UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත්මල් යායක සදහම් සුවඳ

ප්‍රාර්ථනාවෙන් කිසි දෙයක් ඉෂ්ට නොවේ. සිද්ධි පසුබිමෙහි ‘හේතු’ තිබේ.



තනූජා ධර්මපාල

අපි නොනැවතී දුවමු. එහෙත් මදක් නැවතී පසුකළ මග ගැන අපි නොසිතමු. නොබලමු. අපේ ජීවන මගෙහිද අපි හැල්මේ දුවමු. නැවතුමක්, විරාමයක් නැතිවම දුවමු. මොහොතක් හෝ නැවතී අප පසුකළේ මොනවාදැයි අපි නොසලකමු. අපේ දිවීම සංසාරය තෙක් දිගය. දුර ය.

ඒ දිවිල්ලේ දී ජීවිතය පිළිබඳ සිතීමට මුලින්ම මොහොතක් නැවතී සිටිය යුතු යැයි ඇතැම් අයකුට හැඟීමක් නැත. එසේ නම් හැඟීම දැනීම නැතිවීම නොඑසේ නම් නොසලකා සිටීම ගැටලුවක් නොවේද?

ආවේසයෙන් ද, උමතුවෙන් ද හැල්මේ දුවන පෘථග්ජන අප නතර කරන්නෝ කවරහුද? නතර කිරීම පමණක නොසෑහෙන විට ඔවුනට මග නොමඟ පහදා දෙන්නේ කවරහුද?

සංසාරය තෙක් දිගදුර ධාවන පථයේ හැල්මේ දුවන පෘථග්ජනයාගේ ගමන නතර කළ හැකි එකම හා සුදුසුම උත්තමයා අදින් වසර 2552 කට පෙර කළ පතළ වී සිටියේ ය. ඒ උත්තම මනුෂ්‍යයා නම් සම්මා සම්බුදුරජාණන්වහන්සේ ය. හැල්මේ අතොරක් නැතිව දිව යන සත්වයා නතර කළා පමණක් නොව මග නොමඟ කියා දී ජීවත්වීම කෙසේ සිදු කළ යුතු දැයි දෙසා වදාළහ. ඇතැම්හු නතර වූ හ. ඔවුන්ගේ දුක නිවිණි. ඇතැම් හූ නතර වීමේ ‘කාරුණික සඥාව‘ නොසැලකූහ. ඔවුන් ප්‍රාපතය තෙක් දිව ගොස් දුක දිනනු වෙනුවට අගාධයට වැටුණෝ ය. උපත පවත සහ විපත ප්‍රායෝගික වන සැටි පමණක් නොව ඒ අතර යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සද්ධර්මය මෘදුකාංගයක් ලෙස සත්වයාට තිලිණ කළ සේක.

කාලය වේගයෙන් ගෙවී ගියේ ය. තථාගතයන් වහන්සේ අසූවසක් ආයු වළදා පිරිනිවන් පෑ වදාළ සේක. එතැන් පටන් පෙර කී සද්ධර්මයේ මෘදුකාංගයට කුමක් සිදුවීද? ‘තෙරුවන’ ලෙසින් තථාගයන් වහන්සේම විසින් නම් කරන ලද මාණික්‍යයන් තුනෙන් දෙකක අතිශය බලසම්පන්නකම නිසාම ඊට රැකවල් ලැබිණි. තමන් වහන්සේ ජීවමානව නොසිටින කාලයේ තමන් වහන්සේ දකිනු රිසිනම් ඒ දැකීම පැහැදිලිව දකින්නට ධර්ම මාණික්‍යයත් එය ලෝකයකට පෙන්වන්නට සංඝමාණි‍යයත් සැදී පැහැදිණි. එහෙයින් බුදුන් වහන්සේ අප තුළ තවමත් ජීවමානය. මක් නිසාද යත් අප උන්වහන්සේ සරණ යමින්ද, උන්වහන්සේ ගේ ධර්මය පිළිපදිමින්ද සිටින නිසාය.

එහෙයින්ම අද දවසේ අරමුලින් කී සංඝරත්නයේ මහා බලය අත්‍යවශ්‍ය වී තිබේ. ධර්මයේ නිධානය උන්වහන්සේ පිරිස විසින් ගොඩගනු ලැබිය යුතුය. එය කළ හැක්කේ සුපේෂල ශික්ෂාකාමී මහා සංඝරත්නයට ය. ඊට ‘දස්කම’ මැනැවින් ඇති සඟරුවන බොහෝය. ඒ දුබල මානව සම්පත් සදිසි භික්ෂූන් වහන්සේ අතරින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන් වහන්සේ මහත් පිළිගැනීමකට ලක් වී ඇති බව ප්‍රකට කරුණකි.

ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සුලේඛනයෙන් ද සුභාෂණයෙන් ද කලක් තිස්සේ ධර්මය සමාජගත කිරීමේ නියැලීම නිසාය. උන්වහන්සේ වටා සුවිශාල ශ්‍රාවක, ශ්‍රාවිකා පිරිසක් සැදී පැහැදෙති. උන්වහන්සේගේ ඉදිරිපත් කිරීමේ හා ඉදිරිපත් වීමේ හැකියාව සැදැහැවත්හු නිර්ලෝභීව පසසති.

ධර්ම සන්නිවේදනයේ උපාය උපක්‍රම අනුදත් ඤාණානන්ද හිමිපාණන් මෑතකදී සිළුමිණ පුවත්පත හා කාලීන ධර්ම සාකච්ඡා මාලාවක් මගින් පාඨක සමූහයා ඇමතූ®හ. ඒ ඇමතුම් බෙහෙවින් පලදායක විය. හේතුව ගැඹුරු ධර්මය සරල බසින් ඉදිරිපත් කිරීම නිසාය. ඒ ධර්ම සාකච්ඡාව සිදකළේ තනුජා ධර්මපාල මාධ්‍යවේදිනිය සමඟ වන අතර ඇය උන්වහන්සේගෙන් විමසා තිබුණෙත් පාඨක සමූහයා නියෝජනය කිරීමට සමත් ඔවුන්ගේ ප්‍රායෝගික ජීවිතයට කරුණු රාශියකි.

සදහම් සිත්මල් යාය 1 ලෙසින් කර්තෘ ප්‍රකාශනයක්ව ප්‍රකාශයට පත් වී ඇති කෘතිය පිළිබඳ කතුවරිය දක්වන අදහස් එකී මෙහෙවරේ ස්වභාවය වටහා ගැනීමට තරම් ප්‍රමාණවත්ය.

‘මා රචනා කළ සියලු දේ අතරින් වඩාත්ම වැදගත් රචනා මොනවාදැයි කිසිවකු විමසුවහොත් ඒ සඳහා දිය හැකි පැහැදිලි පිළිතුරක් මට තිබෙනවා. ඒ ජීවිතයට දහම් සිසිල යන හිසින් යුතුව මා සිළුමිණ පුවත්පතට සැපයූ ලිපි පෙළයි. ඒ ලිපි පෙළයි මේ පොතක් වශයෙන් සදහම් සිත්මල් යාය ලෙස ප්‍රකාශය පත්වෙන්නේ. එම ලිපි පෙළ හේතුවෙන් කිහිප දෙනෙකුගේ ජීවිත අකල් මරණයෙන් ගැලැවුණු ආකාරය ගැන මට පසු කලෙක දැන ගැනීමට ලැබුණා. දිය දිවි නසා ගැනීමට තමා ගෙන තිබූ තීරණය වෙනස් කරගත් එවැන් එක්තරා තරුණයෙක් මා සොයා ඇවිත් සිය මුළු කතාව ම මට හෙළිකළා.

තනුජා සිය කෘතියේ දී මිනිසුන් තුළ පවතින ආතතිය පිළිබඳ හිමිපාණන් හා සාකච්ඡාවට අවතීර්ණ වන්නේ එය සමාජ පීඩාවක් ලෙස වර්ධනය වී තිබෙන නිසාය. ස්වමීන් වහන්සේ විස්තර කරන්නේ කලබලකාරී තරගයක නිරත වීමත්, වාණිජවාදී අරමුණු සම්භාරය නිසාත් ආතතිය මිනිස් සිතක් තුළ ඔඩු දුවා ඇති බවය. පවුලකින් ගත් උදාහරණයක් මගින් ඒ පවුල ගොඩගැනීමට සිටින කාන්තාවට ‘වීරිය’ උපද්දන සැටිත්, දුර්ලභ මනුෂ්‍යභාවයේ ස්වභාවයත් මැනැවින් පහදා දෙයි. එමෙන්ම ක්‍රෝධය, වෛරය පහ කොට මෙත් වැඩීමේ යෙදෙන ආකාරයත් එමගින් සාකච්ඡා කරයි. ආතතියට ප්‍රත්‍යක්ෂ ඔසුව මෙත් වැඩීම බව එමගින් කදිමට සනාථ වෙයි. ආයුධය අතහැර මෛත්‍රීය ළං කර ගැනීමට උන්වහන්සේ මිනිසා තුළ තවදුරටත් ‘වීරිය’ වඩවයි. ඒ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දෘෂ්‍යමාන කිරීමෙනි. පිළිමයක් නිර්මාණ කොට පෙන්වීමට වඩා එය අතිශයින් දුෂ්කරකාරියකි. හේතුව ධර්මය ඉතා ගැඹුරු බැවිනි. ආවාට ගියාට ජීවිතය දෙස බලන්නට එපා. එසේ වුවහොත් අපට වරදින මොහොත ගැන අපටවත් තේරුමක් නැහැ. හැඟීම්වලට වහල් ව ජීවිතය පිළිබඳ කිසිම අවබෝධයකින් තොරව භාවනා කරන්නත් එපා. බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ හොඳ හැටි සිහිය පිහිටුවා ගෙන සිත ගැන නුවණින් විමසා බැලීමක් ගැනයි. කිසිම භාවනාවක් බුද්ධ දේශනාවලට පිටින් පුහුණු වන්නට එපා. එය කිසිසේත් ම සුදුසු ක්‍රියාවක් නෙමෙයි. භාවනා ක්‍රම උගන්වන ආයතන හා පුද්ගලයන් දැන් රට පුරාම පැතිරිලා. ඒත් කිසිවකුගේ පෞද්ගලික අත්දැකීම් බවට වැදගත් නැහැ. බුද්ධ වචනයම ගරු තන්හිලා සලකන්න’

ඤාණානන්ද හිමිපාණන් භාවනා ක්‍රමයේ ඇති වැදගත්කම පහදා දෙන්නේ ‘භාවනාක්‍රම වල පලිබෝධ, මේවා යැයි හඳුන්වා දෙමිනි. අතොරක් නැති චිත්ත පීඩා නිසා භාවනාවේ පිහිට පතන දැනුමැත්තන් නිසි මඟට ගැනීමේ පුණ්‍යචේතනාව උන්වහන්සේගේ සාකච්ඡාවෙන් මනාව පිළිඹිබු වෙයි.

බුදුරජාණන් වහන්සේගේ විජ්ඡාචරණ සම්පන්න ගුණය මෙසේ පහදා දෙයි. සෘද්ධි ප්‍රාතිහාර්යය, ඕනෑම දෙයකට සවන් දිය හැකි දිව්‍ය ශ්‍රවණ ඤාණය, ඕනෑම දෙයක් දැකිය හැකි දිව්‍ය නේත්‍ර ඤාණය, අනුනගේ සිත් දක්නා ඤාණය, තමා තුළ පැවැති සියලු කෙලෙස් දුරු කිරීමෙන් ලබන ආසවක්ඛ්‍ය ඤාණය, සහ ඕනෑම පුද්ගලයකු සසර ගෙවූ ආකාරය දැකිය හැකි පුබ්බේනිවාසානුස්සති ඤාණය යන කාරණා බුදුරජාණන් වහන්සේ විජ්ඡාචරණ සම්පන්නෝ බවට පත්වීමට හේතු වී ඇත.

බුදුරජාණන් වහන්සේ දසබලධාරී ලෙස හඳුන්වා උන්වහන්සේ අදහන්නේ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවෙනි. එසේම නිර්මල බුදු ගුණ සමුදාය ඉතා බලවත්ය. අසම සමය. ඒ බැව් ඉතා පැහැදිලි සරළ භාෂාවෙන් දේශනා කිරීමේ හැකියාවෙන් යුත් ඤාණානන්ද හිමියෝ මෙසේද පවසා සිටිති.

‘සාමාන්‍ය ජීවිතයේදී කිසියම් ආකාරයකින් උවදුරු කම්කටොළු එළඹෙනවා වන්නට පුළුවන්. එවන් අවස්ථාවලදී ප්‍රයෝජනවත් තවත් කිසියම් ආකාරයක බුද්ධ මන්තරයක් වැනි යමක් අපි ඔබට කියා දෙන්නෙමු. ඒ ඔබට ඉතා හුරු පුරුදු ජය මංගල ගාථායි.

ජය මංගල ගාථා බුද්ධ මන්ත්‍රයක් වන්නේ එයින් කියැවෙන බුදුරජාණන්වහන්සේගේ තමන් වහන්සේට එරෙහි වූවන් කෙරෙහි දැක්වූ මහා කරුණාවේ බල මහිමය යි.

දහසක් අත් සහ සැත් ද දරමින් ගිරිමේඛලා ඇතුපිට එන්නා වූ මාර සේනාවද, මුළු රෑ පුරාවට යුද වැදී එන්නා වූ මාර සේනා ද, දැඩි වූ අලව් යක්ෂයා නැඟුවා වූ ගොරතර නාදයද, රා කළ දොළසක් බී පෙර මඟට ආ නාලාගිරි හස්තියාද, අංගුලිමාල සොරා ද ගර්භනී වූ මවක සේ දරමිටි බැඳ බුදුනට නිගා කරන්නට ආ චිංචිමානවිකාවද, සත්‍යය බැහැර කරමින් අඳ බාල සිතින් ඔද වැඩි සච්චක නමැත්තා ද ධර්ම තේජසින් යුතුව දිනූ අයුරු ජයමංගලා ගාථාවලින් හෙළි වේ. ගාථා අටකින් යුත් ඒ ජයමංගලා ගාථා තරම් බුද්ධ තේජස වෙනත් කිසිදු මන්තරයක නැති සැටි පාඨකයන්ට අවබෝධ වන්නේ පැහැදිලි තේරුම් සහිතව සිත් කාවදින අයුරින් ප්‍රසාදයට පත් වන හෙයිනි.

සීලය සමාධිය පමණක් ප්‍රමාණවත් නොවන අතර ප්‍රඥාවද වීරිය පාරමිතාව පුරන්නට අත්‍යවශ්‍ය ය. ප්‍රඥාව වැඩේ නම් එය දියුණු සමාජයකි. ප්‍රඥාවන්තයන්ට උපද්‍රව බොහෝ ඈත ය. මිනිසත්කම පිළිබඳ කෘතිය පුරාම විවිධ මානයන්ගෙන් දිවෙන්නේ තිරස්චීනයා බවට පත් වූ මිනිසා බුද්ධිමත් කිරීමේ සමත්කම දක්වමිනි.

ධර්මධර ස්වාමීන් වහවන්සේ නමක් වටා රැස්වන මහා ජනගඟ ශ්‍රද්ධාවෙන් නහවා විසිර යැවීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ විසිරයන පිරිසට ගෙනයන්නත් යමක් තිබිය යුතුය. බුද්ධිවාදී උඩුවියනක් ඒ මහ පිරිසට ආවරණය ලෙස දේශකයාණන් වහන්සේගෙන් ලැබිය යුතුය. බුද්ධියෙන් විනිර්මුක්ත වූ කල කවර දෙසුමක් වුවද ඵලක් නැතිවනු ඇත. දෙසූ බුදු දහම ලේඛන මාධ්‍යයටද වැදගත් වන්නේ දෙසුම බුද්ධිමත් ප්‍රවේශයකට උචිත වන්නේ්නම් පමණකි. අපට අහිමිව ගිය ගංගොඩවිල සෝම හිමියන්ගේ් ධර්ම දේශනා අද අපත් මතු පරපුරත් කෘතිවලින් කියවා සබුද්ධික වනු සේ ම අද අප අතර වැඩ සිටින කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන්ගේ ධර්ම දේශනාවද දේශනා ස්වරූපයෙන් ඉක්මවා ගොස් වඩාත් පලදායක වී ‘සිළුමිණ’ ජාතික පුවත්පතෙහි ශ්‍රී ලාංකික ජාතිය හමුවට පත් වූ සේ ම ඒ වටිනා සර්වකාලීන සදහම් දහම් සිත් මල් යාය ලෙසින් මාහැගි කෘතියක් බවට පත් වී ඇත. කෘතියකින් ලැබෙන ජීවිතාවබෝධය නොඅඩුව එයින් ලැබෙන බව නිසැක ය. එය තනුජා ධර්මපාල ලේඛඛිකාවටද මහත් අබිමනකි.

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]