UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ දෙසන - බණ අසන සිරිලක පැරැණි පිළිවෙත

ධර්මය දේශනා කිරීම ධර්ම දානයකි. ධර්ම දානය පුරාණයේ සිට ක්‍රම තුනක් මගින් සිදු විය.

ඒ මෙසේ ය.

1. ධර්මය දේශනා කිරීම - අද දේශකයාණන් කෙනකු විසින් පිරිසකට දහම් දෙසීම හෙවත් බණ කීම කෙරෙන ආකාරයට අතීතයේ දී ද එසේම සිදු විය.

2. දහම් පොත් කියවීම - දහම් පොත් කියවන ලද්දේ පිරිසකට ඇසීම සඳහා ය. පුරාණයේදී අකුරු නොදත් අය බොහෝ වූහ. එම පිරිසට ධර්ම ශ්‍රවණය සඳහා අකුරු දන්නා කෙනෙකු විසින් ජාතක පොත, වෙස්සන්තර ජාතකය වැනි පොත් කියවන ලදී.

3. දහම් පොත් ලිවීම - දහම් පොත් ලිවීම ද වටිනා ධර්ම දානයකි. දේශනා කරන ධර්මයට වඩා මෙය වැඩි කාලයක් පවතී. එසේ ලියන ලද දහම් පොත්වලට අතීතයේ දී මහත් ගෞරවයක් හිමි විය. පූජාවලිය රචනා කර එය ඇතකු පිටින් පෙරහරකින් වැඩම කර වූ බව ප්‍රකටය.

භික්ෂූන් වහන්සේ ගිහි පිරිසට දහම් දෙසූහ. එය හුදෙක් තමන් ලබන ප්‍රත්‍ය ආදිය හෝ ලාභ ප්‍රශංසා හෝ වෙනුවෙන් කරනු ලබන්නක් නොවේ.

ධර්ම දේශනා විවිධ අරමුණු නිමිති කරගෙනද පවත්වනු ලැබේ.

මඟුල් බණ- උපසම්පදාවට පත් භික්ෂූන් වහන්සේ නමක් විසින් පවත්වනු ලබන ප්‍රථම ධර්ම දේශනය ‘මගුල් බණ’ නමින් හැඳින්වෙයි.

මතක බණ - පාංශූකූ®ල චීවරය පූජා කරන අවස්ථාවේදී සහ සත් දින, තුන් මස මියගිය අය වෙනුවෙන් ඔවුන්ට පින්දීමට කරන ධර්ම දේශනා ය.

කඨින බණ - වස් කාලයේදී විහාරස්ථානයක වැඩ සිටි භික්ෂූන් වහන්සේට කඨින චීවරය පූජා කිරීම වෙනුවන් පවත්වනු ලබන ධර්ම දේශනයයි.

දහම් දෙසීම හෙවත් බණ කීම බෞද්ධ ධර්ම සංනිවේදන පිළිවෙතයි. මෙයින් සියලු තරාතිරමේ අයට ධර්ම අවබෝධය ලැබිය හැකි ය. තමන් නොදන්නා කරුණු ධර්ම ශ්‍රවණය කිරීමෙන් දැන ගැනීමට පුළුවන. සමාජයේ ෂෂධ ගැටලු වලට උපදෙස් ධර්මයෙන් ලද හැකිය.

ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලෞකික ජීවිතය හැඩ ගැසෙනවා පමණක් නොව විමුක්ති මාර්ගය ද උදා කර ගැනීමට හැකිය.

පුරාණයේ භික්ෂූන් වහන්සේ පමණක් නොව සමහර රජවරුද ධර්ම දේශනා පැවැත්වූහ. එසේ කරන ලද්දේ ධර්ම දේශනා පැවැත්වීමෙන් මහත් පුණ්‍ය සම්භාරයක් ලබා ගත හැකි බැවිනි. පස්වන අග්බෝ රජතුමා රටවැසියන්ට ලොවුතුරු සැප ලබාදෙනු සඳහා දහම් දෙසූ බව මහාවංශයෙහි සඳහන් වෙයි.

හෙතෙම ලංකාද්වීප වාසී ජනයන් සමග පෙහෙවස් වෙසේ. ලෝකෝත්තර සැප දෙනු පිණිස ඔවුන්ට ධර්මය ද දේශනා කරේ.

මහාවංශය

48 වෙනි පරිච්ඡේදය 50 පිටුව

හික්කඩුවේ සුමංගල හිමි

රත්නාකර පොත් සමාගම

කොළඹ 1946

ධර්ම දේශනය

ධර්ම දේශනාවකට පෙර එම ස්ථානය පිරිසුදු කර ගොක් කොළ රැහැන් ඇද ආරුක්කුවකින් සැරසීම සාමාන්‍ය පිළිවෙතයි. ධර්ම දේශනාව පවත්වන ස්ථානයේ උඩු වියනක් බැඳීම, දේශකයාණන් වහන්සේට මෙන්ම ධර්මයට සිදු කරන මහත් ගෞරවයකි. ධර්මාසනය උස් අසුනක් විය යුතු ය. ඒ මත සුදු ඇතිරිල්ලක් එලනු ලැබේ. පුරාණ විහාරස්ථානවල ධර්මශාලාවල ඒ සඳහාම පිළියෙළ කරන ලද ධර්මාසන තිබිණි. ධර්මාසනය අසල ද කුඩා අසුනක් තබනු ලැබේ. එය මත සුදු රෙද්දක් අතුරා - එහි පැන් වීදුරුවක් තැබිය යුතු ය. එම පැන් දේශකයාණන් වහන්සේට අවශ්‍ය අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ය.

පුරාණ කාලයේ දී දේශකයාණන් වහන්සේ ශබ්ද පූජා සහිතව ධර්මාසනය කරා වැඩම කරවන ලදී. උන්වහන්සේ පා දෝවනය කිරීමෙන් පිළිගැනීම, බොදු පිළිවෙතයි. එසේ වැඩමකළ දේශකයාණන් වහන්සේට අවශ්‍ය නම් විමසා ගිලන් පස පූජාවක්ද කරනු ලැබේ.

ර්මාසනයෙහි වැඩ හිඳින දේශකයාණන් වහන්සේ, පැමිණ සිටින පිරිස සාධුකාරයෙන් පිළිගනිති.

දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවට පෙර රැස්ව සිටින පිරිසට ධර්ම ශ්‍රවණය සඳහා සාදුකාර පවත්වා සූදානම් වන ලෙස දන්වති.

මෙහිදී ධර්මාසනයට සමීපව උපාසක මහතෙක් ද වාඩි වෙයි. ධර්ම දේශනය බෙහෝ විට සාකච්ඡා මාර්ගයෙන් ද පැවැත්වෙයි. එවැනි අවස්ථාවලදී දේශකයාණන් වහන්සේට පිළිවදන් දීම ඔහුගේ සිරිතයි. දේශනයේ සුදුසු අවස්ථාවල දී ඒ උපාසක තැන ‘එහෙයි’ ‘එහෙමයි ස්වාමීන් වහන්ස’ යනාදී වශයෙන් පිළිවදන් දෙයි. දේශනාවක සාකච්ඡාමය අවස්ථාවක දී ස්වාමීන් වහන්සේට මෙසේ පිළිවදන් දීම, ධර්ම දේශනයට මහත් රුකුලකි. එසේම බණ අසන පිරිසගේ විශේෂ අවධානය ද ධර්ම දේශනයට යොමු වෙයි. මෙම පිළිවත අද තවමත් ගම්බද පළාත්වල පවතී. එම පැරැණි පිළිවෙත ආරක්ෂා කර ගැනීමට වර්තමානයේ සිටින හැම දෙනාම අධිෂ්ඨාන කර ගත යුතුªය.

ධර්මාසනයේ වැඩහිඳින දේශකයාණන් වහන්සේ පළමුව නමස්කාරය කීමට දන්වති. එයින් පසුව පිරිස තිසරණ සහිත පංචශීලයෙහි පිහිටවනු ලැබේ. ඊළඟට දේශකයාණන් වහන්සේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇසීම සඳහා සියලු සක්වල දෙවියන්ට ආරාධනා කරති.

ඒ මෙසේ ය.

‘සමන්තා චක්කවාලේසු - අත්‍රාගච්ඡන්තු දේවතා

සද්ධම්මං මුණිරාජස්ස - සුනත්තු සග්ග මොක්ඛදං යනුවෙනි. බුදුරජාණන් විසින් දේශනා කරන ලද ධර්මය ඇසීම සඳහා සියලු සක්වල දෙවියෝ මෙහි පැමිණෙත්වා! යනු, එහි සාමාන්‍ය අදහස ය.

එයින් පසුව දේශකයාණන් වහන්සේ කාල ඝෝෂණය පවත්වති.

‘ධම්මස්සවණ කාලෝ - අයං භදන්තා’ යනුවෙන් එම පාඨය තෙවරක් දේශනා කරති.

‘පින්වත්නි, මෙය දහම් ඇසීමට කාලයයි, යනු එහි අදහස ය. ඊළඟට දේශකයාණන් වහන්සේ් නමෝ තස්ස භගවතෝ අරහතෝ යන පාඨය ද තෙවරක් ප්‍රකාශ කරති. මෙහිදී ශ්‍රාවක පිරිස සාධුකාර පවත්වති.

ඒ සමඟ ඉදිරිපත් කරන්නේ දේශනාවට අදාළ ධර්ම පාඨයයි. මෙය පාලි ගාථාවකි. ගාථා ධර්මයෙන් පසුව, පිරිස ධර්ම ශ්‍රවණයට සූදානම් කිරීම සඳහා කෙටි අනුශාසනාවක් දේශනා කරති.

‘සුනාථ, ධාරෙථ, චරාථ ධම්මෙ’ යනුවෙන් ධර්මය හොඳින් අසා - එය සිතෙහි ධාරණය කරගෙන ඒ අනුව හැසිරෙන්න’ යන අවවාදය, පිරිසට මතක් කර දෙති.

ධර්මය දේශනා කිරීමේ අරමුණ ද පිරිස ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය ද මෙහි දී සිහිපත් කරනු ලැබේ.

ඊළඟට නැවත වතාවක් දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවේ මාතෘකා පාඨය දේශනා කරති. මාතෘකාවට අදාළ නිදාන කතාව දක්වා ආදර්ශවත් කරුණු ජීවිතයට අදාළ කරගන්නා ආකාරයද පැහැදිලි කරති. ධර්ම දේශනාව රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා ඒ අතරතුර රසවත් කතා පුවත් ද දක්වති.

ධර්ම දේශනාව අවසානයේදී එහි සාරාංශය ඉදිරිපත් කරනු ලැබේ. ‘සමෝධානය’ ‘පූර්වාපර සන්ධි ගැලපීම’ යනුවෙන් ද එය හැඳින්වෙයි. නැවත දේශනාවේ අරමුණ මතක් කර දෙන දේශකයාණන් වහන්සේ ඊට සම්බන්ධ වූ අයට සංවිධානය කළ අයට, ධර්ම ශ්‍රවණය කළ අයට සහ මියගිය ඥාතීන්ට පින් අනුමීදන් කරති. අවසානයේදී සියලු දෙනාට නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරති. අනතුරුව දෙවියන්ට පින්අනුමෝදන් කරති.

පුණ්‍යානු මෝදනය - දෙවියන්ට පින්දීම

එත්තාවතාච අම්හෙහි
සබ්බතං පුඤ්ඤ සම්පදං
සබ්බෙ දේවානු මෝදන්තු
සබ්බ සම්පත්ති සිද්ධියා

මෙහි තුන්වන පාඨයේ ‘දේවානු’ වෙනුවට - දෙවන වර කියැවීමේදී ‘භූතානු’ යනුවෙන් ද තෙවන වර කියැවීමේදී ‘සත්ථානු’ යනුවෙන් ද යොදා කිව යුතු ය.

‘අප විසින් රැස් කරන ලද මේ පුණ්‍ය සම්පත්තිය සියලු දෙවියී ද, භූතයෝද, සියලු සත්වයෝ ද අනුමෝදන් වෙත්වා සියලු සම්පත් සිද්ධ කර දෙත්වා! යනු එහි සාමාන්‍ය අදහස ය.

ඤාතීන්ට පින්දීම

ඉදං මේ ඤාතීනං හෝතු - සුඛිතා හොන්තු ඤාතියෝ

මම පාඨය තෙවරක් ප්‍රකාශ කරති.

මේ පින් මියගිය ඥාතීන්ට ලැබේවා! ඒ නෑයෝ සුපවත් වෙත්වා!

ධර්ම ශ්‍රවණය

දහම් දෙසීම නැතහොත් බණ කීම, භික්ෂුන් වහන්සේ සතු කාර්යයකි. ධර්ම ශ්‍රවණය, දායක දායිකාවන් සතු කාර්යයකි. දහම් දෙසීමෙන් ධර්ම දේශකයාණන් වහන්සේට ධර්ම දානයේ පින හිමි වෙයි. ධර්ම ශ්‍රවණය කරන පිරිසට බණ ඇසීමේ පුණ්‍ය ඵලය හිමි වෙයි.

ධර්ම ශ්‍රවණය සඳහා ධර්ම ශාලාවට හෝ එම ස්ථානයට පැමිණෙන පින්වතුන්, හිස්වැසුම්, පාවහන් ඉවත්කර, ඊට සහභාගි විය යුතු ය. එය ධර්මයට කරන ගෞරවය යි.

බණ අසන පිරිස පැදුරු හෝ යම් ඇතිරිල්ලක් එලාගෙන බිම වාඩිවිය යුතු ය. ධර්ම දේශනාව ආරම්භ කළ පසු ස්ථානයෙන් නැගිට යෑම, නැවත පැමිණීම, කථා බහ කිරීම ආදිය ධර්ම දේශනයට බාධාවකි.

බණ ඇසීම ආරම්භයේ සිට අවසානය දක්වා කල යුතු ය. අතර මඟදී ධර්ම ශ්‍රවණය ඇරැඹීම නියම බණ ඇසීමක් නොවේ. එයින් සිදුවන්නේ දේශනාවේ වැදගත් කරුණු මඟ හැරී යෑම යි.

ධර්ම ශ්‍රවණය පුරාණයේ සිට පැවත එන යහපත් චාරිත්‍රයක් බව අපි දනිමු.

ධර්ම ශ්‍රවණය පස්වන සියවසේ දී බහුලව සිදු වූ ජනපි‍්‍රය පිළිවෙතක් වූ බව පාහියන් භික්ෂූන් වහන්සේ ගේ වාර්තාවේ සඳහන් වෙයි. එකල ධර්ම ශ්‍රවණය සඳහා ප්‍රසිද්ධ ස්ථානවල ද ධර්ම ශලා ඉදිකර තිබිණි. ඒවායේ පැවැත් වූ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා ඉතා දුර පළාත්වල සිට පවා ගිහියන් පැමිණි අතර එපමණක් නොව භික්ෂූන් වහන්සේ ද වැඩම කළ බව සඳහන් වෙයි.

මෙයින් අපට පැහැදිලි වන්නේ ධර්ම ශ්‍රවණය සඳහා සිව්වනත් පිරිසම සහභාගි වී ඇති බව යි.

වර්තමානයේ ද ධර්ම ශ්‍රවණයට භික්ෂූන් වහන්සේ කිහිප නමක් හෝ සහභාගි වන්නේ නම් එය ගිහි පිරිස ගේ සිත් පහදවන්නකි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී රාත්‍රී පහන්වන තුරුම ධර්ම දේශනා පැවැත්වූ බව සඳහන් වෙයි. එම සිරිත ලංකාවේද පැවතිණි.

ධර්ම ශ්‍රවණය සඳහා පෙර රජවරු ද සහභාගි වූහ. සද්ධාතිස්ස රජතුමා මිහින්තලයේදී සිට ගෙනම කාලාම සූත්‍රයට ඇහුම්කන් දුන් බව සඳහන් වෙයි.

දෙවන දාඨෝපතිස්ස රජතුමා පොහොය දිනවල දී සිල් සමාදන්ව ධර්මය දේශනා කළ බව මහාවංශයේ දැක්වෙයි.

‘මහාපාලියෙහි පිළිසහිත දී බත් හා කිරි ද, බත් ද දිනි. බණ ඇසී. පෙහෙවස් විසී. සියලු පුද කරවමින් දහම් දෙස්වමින් මෙ ඇ පිනින් තමා යහපත්ව කළේ ය.’

මහා වංශය

2 කොටස

40වන පිටුව

හික්කඩුවේ සුමංගල හිමි

ධර්ම සාකච්ඡාව මංගල කරුණක් බව මහා මංගල සූත්‍රයේදී සඳහන් වෙයි.

‘කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං’

ධර්ම දේශනාව අවසානයේ දී ශ්‍රාවක පිරිස, දේශකයාණන් වහන්සේට පිරිකර පූජාවක් කරති.

ඊට පෙර පිරිස ලවා එම පිරිකර අත ගස්වනු ලැබේ. පිරිකර භාරගත් දේශකයාණන් වහන්සේ, පිරිකර පූජාවේ ආනිශංස දක්වා පින් අනුමෝදන් කරති.

අවසානයේදී දේශකයාණන් වහන්සේ විහාරස්ථානයට වැඩම කිරීමට සූදානම් වෙති. මෙහිදී වෙනත් කෙනෙකු විසින් පූජා භාණ්ඩ රැගෙන උන්වහන්සේ පසුපස ගමන් කරති. එය විහාරස්ථානයට ගොනගොස් භාරදීම, බොදු පිළිවෙත යි. නැතහොත් දේශකයාණන් වහන්සේ වැඩම කළ වාහනය තුළ තැබීම ද කරති.

නිවසක නම් ධර්ම දේශනය අවසානයේ දී පැමිණි පිරිසට ද සංග්‍රහ කිරීම සිරිතකි.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසෝ ජිනාති
සබ්බ රතිං ධම්ම රතී ජිනාති

තණ්හක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති (තෘෂ්ණා වර්ගය - ධම්ම පදය)

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]