UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සද්ධර්මය දැකීමට දුරැලිය යුතු උපාරම්භ සිත

බෙලිඅත්ත නිහිළුව
හ/ සිරි ධම්මානන්ද පිරිවෙන්පති රාජකීය පණ්ඩිත
ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමි

අවිද්‍යා අන්ධකාරයෙන් වෙලී සිිටින සත්වයාට ලෝකයේ පවත්නා චතුරාර්ය සත්‍ය ධර්මය පෙන්වාදී ඔවුන් දුකින් මිදවීම සඳහා ම ලොව සම්මා සම්බුදුවරයෝ පහළ වෙති. සම්බුදුවරයකුගේ ලොව පහළ වීම ඉතා දුර්ලභ සිදුවීමකි. (කච්ඡො බුද්ධානං උප්පාදෝ) ඒ දුර්ලභ වූ බුදු උපත මනුෂ්‍යයා ඇතුළු සියලු සත්ත්වයන්ට ම ලෞකික ලෝකෝත්තර සැප ගෙන දෙන්නේ ය. (සුඛෝ බුද්ධානං උප්පාදෝ) එම අවස්ථාවෙන් උභය ලෝක අර්ථසිද්ධිය සලසා ගැනීමට නම් සම්බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත යුතු ය.

ථෙරගාථා පාළියේ, සද්ධර්මය කොපමණ ඇසුවද එය අවබෝධ නොවන පුද්ගයකු පිළිබඳ මෙසේ දේශනා කර ඇත.

‘උපාරම්භ චිත්තො දුම්මේධෝ
සුණාති ජිනසාසනං
ආරකා හෝති සද්ධම්මා
නභසො පඨවී යථා’

යමෙක් උපාරම්භ සිතින් යුක්තව අනුවණ ලෙස ශ්‍රී සම්බුද්ධ දේශනාව ශ්‍රවණය කරයි ද ඔහු ශ්‍රී සද්ධර්මය කොතරම් ඇසුවත්, ඉන් ඉතාම දුරු වෙයි. අහසින් ඉතා දුර වූ පොළව මෙනි. අහස හා පොළව මෙන් සද්ධර්මය හා ඒ අනුවණයා කිසිදිනෙක එක් නොවේ.

මෙම ගාථා ධර්මය දේශනා කරන ලද්දේ යසදත්ත නම් තරුණයකුට බව ථෙරගාථාට්ඨ කථාවේ දැක්වේ. නුවණැති තරුණයකු වූ යසදත්ත දිසාපාමොක් වෙතින් රජෙකුට අවශ්‍ය සිප් සතර හදාරා තවත් දහම් කරුණු ගවේෂණය කරමින් සභිය පිරිවැජියාට එකතු විය. විමසුම්ශීලීව සිටි මේ දෙදෙනාට ලොවුතුරු බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව දැනගන්නට ලැබිණි. උන්වහන්සේ මුල, මැද, අග ඉතා යහපත් වූ ධර්මයක් දේශනා කරන බව ඇසූ සභිය හා යසදත්ත බුදුරදුන් වෙත ගොස් ධර්ම සාකච්ඡාවක් පැවැත්වූහ. මෙහිදී බුදුපියාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය අවබෝධ කරගත්තේ සභිය පිරිවැජිය පමණකි. යසදත්ත ධර්මාවබෝධය නොකළේ මන්ද? යි විමසු තථාගතයන් වහන්සේ ඉහත ගාථාවෙන් ආරම්භ වූ ගාථා පන්තියක්ම දේශනා කළ සේක. එම ගාථා යසදත්ත ථෙර ගාථාවේ සංග්‍රහ කර ඇත.

වැරදි සෙවීමේ අරමුණ

යසදත්ත තරුණයා සාකච්ඡාව අවසානය දක්වාම ආරම්භයේ පටන් සිටියේ උපාරම්භ සිතිවිල්ලෙනි. එනම් බුද්ධ වචනයේ වරදක් සෙවීමේ සිතෙනි. ‘මුල මැද අග යහපත් වු පිරිසිදු වූ , අර්ථ සහිත ව්‍යාඤ්ඡන සහිත සද්ධර්මයක් දේශනා කරයි’ යනුවෙන් පැතිර තිබූ ගුණ ඝෝෂාව නැති කිරීමේ අරමුණින් බුද්ධ දේශනාවේ දෝෂයක් සෙවීම යසදත්තගේ අරමුණ විය. මෙම උපාරම්භ සිත පිළිබඳ විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

උපාරම්භ යනු පාලි වචනයකි. එහි සංස්කෘත රූපය ද එසේම ය. “උපාරම්භති” යනු ක්‍රියා පදයයි. උප + ආ+ ලභ+ ති යනු එහි පද සිද්ධියයි. ‘උප’ පූර්ව ‘ආ’ පූර්ව (උපසර්ග) ලාභ ධාතුවෙන් සිද්ධ වූ පදයක් ලෙස මේ අනුව ‘උපාරම්භ’ යන නාම පදය පිළිබඳ ව්‍යාකරණ විවරණය දැක්විය හැකිය. එම පදය පුල්ලිංගික නාම පදයක් බව පවසන පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ ‘දෝෂාරෝපණය’ යන අර්ථය උපාරම්භ පදයට ලබාදෙති. බෞද්ධ ශබ්ද කෝෂයේ ද උපාරම්භ යන පාලි වචනයේ අර්ථ ලෙස උපාරම්භය, දෝෂාරෝපණය, දොස් පැවරීම හා පරවම්භනය යන අර්ථ දක්වා ඇත.

මෙම සියලු අර්ථ කථන පරීක්ෂා කර බැලූ විට උපාරම්භ යන පදයේ අර්ථ රැසක් ඇති බව පෙනේ. දොස් නැගීම, වරද පැවරීම, චෝදනා කිරීම, තදින් දෝෂාරෝපණය කිරීම, අප්‍රසාදය පළ කිරීම, තරවටු කිරීම, පරිභව කිරීම, තදින් විවේචනය කිරීම, හෙළා දැකීම වැනි අර්ථ රැසක් ප්‍රකට වුවත්, තරහ (පටිඝ) සිතෙන් අනුන් හෙළා දැකීමේ (පරවම්භන) ආශාවෙන් සිදුකෙරෙන දෝෂාරෝපණයක් උපාරම්භ යන වචනයෙන් අදහස් වන බව කිව හැකිය.

දැන් මේ වචනය පෙළ දහමෙහි යෙදී ඇති ස්ථාන කිහිපයක් පමණක් ගෙන විමසා බලනු ලැබේ.

ශ්‍රී සද්ධර්මය වැරැදි ආකාරයෙන් ඉගෙනීම පිළිබඳ දේශනා කෙරෙන මජ්ඣිම නිකායේ අලගද්දුපම සූත්‍රයේ දී ‘’උපරම්භානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්ප මොක්ඛානිසංසා ච’ යනුවෙන් දැක්වේ. සම්බුදු දහමේ වැරැදි සෙවීමේ, ඊට දෝෂරෝපණය කිරීමේ කැමැත්ත මෙන්ම වාදයෙන්ගෙන් මිදීම, සාර්ථකව අන්‍යාගමික වාදයන්ට පිළිතුරුදීම සඳහා යන අරමුණ දෙකින් මිදී සද්ධර්මය ඉගෙනීම ද මෙහිදී දැක්වේ.

මේ දෙදෙනා ම නැතිනම් මේ අභිමතාර්ථ දෙකින් සම්බුදු දහම පරිශීලනය කරන දෙදෙනාම ඉන් ලැබෙන සුවය නොලබති. වල්ගයෙන් අල්ලා ගත් සර්පයා, අල්ලාගත් තැනැත්තා නසන්නාක් මෙන් ද්වේෂ සිතින ධර්මය උගත් අඳ බලයා එය නිසාම වැනසේ. ඔහු සද්ධර්මයේ නියම ප්‍රයෝජනය නොලබයි.

අංගුත්තර නිකායේ තික නිපාතයේ ‘උපාරම්භ චිත්තං’ යන වචනය දක්නට ලැබේ. එහි තයෝධම්ම සුත්‍රයේ පැවසෙන පරිදි ජාති, ජරා, මරණ යන ලක්ෂණ තුන නිසා ම ඒ ධර්ම තුන ලොව පවතින නිසාම තථාගතයන්ගේ ලොව පහළවීමත්, තථාගත ධර්මය ලොව බැබැළීමත් සිදුවන බව පවසේ. ජාති, ජරා , මරණ නැසීමට නම් රාග ද්වේෂ, මෝහ යන අකුසල මූල දුරුකළ යුතු ය. රාග, ද්වේෂ, මෝහ නැසීමට නම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව සීලබ්බත පරාමාස දුරුකළ යුතුය. මේ ආකාරයෙන් දේශනාවෙහි දී මුළා සිහිය (මුට්ඨ සච්චං) අසම්පජඤ්ඤය (අසම්පජ්ඤ්ඤං) සිතේ වික්‍ෂේපය (චිත්ත වික්ඛේපං) දුරලීමට නම් ආර්ය ධර්මය අසනු නොකැමැති බව, අර්යයන් දකිනු නො කැමැති බව හා උපාරම්භ සිත දුරුකළ යුතු බව දැක්වේ. ‘අරියානම දස්සනකම්‍යතං පහාතුං අරියධම්මස්ස අසෝතුකම්‍යතං පහාතුං උපාරම්භ චිත්තතං පහාතුං’ මෙතැනදී ආර්යයන් දැකීමේ අකැමැත්ත, ආර්ය ධර්මය නො අසනු කැමැත්ත සමඟ සම්බන්ධ වූවක් ලෙස උපාරම්භ සිත දැක්වේ. සත්පුරුෂ සමාගම මෙන්ම සත්පුරුෂ දහම ද උපාරම්භ සිත නිසා පිළිකෙව් කෙරේ. උපාරම්භ සිත ඇතුළු මේ ධර්ම දුරුකිරීමට නම් උද්ධච්ච බව (සිතේ විසිරීම) සිතේ අසංවර බව, දුසිල් බව යන ධර්ම තුන අත්හළ යුතුයැයි පැවසේ.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ දී දිගුකල් පවතින අග්‍රයැයි දතයුතු, ආර්යවංශික වූ ඉතා පැරැණි අසංකීර්ණ වූ තුන්කල්හිම බුදුවරුන් විසින් බැහැර නොකළ සතර ධර්ම පදයක් දැක්වේ. අනභිජ්ඣාව, අව්‍යාපාදය, සම්මා සතිය, සම්මා සමාධි යන ධර්ම පද සතර උක්කලා නුවර වැසි වස්ස හා භඤ්ඤ යන අහේතුකවාදී අක්‍රියවාදී නාස්තිකවාදී පිරිවැජි දාර්ශනික දෙදෙනා පවා බැහැර නොකළ බව දේශනා කරන තථාගතයන් වහන්සේ එසේ බැහැර නොකිරීමට කරුණු තුනක් බලපෑ බව දක්වති. ඒවානම් නින්දා බ්‍යාරොසා උපාරම්භ භයා’තී

1. නින්දා භය නිසා
2. ඝටන, කිපෙන භය නිසා
3. උපවාද දෝෂාරෝපණය කරන බිය නිසා

මෙසේ ‘උපාරම්භය’ භයක් ලෙස ගෙන බුද්ධාදී ආර්යයන් අගැයු සදහම් පිළිගැනීමට බුද්ධිමතුන් පෙළඹෙන බව මෙම සූත්‍රයේදී දක්වා ඇත. ලැජ්ජාය (හිරි) භය (ඔත්තප්ප) යන දෙක නිසා පාපයෙන් මිදී ලෝ වැසියා සදාචාරයට යොමුවන්නාක් මෙන් නින්දාව, රෝෂය හා උපාරම්භ යන තුන නිසා සත්ත්වයා සද්ධර්මයට නැඹුරුවන බව මෙහිදී කියැවේ. ‘සෙසු ජනයා තම දහම, දර්ශනය, ඉගැන්වීම ගෙන එහි දොස් සොයාවි’ යන භය නිසා බුද්ධිමත් දාර්ශනිකයෝ යහපත් ධර්මවලින් බැහැර නොවෙති.

සංයුක්ත නිකායේ මහාවග්ගයේ කුණ්ඩලිය සූත්‍රයේදී ඇතැම් මහණ බමුණන් ‘ඉතිවාදප්පමොක්ඛානි සංසඤ්චේව කථං කථෙන්තේ, උපාරම්භානිසංසඤ්ච ‘ යනුවෙන් වාදය මෙසේය. වාදයෙන් මිදීම මෙසේය යි මෙහි අනුසස් පවසති යනුවෙන් කියැවේ. නමුත් බුදුසමයෙහි එබඳු අනුසස් නොපවතියි, නො අගයයි. බුදුහු විද්‍යා විමුක්ති ඵල අනුසස් කොට (විජ්ඡා විමුක්ති ඵලානිසංසො) වෙසෙන බව එහි තවදුරටත් කියැවේ.

අගතිගාමී වීමට හේතු

අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන උපාසක අපරිහානිය සූත්‍රය ද මෙහිදී අපට වැදගත් වේ. එහි උපාසකයකුගේ ඒ ශ්‍රේෂ්ඨ උපාසකභාවය පිරිහෙළා අගතිගාමී වීමට හේතුභූතවන කරුණු සතක් දැක්වේ. එම කරුණු සතෙන් පස්වන කාරණය මෙසේ දැක්වේ. උපාරම්භ ට්ත්තෝ ධම්මං සුණාති රන්ධගවේසී’ දොස් දකිනා සිතින්, සිදුරු සොයන සුළුවූයේ දහම් අසයි. මෙම උපාසකයා දහම් අසනුයේ දේශකයාගේ හෝ දේශනයේ වැරදි සොයන සිතෙනි. එය ඔහුගේ හෝ ඇයගේ උපාසකභාවය පිරිහීමට හේතු වේ. උපාසක භාවය මනාව සුරක්ෂිත කරන්නා වූ කරුණු සත දක්වන විටදී ‘අනුපාරම්භ චිත්තෝ ධම්මං සුණාති න රන්ධගවේසී’ යනුවෙන් දොස් නොදක්නා සිතින්, සිදුරු නොසොයන සිතින් ධර්මය ඇසීම පස්වන කාරණය ලෙස දක්වා ඇත.

මෙහිදී උපාරම්භ යන්නට සමීප වදනක් ලෙස ‘රන්ධගවේසී ( සිදුරු සෙවීම) යන්නත් එහි විරුද්ධ චිත්ත ස්වභාවය ‘අනුපාරම්භ චිත්ත’ නාමයෙන් දක්වා ඇති අයුරුත් වටහාගත යුතුය.

ථෙරගාථා පාළියේ යසදත්ත ථෙරගාථාවේ දී උපාරම්භ චිත්තය නිසා එම පුද්ගලයාට වන අයහපත සිත්ගන්නා සුළු උපමා සතරකින් විවරණය කර ඇත.

1. ආරකා හොති සද්ධම්මා නභසො පඨවී යථා අහසට පොළාව මෙන් ඔහු පිළිවෙත් දහමින් දුරුවේ.

2. පරිහායති සද්ධම්මා කාලපක්ඛෙව චන්දිමා අවපක්ෂයේ සඳ මෙන් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයෙන් පිරිහේ.

3. පරිසුස්සති සද්ධම්මෙ මච්ඡො අප්පොදකෙ යථා දිය සිඳී යන දියකඩිත්තක මසුන් මෙන් නව ලොවුතුරු දහම් හි වියැළී ය යි. ළතෙත් බවක්, සැනසීමක්, සෙම්නසක් කිසිදිනක නොලබයි.

4. න විරූහති සද්ධම්මේ ඛෙත්තේ බීජංව පූතිකං කෙතෙහි වපුළ කුණු වූ බිජුවට මෙන් ඔහු තුළ සෝවාන් ආදී ආර්ය මාර්ග නොවැඩේ. ඔහු කුණු වී යයි.

මේ ආකාරයෙන් විමසා බැලීමේදී ‘උපාරම්භ සිත’ එය ජනිත කරගත් තැනැත්තාට ඉමහත් ආදීනව ගෙන දෙන්නක් බව පෙනී යයි. ඔහුට සදහම් අවබෝධ නොවේ.

බුද්ධෝත්පාදය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, මනුෂ්‍ය සම්පත්තිය මෙන්ම එය අවබෝධ කර ගැනීමේ හැකියාව ද යන ක්‍ෂණ සම්පත්තියෙන් විපුල ප්‍රයෝජන ලැබීමට දේවේෂ මූලිකව ක්‍රියාත්මක වන දෝෂාරෝපණය කරනු කැමැත්ත හෙවත් උපාරම්භ සිත ප්‍රබල, බාධාවකි. සද්ධර්මය ඉගෙනීමෙන් නියම ප්‍රයෝජන ලැබීමට එය බාධාවක් වනවා පමණක් නොව උපාරම්භ සිත ඇත්තා නැසීමට (පිරිහීමට) ද එය උපකාර වේ. උපාරම්භයේ අතුරුඵල ලෙස සිහිය මුලා වේ. වීමංසන බුද්ධිය, විමසුම් නුවණ, පිරිහෙයි. සිත වික්‍ෂිප්ත වේ. උපාසකභාවය පිරිහෙයි. මේ උපාරම්භ චිත්තයේ ඇති එකම ආනිශංසය නම්, උපාරම්භ සිත ඇති තැනැත්තා නිසා අනෙකුත් අසත්ධර්ම රුචිකරන බුද්ධිමත් දර්ශනවාදීන් මූලික සද්ධර්ම කරුණුවලින් දුරු නොවීමයි. නමුත් උපාරම්භ සිත ඇත්තාට ඉන් වන අර්ථයක් නම් නැත.

මෙනිසා උපාරම්භ සිතින් සද්ධර්මය නොඇසිය යුතුයි. (උපාරම්භන සික්ඛෙය්‍ය) නොදෙසිය යුතුයි. අනුන්ගේ ප්‍රමාද දෝෂ නොසලකා හළ යුතුයි. (චලිතඤ් ච න ගාහයෙ) වැරැදීම් අඩුපාඩු සර්වඥ නොවූ සැමදෙනා අතින්ම සිදුවේ. වැරැදි පමණක් අල්ලාගත හොත් ( Negative Thinking ) අප පිරිහෙයි. එනිසා අපි අනුන්ගේ කථාව වළක්වා කථා නොකරන්නෙ මු. සත්‍යාසත්‍ය මිශ්‍ර කථා නොකරන්නෙමු. (නාභිහරෙ නාභිමද්දේ න වාචං පයුතංභණෙ)

මෙසේ යමෙක් තුටු සිතින්, සතුටු සිතින්, සිවුබඹ විහරණ පෙරටු කරගත් සිතින් සද්ධර්මය ශ්‍රවණය කෙරේ නම් (යො ච තුට්ඨෙන චිත්තේන සුණාති ජින සාසනං) ඔහු සියලු ආශ්‍රව ක්ෂය කරයි. අර්හත්වය සාක්ෂාත් කර ගනියි. කිසිදා නොකිපෙයි. (ඛෙපෙත්වා ආසවෙ සබ්බේ සම්ඡිකත්වා අකුප්පතං) පරම ශාන්තිය වූ නිවනට පැමිණ අනාශ්‍රව ව පිරිනිවෙයි. ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගෙන උතුම් නිවනින් සැනසෙමු.

ඔබ සැමට තෙරුවන් සරණයි.

ආශි‍්‍රත ග්‍රන්ථ නාමාවලිය

1. අංගුත්තර නිකාය - බු.ජ..ත්‍රි 1,2,4 භාග - 256 - 62/64/318 පිටු

2. මජ්ඣිම නිකාය - බු.ජ. .ත්‍රි 1 භාගය - 334 පිටුව

3. සංයුත්ත නිකාය - බු.ජ.ත්‍රි 5 භාගය - මහාවග්ග - 154 පිටුව

4. ථෙරගාථා පාළිය - බු.ජ.ත්‍රි 112 - යසදත්ත ථෙර ගාථාව

5. ථෙරගාථාට්ඨකථාව - හේවාවි - යසදත්ත ථෙර ගාථා වණ්ණනා

6.  T.W Rhys Davids -Pali English Dictionary-p.150

7. බුද්ධ දත්ත හිමි, පොල්වත්තේ ‘පාලි සිංහල අකාරාදිය - 119 පිටුව

8. ලියනගේ සිරි - බෞද්ධ ශබ්ද කෝෂය 1 කොට්ටාව - 334 පිටුව

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]