[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විනය බුද්ධ ශාසනයේ ආයුෂය වේ

විනය බුද්ධ ශාසනයේ ආයුෂය වේ

මින් සියවස් විසිපහකට වඩා ඉපැරැණි ශාසනික සම්ප්‍රදායානුකූල ව සකස් වූ විනය ශික්ෂා හේතු කොට නූතන භික්ෂුවගේ ආගමික ජාතික කාර්යභාරය ප්‍රගමනයට බාධා පවතින බව පෙනේ. විනය විරෝධි පමණක් නොව ධර්ම විරෝධි ක්‍රියාදාම හා අර්ථග්‍රහ අත්තනෝමතික ලෙස නැතහොත් හිතුමතේ එළිදක්වන ස්වභාවයක් අද්‍යතන ඇතැම් භික්ෂු චර්යාවන්ගෙන් හා ගිහි චර්යාවන්ගෙන් ප්‍රකට වේ. එම නිසා ශාසනික චිරස්ථිතියට හානි නොවන ධර්ම විරෝධි නොවන පරිදි සමාජානුයෝජනය වීමේ දී උභය පිරිසේ දැඩි අවධානයට ලක් විය යුතු ධර්ම විනය න්‍යායක් පැහැදිලි කිරීම මෙහි අරමුණයි.

විනයේ ස්වභාවය

විනයක අවශ්‍යතාව මතු වූයේ, ධර්මයේ සුරක්ෂිත බව හා ශාසනික චිරස්ථිතිය උදෙසා ය. බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්ති වදාළේ බුද්ධත්වයෙන් වසර විස්සක් පමණ ඇවෑමෙනි.

එතෙක් ධර්මයේ අපේක්ෂිත අරමුණුවලට පටහැනි ක්‍රියා කලාප කිසිවක් ශ්‍රාවකයන් වහන්සේගෙන් සිදු නොවීය.

විනය යනු කුමක්ද?

“විවිධ විසෙසනයත්තා විනයතො චේව කාය වාචානං විනයත්ථ විදුහි අයං විනයෝ විනයොති අඣාතො” යි විනයට්ඨ කතාවේ පැහැදිලි කරයි.

මේ අනුව විවිධ විශේෂණ (ක්‍රම) ඇති බැවින් හා කය වචනය යන දෙක හික්මවන බැවින් විනය නම් වේ යැයි අර්ථ දෙකක් දක්වයි. වී පූර්ව නී (පාපණෙ) ධාතුවෙන් සිද්ධ විනය ශබ්ද ප්‍රකෘතිය අනුව කය වචන දොරටු දෙක සංවර කොට විශිෂ්ට අවස්ථාවකට පත් කරවන බැවින් විනය නම් වේ, යැයි අරුත් බිණිය හැකි ය. එහෙත් විවිධ විශේෂණය ඇති යන අදහස ගැනීම සඳහා විශේෂාර්ථ වාචී වී උපසර්ගයත්, ක්‍රම වාචී නය ශබ්දයත් සමාන කොට ගත යුතු යැයි මොරටුවේ සාසනරතන නාහිමියෝ විනය කෝෂයේ ප්‍රථම භාගයේ දක්වති.

ශික්ෂා පැනවීම හේතුව වූයේ සුදින්න භික්ෂුව, මවුපියන්ගේ බලවත් ආයාචනයෙන් කුල වංශයේ පැවැත්ම උදෙසා බීජයක් ඇති කිරීම සඳහා පෙරඹුව සමඟ මෙවුන්දම් සෙවීම යි. කෙසේ වුවත් මුල් අවධියේ විනය යන්නෙන් ශික්ෂාපද අදහස් නොවීය. විනය ආරක්ෂා කිරීම පිණිස, ශික්ෂා පද පනවා ඇත. එකල සීලය ම විනය යන්නෙන් වාච්‍ය වී ඇති බව පෙනේ. පසුව හුදෙක් ශික්ෂා පද විනය යන්නෙන් වෙනස් වුවත් ‘විනය සීලයටත්’ සීලය විනයටත් අන්‍යොන්‍ය වශයෙන් ප්‍රත්‍ය වන බව ද අමතක කළ යුතු නොවේ.

විනය යනු පරමාර්ථ සත්‍යයක් නොව සමාජයක නිරවුල් පැවැත්ම සඳහා ඇති කර ගත් සම්මුතියකි. එම නිසා ධර්මය මෙන් විනයෙහි සෛද්ධාන්තික පදනමට වඩා නෛතික පදනමකින් යුක්ත බව ද පැහැදිලි ය. සමාජ බද්ධ ප්‍රස්තුතයක් වූ විනය සාර්වභෞම, සර්වකාලීන නොවන හෙයින් කාල දේශ වශයෙන් වෙනස් විය යුතුයි. එසේ නැතහොත් ආයතනික චිර පැවැත්මට හානිදායක ය. බුදුරජාණන් වහන්සේ කුඩා අනුකුඩා සිඛ පද උල්ලංඝනය කිරීමට අවසර දුන් නමුත් ඛුද්ධානුද්දක ශික්ෂා පද කුමක්දැයි නොවදාළ බැවිනි. ඒ කිසිවක් වෙනස් නොකිරීමට ප්‍රථම සංගීතිකාරක තෙරුන් වහන්සේ නිගමනය කළහ.

මේ නිසා විනය නම් බුද්ධශාසනයේ ආයුෂ වේ. විනය පවත්නා තෙක් ම බුදු සසුන පවතියි යනුවෙන් උන්වහන්සේ සම්මුතියකට එළඹුණාහ. හුදෙක් එය නූතන භික්ෂුවට ආප්තෝපදේශයන් ම වේ.

යම් භික්ෂුවකට විනයෙහි එය තහනම් කර නැතැයි කියා ශ්‍රමණ ආකල්පවලට, සංවරයට නොගැළපෙන දෙයක් කළ හැකි ය. එසේම ධර්ම විනයෙහි එකල ඒ දෙය අනුදැන නැතැයි කියා ශ්‍රමණ සාරුප්‍යයට ද ගැළපෙන දෙයක් මඟහැරිය හැකි ය. එබැවින් හැඟීම් වළක්වා නිරවද්‍ය දේ කිරීමටත්, සාවද්‍ය දේ නොකිරීමටත් විමර්ශනශීලි ධර්ම ඥානයෙන් යුක්ත විය යුතුයි. ඒ සඳහා උපයෝගී කරගත හැකි සාධාරණ දහම් නයක් (න්‍යායක්) වශයෙන් මහාපදේස පෙන්වා දිය හැකි ය.

මහාපදේශ

මහා අපදේශ යන පද දෙක සන්ධි වී මහාපදේශ යන පදය හැදී ඇත. අපදේශ යනු ඉඩ හෝ කරුණු යන අර්ථයයි. “මහාපදෙසොති මහාඔකාසො මහා අපදෙසෙ වා බුද්ධාදයො මහතෙත අවදිසත්වා වුතතාති මහාකාරණානිති අත්තො” මහා අවකාසයක මහා ඉඩෙක බුද්ධාදී උතුමන් බොහෝ දේ කෙටි කොට දැක් වූ මහා කරුණු මහාපදෙසයි. තවද චත්තරො සාමුකකංසා යන පරිවාර පාලි පාඨයට අරුත් සපයන තුන සාමුක්කංසිකයන් ලෙස දක්වයි.

නියමයකට හෝ ව්‍යවස්ථික නීතියට හසු නොවූ දෙයක් ඒ නීති පරමාර්ථයන්ට එකඟ වන සේ තීරණය කිරීම සඳහා ගන්නා “මාර්ගය” මෙයින් පැහැදිලි කරන බවත් එනම් “ආවිතය” හෙවත් “ආප්තානුලෝම” යි මහාපදේස පිළිබඳ අදහස් දක්වමින් හෑගොඩ ඛේමානන්ද නාහිමියෝ පවසති.

ඉල් පුර අටවක

ඔක්තෝබර් 29 බදාදා පූ.භා. 09.22 පුර අටවක ලබා 30 බ්‍රහස්පතින්දා පූ.භා. 10.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12   

Full Moonඅමාවක

නොවැම්බර් 19

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]