|
ඉල් පුර අටවක පෝ දා
2025-10-29
රහසින්වත්
පව් කරන්න එපා
පවට ලජ්ජා විය යුතු බව, පවට බිය විය යුතු බව සම්බුදු දහමේ ඉගැන්වීමයි. එම ගුණය
සපුරා රකින පුද්ගලයා තමන්ගේ ජීවිතයේ රැකවරණය ගැන බිය විය යුතු නැත. තමන්ට හෝ,
අනුන්ට හෝ, තමන් ජීවත්වන මුළු මහත් පරිසරයට හෝ අනර්ථයක්, හානියක් නොවන ලෙස තම
චර්යාවන් හසුරුවා ගන්නට දක්ෂ පුද්ගලයාට සොබා දහමේ ආශිර්වාද හිමි ය. බොහෝ අතුරු
උපද්‍රවවලින් එම පුද්ගලයා ආරක්ෂා වන්නේ ද තමන්ගේ යහපත් චර්යාවන් නිසා ම ය.
මේ ධර්මතාව දැන සිටියද, සරලව ම කියනවා නම් පවින් වැළකීම හා කුසලයේ නිරත වීම පිළිබඳ
දහම අවබෝධ වුවද ඇතැම් කෙනෙක් හිතාමතා ම පවට ඇදවැටෙනු පෙනේ. ඒ ළඟ මිස දුර නොබැලීම
නිසා විය හැකිය. එසේත් නැතිනම් කිසියම් ලෞකික ලාභයක් බලාපොරොත්තුවෙන් විය හැකි ය.
එහෙත් එහි අහිතකර පල ඒ පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයට ම ය.
සරල ම උදාහරණයක් ගනිමු. කෙනෙක් ජීවත්වන පරිසරයේ පවිත්‍ර බව ඔහුගේ හෝ ඇයගේ හෝ කායික
මානසික නිරෝගී බවට ඉමහත් බලපෑමක් කරයි. දූෂිත පරිසරය මිනිසාට පමණක් නොවෙ එහි
ජීවත්වන සියලු ම සත්ව ප්‍රජාවගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි ය. ඇතැම් කෙනෙක් තමන්ගේ
ගෘහයේ ඉවතලන දිරන නොදිරන අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කරති. පරිසරය ම
වනසති. මහා මාර්ග අසල ඊට නිදර්ශන බොහෝ ය. සිතාමතා ම සිදු කරන මේ නරක තුළ සැඟවුණු
හානිය ප්‍රබල ය. මොහොතේ තමා ජීවත් වන පරිසරයෙන් වෙනත් තැනකට මුදාහරිනු ලැබුවේ වුවද
වක්‍රාකාරයෙන් නුදුරු දිනෙක ඒ ආදීනවයන් මේ ජීවිතයේ දී ම මුහුණ දෙන්නට සිදුවිය හැකි
ය. තමන් කරගත් පාපයට අනුරූප විපාකවලින් ද පරලොව දී පවා බේරී සිටිය නොහැකි ය.
මහ මඟ දෙපස, දුම්රිය මඟ දෙපස ගොඩ ගැසී ඇති අපද්‍රව්‍ය මොනතරම් ද? නිල් දිය පිරී
මලින් ගැවසිය යුතු දිය කඩිත්තක පවා අද දකින්නට හැකි දිරන නොදිරන අප ද්‍රව්‍යයන්ගෙන්
පිරුණු ස්වභාවයකි. මේ අන් සතුන්ගේ නොව හොඳින් සිතා බලා තීන්දු තීරණ ගත හැකි
මිනිසුන්ගේ ම පුරුදු ය. මේ ක්‍රියාකාරකම් කෙනකුගේ නොදැනුවත්කමේ ප්‍රතිඵල විය නොහැකි
ය. ආත්මාර්ථකාමීත්වයේ, දුර්ජන ගති ස්වභාවයේ සැටිය.
කෙනෙක් පවට ලජ්ජාශීලී නම්, පවට බිය වන්නේ නම් රහසින් හෝ පවක් කරන්නේ නැත. විශේෂයෙන්
බෞද්ධයා යනු තමන් ගේ ශාස්තෘවරයාණන් වහන්සේගේ පාරිශුද්ධ ජීවන දර්ශනය ගුරු කොට
ගත්තෙකි. ඒ අනුව ජීවිතය පවත්වා ගෙන යන්නට උත්සාහ කරන්නෙකි. අපගේ ශාස්තෘන් වහන්සේ
තථාගත බුදුපියාණන් වහන්සේ ය. උන්වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. එහෙයින් අරහං නම්
උතුම් ගුණ නාමය ලද සේක.
අනුන්ට රහසින් කළ ද, පව පව ම ය. එහි විපාක අනුන්ට නොව තමන්ට ය. තමන් කරන ලද යහපත්
කර්ම වේවා අයහපත් කර්ම වේවා ඒවායෙහි පුණ්‍ය විපාක හෝ පාප විපාක විඳින්නට වන්නේ
තමන්ට ම ය. වෙන කෙනකුට බැර කළ නොහැකි ය. එහෙයින් තමන් තමන්ට පහනක් ව තමන්ගේ ජීවිතයට
ආලෝකය දිය යුතු ය. තමන් තුළ පවට බිය හා ලජ්ජාව තිබෙන බිය ගැන සිතා අවංක ව සතුටුවිය
හැකි විය යුතු ය. |