UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වස් විසීමේ පිළිවෙත හා පරිසර හිතකාමී ආකල්පය

ශාස්ත්‍රවේදී, පණ්ඩිත අමුණුපුර පියරතන හිමි

අස්සෝසුං ඛෝ භික්ඛු
තේ සං මනුස්සානං
උජ්ක්‍ධායන්තානං
ඛීයන්තානං විපාචෙන්තානං
අථඛෝ තේ භික්ඛු භගවතෝ ඒතමත්‍ථං ආරෝචේසුං
අථඛෝ භගවා ඒතස්මිං
නිදානේ ඒතස්මිං පකරණේ
ධම්ම කථං කත්වා
භික්ඛු ආමන්තේසි
අනුජානාමි භික්ඛවේ
වස්සානේ වස්සං උපගන්තුං ති

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීපංකරාදී බුදුරජාණන් වහන්සේගෙන් පැවතෙන්නා වූ උතුම් බුද්ධ චාරිත්‍රයක් ඉෂ්ට සිද්ධ කරමින් ශ්‍රාවකයන් වහන්සේට වස්සාන සෘතුවේ වස් විසීමට විනය ප්‍රඥප්තියක් වශයෙන් පනවා වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ සෑම ධර්ම දේශනාවක්ම හේතුව, පුද්ගලයා සිද්ධිය, ධර්මය, සාධනීයඵලය යන කරුණු පහෙන් සංයුක්ත වීමෙන් එම පවත්නා විශ්වාසභාවය හා පැවැත්ම ආරක්ෂා වී ඇත.

භාරත දේශයේ කාලගුණයට, දේශගුණයට අනුකූ®ල ලෙස ආර්ථිකය, අධ්‍යාපනය, ආගම, සිරිත් විරිත් උපරිම වශයෙන් සකස් කරගත් අයුරු බ්‍රාහ්මණ ධර්ම හෙවත් වේදය, ජෛන බෞද්ධ හා වෙනත් ආගම් දර්ශන සාහිත්‍යයෙන් මොනවට පැහැදිලි වෙයි. ඉර, හඳ අහස, පොලොව , අව්ව වැස්ස යන සොබාදහමේ ප්‍රධාන සංසිද්ධීන් උපයෝගී කරගෙන තම ආර්ථික රටාව ස්වයං පෝෂිත කරගත් අයුරු ප්‍රත්‍යක්ෂ වෙයි.

හිමාල කඳුවැටියෙන් සිපගෙන එන වළා පෙළින් අන්තිම හැම බින්දුව දක්වා අපතේ නොයවා ප්‍රයෝජනයට ගෙන ගොඩමඩ ඉඩම් ගහකොළ හරකබාන සරු කර ගන්නා භාරතීය ජනතාවට වර්ෂාකාලය දෙවියන්ගෙත් දෙවියන් විසින් දෙන ලද අගනා වරමකි. ආශිර්වාදයකි. මිහිකතට ජල පූජාවකි. මේ නිසා භාරතයේ සියලු භාෂා ශාස්ත්‍ර පෝෂණයට වර්ෂාව මහෝපකාරි වී ඇත.

වස්සාන සමයේ ගොවියන් ප්‍රධාන කම්කරුවන් තම තමන්ගේ් කාර්ය ඉෂ්ඨ සිද්ධ කරගන්නා අතර අන්‍ය ආගමිකයෝ ආරාමවලට රැස්ව බණ භාවනා කරති. ව්‍රත සමාදන් වෙති. එහෙත් බුද්ධ ශ්‍රාවකයෝ තැනින් තැන සැරිසරති. තණකොළ පාගති. මිනිසුන් බුද්ධ ශ්‍රාවකයන්ට දොස් ඛ්යති, නින්දා කරති, අවමන් කරති.

භික්ෂූන් මේ කාරණය භාග්‍යවතුන්වහන්සේට සැළ කළ විට භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි වස්සාන සමයේ වස් වසන්නට අනුදනිමි’ යි විනය ප්‍රඥප්තියක් පනවා භික්ෂූන් එහි පිහිටුවා වදාළ සේක.

වස් විසීම පිළිබඳ විනය නීති රීති රාශියක් පනවන්නට සිදු වූයේ වස් විසීමෙන් අපේක්ෂා කරන පරමාර්ථ උපරිම වශයෙන් ලබා ගැනීමටය.

වස් වසන කාලය, ස්ථාන, ඊට සුදුසු පැවිද්දන් සත්තාහකරණය වස් පවාරණය, කඨින චීවරය ආදි වශයෙන් මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකය වෙන්කර ඇත්තේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ය.

සමස්ත මානව ශිෂ්ටාචාරයම බිහි වී ඇත්තේ පරිසරයෙන් ලබන අත්දැකීම් අනුව ය. විවිධ ආගමික පිළිවෙත් වලට දේශගුණය, කාලගුණය බල පා ඇති බව පෙනෙයි. සොබාදහමට බෙහෙවින් ආදරය, ගෞරවය දක්වා තම තමන්ගේ් ආර්ථික තත්ත්වය මෙන්ම මානසික සහනයද ළඟා කරගත් අයුරු වේද සාහිත්‍යයෙන් ප්‍රකට වෙයි. පරිසරයත් දේවත්වයත් පිළිබඳ අනුභූතීන් අධ්‍යාත්මික ගුණාංග පෝෂණයට, මරණින් මතු පැවැත්ම ගැන සිතීමේ චින්තන ධාරා විකාශනය වීමට හේතු වූ බව පැහැදිලිය.

සමාජ විපරිණාම නිසා භික්ෂූන් වහන්සේගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමේදී ඇතිවන සංකීර්ණ ප්‍රශ්නවලට අවංකව ප්‍රසන්න මනසිත් මුහුණ දීමට අප බුදුරදුන් විසින් පනවා වදාළ විනය නය මහෝපකාරී වූ වග මහාවග්ග පාලිය, විශේෂයෙන් වස්සුපනායිකක්ඛන්ධකය මඟින් පැහැදිලි වෙයි. වස් සමාදන් වීම හා සිහි බුද්ධියත් එය ආරක්ෂා කර ගැනීම යනු උපසපන් භික්ෂූන් වහන්සේ නිවන් පිළිවෙතට විශේෂයෙන් කැපවීම ප්‍රකට කරන අවස්ථාවකි. මේ නිසා වස් කාලය අපතේ නොයවා වස් වසන භික්ෂුන්ට සිව් පසයෙන් උපස්ථාන කරමින් දායක පින්වතුන්ද ඵලදායක පිළිවෙතකට යොමුවීම අත්‍යාවශ්‍ය ය.

විශේෂයෙන් භික්ෂු ආකල්ප අවශේෂ මානව සමාජය හා සැසැඳීමේ දී වෙනස් විය යුතු බව දසධම්ම සූත්‍රයේ දැක්වේ. සතර ඉරියව් පැවැත්වීම සිව්පසය පරිහරණය ගෝචර ග්‍රාමයන්හි සංචාරය, භික්ෂූන් අතර ආශ්‍රය ආදී ආචාර සමාචාර සිරිත් විරිත් කතා බහ, දේශනා ශ්‍රමණ පරමාර්ථයට සරිලන සේ කෙසේ පැවැතිය යුතුද යන්න මූලවග්ග පාලියේ විස්තර වෙයි.

මෝනෙය්‍ය වත, අපණ්ණක ප්‍රතිපදාව රථ විනීත ප්‍රතිපදාව, කරණීය මෙත්ත සූත්‍රයේ තුදුස් අර්ථ කුසල ධර්ම ආදී උසස් ධර්ම ප්‍රතිපදා උපදේශ භික්ෂූ ජීවිතය අධ්‍යාත්මික වශයෙන් සාරවත්කරන පෝෂණය කරන දෙලොව ශාන්තිය ඇති කරන සම්බුද්ධ ශාසනය චිරස්ථායී කරන සදූපදේශය. ශාරීරික, මානසික හා සමාජික යෝග්‍යතාවයන්ගෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේ තරම් උසස් කෙනකු නැති නිසා උන්වහන්සේ ලෝකයේ කිසි කෙනකුට යටත් නැති නිර්භය, නිරහංකාර ශ්‍රේෂ්ඨ තැනැත්තා බව, අවිවාදයෙන් පිළි ගැනීමට සිදුවෙයි.

භික්ෂු සමාජය තුළ පැන නැගුණු ප්‍රශ්න වලදී බුදුරදුන් විසින් සීල විපත්ති, ආචාර විපත්ති, දිට්ඨි විපත්ති, භික්ෂු ජීවිතයට අනර්ථකාරී බව, බුදුරදුන් මහ කරුණාවෙන් යුතුව, පරිසරයෙන් උදාහරණ ගෙන හැර දක්වමින් පෙන්වා දී ඇත. පුද්ගල නිදහසට අල්ප මාත්‍ර බාධාවක් නොවන පරිදි ප්‍රඥප්ති අනුප්‍රඥප්ති පුද්ගල ප්‍රඥප්ති ප්‍රදේශ ප්‍රඥප්ති ආදී වශයෙන් විනය නීති වෙනස් කිරීමට ඉඩකඩ ලබාදී ඇත්තේ භික්ෂූන් වහන්සේට සමාජ පරිසරයෙන් ආරක්ෂා වී පරමාර්ථ ගමන් මගෙහි උන්වහන්සේට පියවරෙන් පියවර විමුක්තිය වෙත පිය නැගීමට ය. මේ බව මහාවග්ග චුල්ලවග්ග ආදී පාලි ග්‍රන්ථවලින් මැනවින් පැහැදිලි වෙයි.

සම්බුද්ධ ශාසනයේ ආරම්භය මෙන්ම වර්ධනය ද සිදුවූයේ වන සෙනසුන් ආශි‍්‍රතව ය. එසේ ම වරින්වර භික්ෂු සමාජය පිරිහුණු අවස්ථාවලදී සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ ආරණ්‍යවාසීව ශාසනය ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට පෙරමුණ ගත්බව ශාසන ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වනවාසීව සිට බුදුරදුන් පිරිනිවි අවස්ථාවේ දී සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්මට ප්‍රමුඛ ව ක්‍රියා කළහ. වන සෙනසුන්, ගල් ගුහා, ගස් මුල් ආදී විවේක ස්ථාන සොයා යන භික්ෂු භික්ෂුණී උභය පාර්ශ්වය ම අප්‍රමාදීව සුළු කලෙකින් තමන්ගේ් ශ්‍රමණ පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගනිති.

වස්සාන සෘතුවේ වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ බුදුරදුන්ගෙන් හෝ තමන්ගේ උපාධ්‍යායන් වහන්සේගෙන් හෝ සුදුසු කමටහන් ඉගෙනගෙන ආරණ්‍යගත වී අප්‍රමාදිව වීර්ය වඩා චිත්ත සමාධිය වඩා ධ්‍යාන, විදර්ශනා ඤාණ මාර්ගවල ඤාණ ලබා, බුදුරදුන් දකින්නට වැඩි අයුරුද බුදුරදුන්ගෙන් ප්‍රශංසා ලබාගත් අයුරුද ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

චක්ඛුපාල හිමියෝ වස් තෙමස තුළ නිදිවරා බවුන් වඩා රහත් ඵලයට පත් වූ සේක. වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ද හුදෙකලා ජීවිතය පි‍්‍රය කළේ බණ භවනා කිරීමට පහසු බැවිනි.

ආරණ්‍යගතව, හුදෙකලාව බණ භාවනා කරන විට පරිසරයද තමාට අවනත වන්නේ, ආශ්චර්යවත් බලවේගයක් විලසිනි.

තමාගෙන් පරිසරයටත්, පරිසරයෙන්, තමාටත් හානියක් නොවීමට නම් කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් අර්ථ කුසල ධර්ම පුරුදු පුහුණු කළ යුතුම ය. මහණකම පිළිබඳ නිසි අවබෝධයක් ලබාගෙන තමනට යෝග්‍ය භාවනා අරමුණක් කරා සිහි බුද්ධිය යොමු කරන්නේ නම් පැවිදි පරමාර්ථ ඉෂ්ට සිද්ධ කර ගැනීමට පරිසරයෙන් ආශිර්වාද ලැබීම, අනිවාර්ය ය.

රමණීයානි අරඤ්ඤානි

යත්ථ නරමතී ජනෝ

වීතරාගා රමෙස්සන්ති

නතේ කාම ගවේසිනෝථ

ඔබ සැමට

සම්මා සම්බුදු සරණයි

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]