UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගයිගර් පඬිවරයාගේ ශාසන-සංස්කෘතික සේවය

(2007 මැයි මස ඩේලි නිවුස් පුවත්පතේ පළවූ හිටපු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂවරයකු වූ ආචාර්ය සිරි නිශ්ශංක පෙරේරා මහතාගේ ලිපියක පරිවර්තනයකි.)

විල්හෙල්ම් ගයිගර් 1856.07.31 වැනි දා ජර්මනියේ මධ්‍යම පාන්තික පවුලක උපත ලද්දේ ය. හෙතෙම කැප වූ අධ්‍යයනශීලියෙක් ද, කාර්ය ශූරයෙක් ද විය. ඔහු සිය ද්විතීයික උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාලයටයි.

ඔහු මුල පටන් ම, විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා හා සංස්කෘතික ක්‍ෂේත්‍රයන්හි කටයුතු කළ ගුරුවරුන් අතර විශිෂ්ටත්වයෙන් කැපී පෙනුණු ඥානධරයෙක් වූයේ ය.

ඔහු උපාධියක් සඳහා වුවමනා ලකුණු ලබා ගත්තේ ඉහළ ප්‍රමිතියකිනි. ඉන් පසු ඔහුට මියුනිච් විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ කථිකාචාර්ය පදවියකට පත්විය හැකි වූ අතර, අනතුරුව ඉන්දු, ආර්ය වාග්විද්‍යා මහාචාර්ය තනතුරට ද පත් කරනු ලැබිණ. අපට කවර හැටියකින් වත් ඔහු හෝ ඔහුගේ අමිල සේවාව අමතක කළ නොහැකි ය.

1937 ට පෙර මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් විසින් ලියන ලද අමිල නිබන්ධනයක් වන Pali Literature and Pali Language නමැති කෘතිය අමතක කළ හැක්කක් නොවේ.

එය වැඩිමනත් වැදගත් වීමට හේතුවක් වන්නේ එහි සිංහල භාෂාව ගැන ද සාකච්ඡා කිරීමයි. එය ඔහුගේ ශිෂ්‍යයකු වන ආචාර්ය බාලක්‍රිෂ්ණ ඝෝෂ් විසින් පරිවර්තනය කරනු ලැබ ඇත. ඔහු සිංහල භාෂාව, ඉතිහාසය හා සංස්කෘතික ගවේෂණය පිළිබඳ පොත් කීපයක් ලියුවේ ය.

ගයිගර් පඬිවරයා දෙවරකට අපේ රටේ අනුරාධපුරය, දඹුල්ල, නුවර දළදා මාලිගය, කැලණිය, වාරණ සහ වෙනත් නොයෙක් තන්හි පුරාවස්තු සහ විහාරස්ථාන නැරඹී ය. ඒ චාරිකා වලදී ඔහු අපේ රටේ ජනතාව සමඟ කිට්ටු ඇසුරකින් කටයුතු කර ඇත. එහි දී ඔහු අපේ ජනතාවත් සමාජයත්, සංස්කෘතියත් ඇගැයීමට ලක් කළේ ය.

එතුමා හික්කඩුවේ සිරි සුමංගල නා හිමි වස්කඩුවේ සිරි සුභූති නා හිමි හා පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමි වැනි නා හිමිවරුන් සමඟ මිතුරුකම් තහවුරු කරගෙන ඇත.

එතුමාගෙන් ශ්‍රී ලංකාවට ඉටු වූ සේවාව විශිෂ්ට ය. පාලි මහාවංශයත්, චූළවංශයත් යථා තත්ත්වයෙන් ම ජර්මන් සහ ඉංගිරීසි භාෂාවනට ඉමහත් පරිශ්‍රමයෙන් කරන ලද පරිවර්තනය අමතක කළ නොහැකි ය. ඔහුගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ඒ විශිෂ්ට සේවාවට කැප කර තිබිණි. ඉක්බිති මේවා වෙනත් නොයෙක් භාෂා වලටත් පරිවර්තිත ය. සිංහලයන් සතු මේ වංශ කතා කියවූ යුරෝපීයයෝ අපේ රටේ ඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් මවිතයට පත්වූහ. මහාවංශයත්, චූලවංශයත්, ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාලිගය, රුවන්වැලි මහාසෑය, දුටුගැමුණූ රජ, මහා පරාක්‍රමබාහු රජ ආදීන්ගේ ඉතිහාසය ගැන වැඩිමනක් තොරතුරු සපයයි.

ගයිගර් පඬිවරයාගේ මේ ප්‍රකාශන නිසා වෙනත් බොහෝ අපරදිග පඬිවරු බුදුදහම, සිංහල හා සංස්කෘතිය හදාරන්නට ශ්‍රී ලංකාවට ආහ.

එක්තරා ජර්මන් පඬිවරයකු වූ ඇන්ටන් ඩබ්ලිව්. එෆ්. ගී‍්‍රත් එසේ පැමිණ පැවිද්ද ලබා නයනතිලක මහා ස්ථවිර නමින් ප්‍රකට විය. ඉක්බිති උන්වහන්සේ විසින් දොඩන්දූව අසපුව පිහිටැවිණ. ඒ අතර බොහෝ ත්‍රිපිටක ග්‍රන්ථ ජර්මන් බසින් පළ කරන ලද්දේ ද විය. ඒවා අපරදිග බුදුදහම පැතිරවීමට පිටුබලයක් විය.

ආචාර්ය කාල් සයිඩන්ස්ටකර් සහ තවත් ජර්මන් භික්‍ෂූන් වහන්සේ කීප නමක්, ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ ශාඛාවක් බර්ලින්හි පිහිටැවූ අතර, ජර්මනියේ ඇමසියාවේ බෞද්ධ විහාරයක් ද ගොඩනැංවූහ.

ජර්මනියේ උපත ලද තවත් පඬිවරියක වූ, 1892 දී කොළඹ සුපතළ බෞද්ධ කාන්තා විදුහලක් වන මියුසියස් කාන්තා විදුහලේ නිර්මාතෘ මාරි මියුසියස් හිගින්ස් මැතිනිය තවත් බෞද්ධ ලේඛිකාවක් වූවා ය.

එසේ ම සාහිත්‍යයට නොබෙල් සම්මානලාභී ජර්මන් ජාතික හෙර්මන් හෙස ද ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ඔහු විසින් ලියන ලද “සිද්ධාර්ථ” කෘතිය අපරදිග බෞද්ධ ජනතාවට බෙහෙවින් වැදගත් නිර්මාණයක් වෙයි.

විසි වැනි සියවසේ මුල් සමයේ විසූ ශ්‍රී ලංකාවේ ජල විදුලි උත්පාදනයේ නිර්මාතෘ වරලත් ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා ද ත්‍රිපිටක ග්‍රන්ථ කීපයක් ජර්මන් බසට පරිවර්තනය කළේ ය.

1931 දී ශ්‍රී ලංකාවේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය පිහිටුවීමෙන් පසු පළ කරන ලද සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ වූයේ මහාචාර්ය ගයිගර් ය. එහිලා ඔහුට සහකාර කර්තෘවරයා වූයේ සර්. ඩී.බී. ජයතිලක මහතාය.

1939 දී ගයිගර් විසින් Grammar of Sinhala Language නම් කෘතිය පළ කැරිණ. ඔහු විසින් ශ්‍රී ලංකාවේ වැදිබස හා රොඩීබසත් එසේ ම මාලදිවයින් බසත් පිළිබඳ පර්යේෂණ පවත්වා තිබිණ.අත්‍යන්තයෙන් විශාරද පඬි රුවනක් වන මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් අසූහත් වැනි වියේ දී අභාවප්‍රාප්ත විය.

මුල් ලිපියේ මාතෘකාව පහත දැක්වෙයි.

Prof . Wilhelm Geiger –  He took Sinhala to the West

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]