UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නොනිවෙන නිවනේ තතු

ලෝ පුරා ව්‍යාප්ත වූ ආගම් වලට වඩා බුදු දහම එක් කරුණකින් වෙනස් වෙයි. ඒවායෙහි නිවනක් ගැන සඳහනක් නැත. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වුවත් එය නිවනට අදාළ නොවේ.

සසර කතරේ සරන්නාට ඇති එකම සරණ නිවන මිස අන් කිසිවක් නොවේ. මේ කෙම්බිමට අතුළු වීම සඳහා රථ තිස් අටෙක් ඇත. මේ කෙවැන්නක නැගී ගියද ගමනාන්තය කෙම්බිම ම ය. මේ රිය තිස් අට නම් කමටහන් තිස් අටයි.

අවිදු අඳුර දුරැලීමෙන් නැති කිරීමෙන් හෙවත් නිරුද්ධ වීමෙන් සියලු දුක් කෙළවර වෙතැයි දහමෙහි දැක්වෙයි. එය සිදුවන්නේ අවිද්‍යා නිරෝධය සමඟ සියලු සංස්කාරවල නිරෝධය ද සිදුවන හෙයිනි.

කොස් ගසක් ඇතිවීමට කොස් ඇටයක් අවශ්‍ය යි. ඒ ඇටයෙන් ගසක් ද ගසෙන් මල් ද, මලෙන් ඵල ද හටගනී. ඵලය නිසා යළි කොටස් ඇටය ද එමගින් ගසක් ද ඇතිවීමෙන් කොස් ගස් පරම්පරාවේ පැවැත්ම නොබිඳී දිගටම සිදුවෙයි. කොස් ඇට පරපුරේ පැවැත්ම සහතික කරන බීජ ශක්තිය නැති කළහොත් යළි පරම්පරාවක් ඉන් නූපදී. එසේ වූ විට කොස් මල්, ඵල, ඇට යළි නොඉපදෙයි. කොස් ගස් පරම්පරාව නිම වන්නේ එලෙසිනි.

කොස් ගසේ මල් අවස්ථාව, ගෙඩි අවස්ථාව, ඇට අවස්ථාව ඇති වූයේ වෙන් වෙන් ව ය. ගස නැති වූ විට ඒ අවස්ථා ඇතිවීමත් නැති වෙයි. එමෙන්ම අවිද්‍යා නිරෝධය තුළ සියලු පටිච්චසමුප්පාද අංගවල නිරෝධය අන්තර්ගත වෙයි. මෙතෙක් නිවන නොලැබ මේ අගමුල නොදකින සසරේ අපි තවමත් මං මුළා වී නිම් නැති දුක් පීඩා විඳිමින් සිටිමු.

අතීත භවවල ඉපිද හිස් ගැසුම් කෑ ලද පොලු මුගුරුවලින් තැලුම් පෙළුම්, අවි ආයුධ වලින් කැපුම් කෙටුම් කෑ, දෙතිස් වධවලින් වද විඳි වාර ගණන අපි නොදනිමු. පිළිකා තුවාල ආදියෙන් කෙතෙක් පීඩා විඳින්ට ඇත්ද? සතුන්ගෙන් තුවාල වූ මැරම් කෑ අවස්ථා ගණනද නොදනිමු. ඒ අතර සතර අපාය වල වැටී කල්ප කාලාන්තරයක් අනන්ත දුක් විඳින්නට ඇත. සොර සතුරන්ගෙන් ද පීඩා නොවින්දේ යැයි ද කිව නොහැකි ය. අතීත භාවවල මෙසේ පීඩා වූ අයුරින්ම අනාගත භවවලද එසේ නොවෙතැයි ලබාගත හැකි සහතිකයක් ද නැත.

එසේ නම් ඒවායින් මිදෙන මඟක් නැති ද? මගක් ඇත්නම්, ඒ මඟෙහි යෑමට උත්සුක නොවන්නේද? ඒ විමුක්ති සුවයේ ආශ්වාදය විඳිය හැකි වන්නේ අප තුළ ඇති අවිඳු අඳුරු දුරැලීමෙන් පමණකි. සව් කෙළෙසුන් නැසීමෙන් පමණකි.

සසර සරන තෙක් අපට හමුවන අපි‍්‍රය පුද්ගලයන්, අපි‍්‍රය වස්තු, අපි‍්‍රය වදන් අප්‍රමාණය. නෙත ගැටෙන අපා, දෙපා, සිවු පා, බහු පා, ආදීන් මෙන්ම නෙත නොගැටෙන යක්ෂ, පේ‍්‍රත, භූතාදීහුද වෙති. ඔවුන් ඒ ආත්ම වල ඉපදී විවිධාකාර විඳීම් රිදීම් තවමත් ලබන්නේ එදා කළ අකුසල් තවමත් ගෙවී අවසන් වී නැති හෙයිනි. අප සොයා එන විවිධ ව්‍යාධි දුක්පීඩා අනන්ත ය. අප්‍රමාණ ය. ඉපදෙන අවස්ථා මෙන්ම මරණයට පත්වන අවස්ථාද පීඩාකාරී ය.

දීඝ නිකායේ කේවට්ට සූත්‍රයේ දී තථාගතයාණන් වහන්සේ නිවන විස්තර කරන්නේ මෙසේ ය. ‘එක දිග, කෙටි, කුඩා, විශාල, ලස්සන යන කිසිදු රූ සටහනක් නැති ඒ සියල්ල එහිදී විරුද්ධ වී ඇත. නිවනෙහි නාමාරූප දෙක යළි කිසිදින නූපදී.

සාමාන්‍ය ජනයාට ඇති සාමාන්‍ය ඤාණයෙන් නිවනේ ස්වභාවය අවබෝධ කර ගැනීම දුෂ්කර ය. ඔවුන් එය මුලින්ම අවබෝධ කර ගත යුත්තේ ශ්‍රැතමය ඤාණයෙනි. එහෙත් එය අංග සම්පූර්ණ දැකීමක් නොවේ. තවත් මඳක් විස්තර කළහොත් සාමාන්‍ය කෙනෙකුට නිවනේ් ස්වභාවය අවබෝධ කර ගැනීමට පහසු වන්නේ සංසාරයේ ස්වභාවය මඟින් හෝ පංචස්කන්ධය මගිනි. සසරේ ඇති බිහිසුණු බවත් පංචස්කන්ධයේ ඇති දුක්බර බව හා අනිත්‍යතාවත් අවසන් වීම, නිවන බව අවබෝධ කරගත යුතු ය.

අපේ බුදුපියාණන් නිවනේ ස්වභාවය පිළිබඳ වරක් මෙසේ වදාරා ඇත. පෙර විසූ බුදුවරයන් ගමන් කළ මාර්ගය අනුව තමන් වහන්සේ ද ආර්ය අෂ්ඨාංගික මාර්ගය විමසා බලා ලෝ සතුන්ට එය හෙළි කරන බව ඉන් කියැවෙයි.

‘මහණෙනි, වනයේ සිටින්නෙකු එදා සිට අය ආගිය පැරැණි මාවතක් දැක ඒ මගින් යන ඔහුට මල් උයන්, පොකුණු, ප්‍රාකාර ආදියෙන් සමන්විත පුරාණ නගරයක් දකියි. එය ඔහු තම අධිපතියෙකුට දන්වයි. එවිට අධිපතියා එය අංග සම්පූර්ණ නගරයක් බවට පත් කරයි. ඉක්බිති ඒ නගරය සැමට සෙත සලසන අලංකාර, දියුණු එකක් බවට පත් වෙයි. එසේ එදා බුදුවරු වැඩි පැරැණි මඟක් වට ද පෙනිණි. මා ද එය අනුගමනය කර චතුරාර්ය සත්‍ය අවබෝධ කළෙමි.’

ඒ නිර්වාණය කිසිවකින්වත් අපවිත්‍ර නැති අතර, පරම පවිත්‍ර වූවකි. දියෙන් යමක් සෝදා හරින්නා සේ එය දියෙන් සේදිය නොහැකි ය. එසේම එය නාම රූප ධර්මවල සම්මිශ්‍රණයක් හෝ ගැටීමක් නොවේ. එය ලෝකෝත්තර ධර්මතාවලියක් සේ පවතින්නේ, එහෙයිනි. නිවන හිරු - සඳු මෙන් අලෝකය විහිදුවන්නක් හෝ ඒදෙකින් ආලෝකය ලබා ගන්නා වූ හෝ රැස් විහිදවන්නා වූ හෝ වස්තුවක් ද නොවේ.

නිවන පිළිබඳ විමසා බලන විට එය තවත් අයුරකින් භෞතික ලොවට සම්බන්ධ වන හෝ එයට අයිතිවාසිකම් දැක්විය හැකි දෙයක් ද නොවන බව පෙනී යයි. පිහිටා ඇත්තේ අසවල් ස්ථානයේ යැයි වෙන් කර දැක්වීම ද කළ නොහැකි ය. ඕනෑම තැනක සිට අවබෝධ කළ හැකි හෙයින් නිවන සෑම තැනකම ඇති දෙයකැයි ද කිය හැකිය.

නිවනෙහි කිසි දිරන රූපයක් නැති බැවින්, එය ‘මේ ආකෘතිය වැනිය ‘ ‘ මේ වස්තුව වැනි ය’ ආදී වශයෙන් රූප වලට සමාන කළ නොහැකි ය. ඊට ලොව කිසි දෙයක් උපමා කර දැක්වීමද කළ නොහැකි බව නාගසේන හිමියෝ දක්වති. ‘මහරජ, නිවන හා සමාන වන අන්කිසිවක් නැත්තේ ය. නිවනේ ස්වභාවය (රූපය හෝ සටහන හෝ වයස හෝ විශාලත්වය වැනි) උපමාවකින් නැතහොත් අන් ක්‍රමයකින් දැක්විය නොහැකිය. - මිලින්ද ප්‍රශ්නය.

අති උත්තරීතර වූ නිවන පිළිබඳ සලායතන වග්ග සංයුක්තයේ රූපාරාම සූත්‍රයෙහි විස්තර වෙයි. එහි ගාථා කීපයක සරල අර්ථය මෙසේ ය.

1. පංචස්කන්ධයේ නිරුද්ධ වීම සැපයක් බව, ආර්යයන් විසින් පෙන්වන ලදී. ඒ අදහසට සියලු ලෝ වැස්සන් විරුද්ධ වන්නේ ආර්යයන්, අනිත්‍ය, දුක්ඛ අනාත්ම ලෙසින් සලකන පංචස්කන්ධය ඔවුන් විසින් නිත්‍ය සුබ, සුඛ ලෙසින් ගන්නා හෙයිනි.

2. අන්‍යයන් සැපූ බව කියන පංචස්කන්ධය ආර්යයෝ දුකක්ම යැයි කියති. පංචස්කන්ධයෝ නිරුද්ධවීම සෙස්සන් දුකකැයි කියන විට ආර්යයන් වහන්සේ ඒ නිරෝධ වීම විමුක්ති සුඛයක් බව කියති.

3. දැකිය නොහැකි නිවන ගැන සිතන බාලයෝ එය වටහා නොගනිති. කෙලෙස් බර වූවන්ට නිවන හෝ නිර්වාණ මාර්ගය හෝ නොවැටහෙයි. ආර්යයෝ නිවනත්, නිර්වාණ මාර්ගයත් හඳුනති.

4. ප්‍රඥාවෙන් බලන සත් පුරුෂයන්ට ආලෝකය සේ ඒ නිවන විවෘතය. දහම නොදන්නා සත්ත්වයෝ ළඟම ඇති නිවන නොදකිති.

5. භව රාගයෙහි ඇලී ඒ අනුව යන මාරයාගේ ගෙදරට ගොස් සිටින සත්ත්වයන්ට මේ නිවන පහසුවෙන් අවබෝධ නොවේ.

6. ‘නිවන’ මැනවින් නුවණින් දැන රහත්හු පිරිනිවෙති. ආර්යයයෝ මිස අන් අයෙක් නිවන අවබෝධ කර නොගනිති.

මේ ගාථා පෙළ විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ නිවන පහළ වන ධර්මතාවක් නොව උත්සාහවන්තව පිළිවෙත් සපුරා ආයාසයෙන් ලබාගත යුතු දෙයක් බව ය.

බුදුපියාණන් නිවන පිළිබඳ සරලව මෙන්ම ගැඹුරින් ද දේශනා කළ අවස්ථා ඇත. ‘අත්ථි භික්ඛවේ අජානං අභූතං’ යනු එවැනි දේශනාවකි. නිවන හට ගැනීමක් නැතිවම ඇත්තේ ය යනු එහි අර්ථය යි. ‘නිවන’ ඇතිවීමක් බිහිවීමක් හට ගැනීමක් හෝ අවසන් වීමක් හෝ නොමැතිව පරමාර්ථ වශයෙන් පවතින දෙයක් බව මින් කියැවෙයි.

‘නිවන’ යන්න පහසුවෙන් අවබෝධ කළ හැකි ධර්මතාවක් නොවන බව පෙනේ. බිහිවීමක්, ප්‍රභවයක් නැතිව මෙය පවතින බව දක්වා ඇත. බිහිවීමක් නැතිව පවතින්නේ කෙසේ දැයි පැනයකි.

මුළු විශ්වය පුරාම අහස පැතිරී පවතී. එය හටගත් වකවානුවක් නැත. දැක්විය හැකි කාල නිර්ණයක්ද නැත. එය බිහිවීමක් නොමැතිව සැමවිටම පැවතිණි. අහස සේ නිවන ද උපතක් නැතිව පැවැතිණි. වර්තමානයේ ද අනාගතයේද එය එක සේ තිබෙනු ඇත.

තවත් කෝණයකින් විමසුවහොත් ‘නිවන’ යන්න ආශ්චර්යවත් දෙයක්ද වෙයි. සියලු දුක් වේදනා - සෝ තැවුල් නැසීමේ සිට සව් කෙලෙසුන් නැසීම දක්වා මේ අසිරිය පවතියි. ඊට ප්‍රවේශ වන අය යළි කෙදිනවත් සසරට පා නොතැබීමද විශේෂත්වයකි.

වරක් බුදුපියාණන් වහන්සේ භික්ෂූන්ට මෙසේ වදාළහ. ‘මහණෙනි ඒ නිර්වාණය යනු මෙලොවත් පරලොවත් නොවේ, එහි හිරු සඳු නැත. එහි සත්වයන් එන තැනක්වත් යන තැනක්වත් නැවති සිටින තැනක්වත් සත්ත්වයන් මැරෙන තැනක්වත් උපදින තැනක්වත් නැත. සංස්කාර ධර්මයක් යළි ඉපදීමක් නැත. දුක්වල කෙළවර නිවන යි.

අරූප භවයට සම්බන්ධ වන අරූප ධර්ම එහි නැත. රූප, අරූප කාම යන තුන් භවයේ ඇලෙන සංස්කාර නැති හෙයින්, නිවන පරලොවක්ද නොවේ. මොලොව ද නොවේ යැයි දහමෙහි දැක්වෙයි.

ලෝ සතුන් තුළ තෘෂ්ණාව ඇතිතෙක් නැවත ඉපදීම වැළැක්විය නොහැකි ය. නැවත ඉපදීම සමඟ සෙවණැල්ල සේ පසුපස එන්නේ් ජාති ජරා මරණාදිය ය යි. ඒ අනුව තණ්හාවේ නිරෝධය නිවනට මඟ වේ.

“මහණෙනි ලෝකෝත්තර මාර්ගය නිසා පුනර් ජන්මය ලබන තෘෂ්ණාවෙන් මිදී රූපාදියෙහි නො ඇලීමක් වේ නම්, එය දුක්ඛ නිරෝධ සත්‍යය වේ” යැයි බුදුරදුන් දේශනා කොට ඇත.

නිවන අසංඛත ධාතුවක් ද වෙයි. එනම් රාග, ද්වේශ, මෝහ නැතිවීම යි. මෙහි ධාතු යනුවෙන් අදහස් වෙන්නේ පුද්ගලද නොවන සත්ව නොවන යන්නයි. නිර්වාණ ධාතුව හැර අන් කුදු මහත් ධාතූන්ම ප්‍රත්‍යය කරණකොට බිහිවන නිසා සංඛත ධාතු වෙයි. නිවන ප්‍රත්‍යයෙන් හට නොගන්නා හෙයින් අසංඛත ධාතුවකි.

නිවන ස්ථාපිත ස්ථානය පිළිබඳ ප්‍රශ්නයකට දුන් පිළිතුරු විස්තරයක් මිලින්ද ප්‍රශ්නයේ එයි. මිලිදු රජ ඒ ගැන නාගසේන රහතන් වහන්සේගෙන් විමසූ විට දුන් පිළිතුර මෙසේ ය. ‘මහරජ නැගෙනහිර දිසාවේ හෝ දකුණු දිසාවේ හෝ උතුරු බස්නාහිර උඩ - යට හෝ හරසට නිවන පිහිටි තැනක් නැත. ‘මහජන නිවන පිහිටි ස්ථානයක් නැතත් එය ඇත්තේ ම ය. පිළිවෙත් පුරන්නා යෝනිසෝමනසිකාරයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගනී. ගින්න ඇතත් එය පිහිටි තැනක් නැත. ලී දෙකක් ඇතිල්ලූ විට ගින්න ලැබේ. එමෙන් ම නිවන ඇතත්, එය පවතින තැනක් නැත.

මහ රජ මැනවින් පිළිපදින යෝගාවචරයන් නිවන ලබන තැන නම් ශීලය යි. එහි පිහිටි යෝනිසෝමනසිකාරයෙන් යුත් පුද්ගලයා කුමන පෙදෙසක සිටියත් මහමෙරක සිිටියත්, බඹලොව සිටියත් නිවන ලබා ගනී.

‘මහරජ, නිවන ඇති තැන විපත් නැත, උපද්‍රව බියක් නැත, උවදුරු නොඑන - ශාන්ත ස්වභාවයෙන් යුතු තැනකි. එහි සුඛ ස්වභාවයක් ඇත. මිහිරි ප්‍රණීත පිරිසුදු ස්වභාවයකි.

අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයේ මහා පන්නාසකයේ පංචම වර්ගයේ පළමු සුත්‍රය අනුව බුදුපියාණන් මෙසේ වදාර ඇත.

මහණනි, මේ සසුනේ් මහණ තෙමේ සුත්ත, ගෙය්‍ය, ව්‍යාකරණ, ගාථා උදාන, ඉති වුත්තක, ජාතක, අබ්භූත, ධම්ම, වේදල්ල යන නම කොටසට අයත් බුදු දහම පුරුදු කෙරේ ද ඒවා ඒ භික්ෂුවට ඇසුණේ්ද ගායනා කිරීමට වචනයෙන් පුරුදු වූයේ ද සිතින් යළි යළිත් සිහිපත් කෙරේද අත්ථි ලෙස කරුණු ලෙස නුවණින් මනාව තේරුම් ගත්තේද ඒ භික්ෂුව පෘථග්ජනයකු ලෙස අපවත් වී නම් යම් දේව යෝනියක උපදී. එහිදී සුවපත් වූ ඔහුට පෙර ආත්මයේ තමන් පුරුදු පුහුණු කළ දහම් වැටහෙයි.

එසේ පූර්ව ස්මරණය අනුව දැනුම අවබෝධ කොට පහසුවෙන් මඟඵල ලබයි.

නිවනට පමුණුවන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. මෙකල මනුලොව උපන්නෝ දහම හදාරා පිළිපැද බවුන් වඩා මේ ආත්මයේදී ම නිවන් නොලැබුවත් එසේ කරන්නෝ ඉදිරි ආත්මයක නිවන සාක්ෂාත් කර ගන්නා බවට සැක නැත. එහෙයින් ප්‍රමාදය පසුතැවීමට හේතුවන බව කිව යුතු ය.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]