිදුවීම් නිසා ඔහු අනාගතයේ දී රෝගියකු වුණු සැටියි.

රොබට් ඉතා දක්‍ෂ කලාකරුවෙක් විය ඔහුගේ දක්‍ෂතාවය නිසා බොහෝ දෙනෙකු ගේ සැලකිල්ල දිනා ගැනීමට ඔහුට හැකි විය. ඔහුගේ පියා ආත්ම ආධිපත්‍යය කෙරෙහි සැලකිල්ලක් දැක් වූ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ඔහු ගේ මව තම සැමියාට කීකරු වූ තද ගති නැති කාන්තාවකි. රොබට් ඉතා උනන්දුවෙන් ඉගෙනීමේ යෙදුණේ ය. ඔහු ගේ සිත තදින් ඇදී ගියේ කලාවටයි. ඔහු තරුණ වියට පැමිණ තමන් ගේ කලා කටයුතුවල නිරතව සිටියේ ය.

කල්යෑමේ දී දෙමාපියන් නොසිතූ දෙයක් ඔහුට සිදුවිණ. ඔහුට මානසික රෝගයක් වැළඳුනේ ය. ක්‍රමයෙන් මේ උමතු ගතිය වැඩී ගත්තේය. ඔහු රාත්‍රී භෝජනය ගැනීමෙන් පසු, කාමරයේ විදුලි පහන නිවාදමා යහනෙහි වැතිරී නිදන්නට පටන් ගනී. ඔහු අඩ නින්දේ සිටින විට කොරිඩෝරය දිගේ කිසිවකු පිය නගන බව ඔහුට හැ¼ගී යයි. ඔහු ගේ සපත්තු බිම වැදීම නිසා නැගෙන ටක් ටක් හඬ ඔහුට ඇසෙයි. ටක් ටක් නාදය ක්‍රමයෙන් වැඩිවෙයි. ඔහු රොබට්ගේ කාමරය ඉදිරියේ නවතී.

රොබට් ගේ සිත නොසන්සුන් වෙයි. අමුත්තා දොර විවෘත කරගෙන කාමරයට ඇතුළු වී ඔහු ගේ යහන වෙතට එන බවක් ඔහුට දැනෙයි. ඔහු තමන් ගේ අතේ තිබුණු ලීයකින් තමා ගේ හිසට පහර දෙන්නට යන බවක් දැනේ.

රොබට් බියෙන් සැලී කෑගසමින් ඇඳෙන් නැගී දිවැගොස්, විදුලි පහන දැල්වයි. තම කාමරයට කිසිවකු ඇතුළු වී නැති බවක් කාමරයේ දොර විවෘත වී නැති බවත් ඔහුට පෙනී යයි. කෙසේ වූවද ඔහු භීතියෙන් වෙවුලන්නට පටන් ගනී. විදුලි පහන නිවාදමා ඇඳෙහි වැතිරෙන ඔහු බොහෝ වේලාවක් මේ ගැන සිතමින් මහත් කැලඹීමට පත් වී සිටී. ඔහුට නින්දයන්නේ බොහෝ වේලාවක් ගතවුණු පසුවයි. මේ සිදුවීම වරක් දෙවරක් වූයේ නම් එය සැලකිල්ලට ගත යුතු දෙයක් නොවේ. රොබට් ශරීර සෞඛ්‍යයෙන් පිරිහී ගොස් ඉතා අමාරු තත්ත්වයකට වැටුණේ ය.

ඔහුට මනෝචිකිත්සකයකු ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය. වෛද්‍යවරයා දිගින් දිගටම, ප්‍රශ්න ඇසූ නමුත් රෝග නිදානය සොයා ගැනීමට නොහැකිවිණ. ඉක්බිති ඔහු මෝහනයට පත්කරනු ලැබිණ. ඉන් ප්‍රතිඵලයක් ලැබුණේ නැත. බොහෝ උත්සාහ දැරූ නමුත් නිදානය සොයා ගැනීමට නොහැකිවුණු නිසා වෛද්‍යවරයා වික්‍ෂිප්ත විය.

වෛද්‍යවරයා රොබට් ගේ අම්මාගෙන් කරුණු විමසීමට පටන් ගත්තේ ය. අම්මා පැවැසූ කරුණු ඉතා ප්‍රයෝජනවත් විය. ඈ ගර්භනීව සිටින කාලයේ සිදුවුණු දෙයක් වෛද්‍යවරයාට දැන්වූවා ය. ඕ මෙසේ කීවා ය.

“මගේ සැමියා තද ගතිගුණ ඇති ව්‍යාපාරිකයෙක්. ඔහුසිය මිතුරන්ට හොඳින් සැලකූවද මා කියන දේකට ඇහුන්කන් දුන්නේ නැත. මම බැහැර ගියේ කලුපාට වෙළඹක බැන්ද අශ්ව රථයකින්. මේ අශ්ව රථයෙන් යෑමට මා කැමති නැති බව කීවත්, ඔහු ඒ රථයෙන් ම යන ලෙස මට බලකළා. මම ඒ රියෙන් යෑමට බියවුණා.”

“ඔබ ඒ රියෙන් යෑමට බියවුණේ මන්ද?” “පල්ලම් සහිත තැනකට නුදුරු පාරෙන් යන විට රථය පෙරළී ගැබ රියේ හැපී අනතුරක් වේ යැයි මට සිතුණා.” ඒ භීතිය ඇති වුණේ වරක් දෙවරක් නොවේ. රොබට් ගේ කාමරයට එන පුද්ගලයා ඔහුට පහරදීමට යොමුවන සිද්ධියත්, රිය පෙරැළී තමාට තුවාල වෙතියි ඔහු ගේ අම්මා බියවුණු සිද්ධියත් අතර ඇති සබඳතාවය වෛද්‍යවරයා වටහා ගත්තේ ය. රොබට් ගේ රෝග නිදානය සොයාගත් වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කිරීමට සමත්විය. රොබට් ගේ රෝග නිදානය පිළිබඳ සියලුම කරුණු ඔහුට පැහැදිලි කරදීමෙන් පසු ඔහුගේ රෝගය සුවවිය.

දරුවකු මවගේ කුසෙහි සිටින කාලයේ සිදුවුණු දේ ද, ඔහු ගේ ජීවිතය කෙරේ බලපෑ සැටි මෙයින් පැහැදිලි වෙයි. මිනිසුන් ගේ මානසික ජීවිතයේ ඇති එකමුතුකමක්, අඛණ්ඩතාවයත් රොබට් ගේ කතාවෙන් ද හෙළිවෙයි.

කුඩා කාලයේ ලබන අමිහිරි අත්දැකීම් නිර්විඥන ගතව පැවැතීම පසු කලක ජීවිතයේ දුක් වේදනා හා කරදර ඇතිවීමට හේතුවන බව මනෝවිද්‍යාඥයෝ මැනැවින් පෙන්වාදෙති. කුඩා දරුවන් අමිහිරි අත්දැකීම්වලට ගොදුරු නොකිරීමට දෙමාපියන් හා ගුරුවරුන් ඉටා ගත යුතු ය.

අවරෝධිත හැඟීම් හා අත්දැකීම් පුද්ගලයන් ගේ යටිහිතේ තැන්පත්වීම, සමාජ විරෝධී ප්‍රවණතා පහළ කිරීමට හේතුවන බව සැලැකිල්ලට ගත යුතු ය. මනෝවිග්‍රවාදයේ ඇතුළත් වන ඉගැන්වීම් දෙකක් වන්නේ සියල්ලක්ම හේතුප්‍රත්‍ය ඇතිව සිදුවේය යන්න හා මානසික ක්‍රියාදාමයේ එකමුතුවක් තරම්ය යන්නත් වේ. මේ මූලධර්ම දෙකම බෞද්ධ චින්තනයේ ප්‍රතිරාව යකි .බුද්ධ ධර්මයේ සනාතන අගය දන්නාඅප ගතානුගතික මතවාදවල සිරකරුවන් නොවිය යුතු ය.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]