[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුන ඒකාලෝක කළ හීනටියන ශ්‍රී ධම්මාලෝක මහනාහිමි

සම්බුදු සසුන ඒකාලෝක කළ හීනටියන ශ්‍රී ධම්මාලෝක මහනාහිමි

හීනටියන මා හිමිපාණන් වහන්සේ එකල ජාතික ව්‍යාපාරයන් හි ප්‍රමුඛතාව ගෙන ක්‍රියා කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර, සර්. ඩී. බී. ජයතිලක, මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි ජාතික වීරයින් සමඟ කටයුතු කළ සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස ඒ කටයුතුවලට නායකත්වය දුන් මහ තෙර නමකි.

අපවත් වී වදාළ අමරපුර මහ නිකායේ මහනායක ධුරන්ධරව වැඩසිටි හීනටියන ශ්‍රී ධම්මාලෝක මහ නා හිමිපාණන් වහන්සේගේ 125 වන ජන්ම දිනය 2025 - 09 -23 වන දිනට යෙදී තිබිණි.

හීනටියන මා හිමිපාණන් වහන්සේ එකල ජාතික ව්‍යාපාරයන් හි ප්‍රමුඛතාව ගෙන ක්‍රියා කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වලිසිංහ හරිස්චන්ද්‍ර, සර්. ඩී. බී. ජයතිලක, මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි ජාතික වීරයින් සමඟ කටයුතු කළ සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස ඒ කටයුතුවලට නායකත්වය දුන් මහ තෙර නමකි.

උන්වහන්සේ ළමා නිවාස, වැඩිහිටි නිවාස, බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ කටයුතුවල දී පුරෝගාමීව කටයුතු කරන ලදී. එවක එම ළමා නිවාස පාලනය කරනු ලැබුවේ කොළඹ තරුණ බෞද්ධ සමිතියේ අනුග්‍රහයෙනි. හීනටියන පොත්ගුල් විහාරස්ථානයේ දී එවක ළමා නිවාසයක් පවත්වාගෙන ගොස් ඇත. එම ළමා නිවාසය අද කටුනායක ලක්ෂ්මී ළමා නිවාසය ලෙස පවත්වා ගෙන යනු ලබයි. එය අද වන විට සමාජසේවා දෙපර්තමේන්තුව මඟින් පාලනය කරනු ලබයි.

හීනටියන ශ්‍රී ධම්මාලෝක මහා විද්‍යාලය ද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වන අතර එය අද වන විට ඉතා දියුණු මට්ටමක පවතී.

දෙවන ලෝක යුද්ධ සමයේ කොළඹ පැවැති බෞද්ධ පාසලක් වන නාලන්දා මහා විද්‍යාලය මිනුවන්ගොඩ නගරයට ගෙනැවිත් ස්ථාපිත කිරීමේ දී ජාතික නායකයින් සමඟ කටයුතු කළ නා හිමිපාණෝ ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළහ. යුද්ධය අවසන් වීමෙන් පසු නැවත එම විද්‍යාලය කොළඹට ගෙන ගිය අතර, එහි ශාඛාවක් මිනුවන්ගොඩ නගරයේ පවත්වා ගැනීම සඳහා කටයුතු සිදු කරනු ලැබුවේ හීනටියන මහ නා හිමිපාණෝය. එදා ගත් ඒ ක්‍රියාමාර්ගය නිසා එදා මෙදාතුර දහස් ගණනක් දුවා දරුවන්ට නුවණැස පාදා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව ලැබුණේ ය. නාලන්දා පිරිමි හා නාලන්දා බාලිකා පාසල් ලෙස දැනට ඒවා පවත්වාගෙන යනු ලැබේ.

මහ නා හිමිපාණන්ගේ සමාජ සේවා කටයුතු අංශ කිහිපයකට විහිදී ගොස් ඇති අතර, අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ තවදුරටත් සඳහන් කිරීමේදී දැන උගත් ධර්මධර ධම්මප්‍රචාරක කටයුතුවලට සුදුසු භික්ෂු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් 1969 ජුනි මස 25 වන දින හීනටියන පොත්ගුල් විහාරස්ථානයේ ශ්‍රී ලක්ෂ්මී ධර්මදූත පිරිවෙන උන්වහන්සේ ආරම්භ කළහ. එදා සිට මේ දක්වා දැන උගත් දෙස් - විදෙස් ධර්ම ප්‍රචාරක භික්ෂු පිරිසක් බිහි කොට ඇත.

ලංකාවේ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයේ පුරෝගාමී තෙරුන් වහන්සේ නමක් ලෙස හීනටියන නා හිමියෝ ක්‍රියා කළහ. ඊට අමතරව අපරාධ මර්දන ව්‍යාපාරය, අමද්‍යප ව්‍යාපාරය, මැලේරියා මර්දන ව්‍යාපාරය වැනි සමාජ සේවා කටයුතුවල නියැළුණහ. මේ අතර උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ඉල්ලීම පරිදි දඹදිව ධර්ම ප්‍රචාරක කටයුතුවල ප්‍රධානත්වය උසුලන ලද්දේ හීනටියන මහ නා හිමියන් ය. අනගාරික ධර්මපාලතුමන්ගේ ආරාධනයෙන් සාමණේර භික්ෂු 10 නමක් පමණ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා දඹදිව බලා වැඩම කළහ. ඒ අතර ශාන්ති නිකේතනයේ රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ආභාසය ලබමින් උන්වහන්සේ තුලනාත්මක දර්ශනය පිළිබඳ දැනුමක් ලබා ගත්හ. මීට අමතරව මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන්ගේ සහයෝගය ද ඇතිව බටහිර යුරෝපයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළුණහ.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමිපාණන් වහන්සේගෙන් අනතුරුව කොළඹ නාලන්දා මහ විද්‍යාලයේ ධර්මාචාර්ය න් වහන්සේ ලෙස ද හීනටියන ශ්‍රී ධම්මාලෝක මහ නා හිමිපාණන් වහන්සේ කටයුතු කළහ. තවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම සංඝාරාමය භාර ස්වාමීන් වහන්සේ ලෙස ද කටයුතු කළහ. තවද විචිත්‍ර ගුවන් විදුලි ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ දෙස් -විදෙස් බොහෝ දෙනාගේ කීර්තියට පත්ව ඇත.

අමරපුර මහා නිකායේ මහනායක ධුරන්ධර හීනටියන ශ්‍රී ධම්මාලෝක මහනාහිමියන්ගේ 125 වන ජන්ම දින ගුණ සමරුව 2025 සැප්තැම්බර් මස 23 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිති කරගෙන හීනටියන පොත්ගුල් මහා විහාරස්ථානයේ පින්කම් මාලාවක් විහාරාධිපති ශාස්ත්‍රපති හීනටියන ධම්මදස්සි අධිකරණ සංඝනායක නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කරන ලදී. එදින සඟසතු දානමය පින්කම අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහනායක මාදම්පාගම අස්සජි තිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. එදින රාත්‍රී බෝධි පූජා මහා පින්කමක් ද පොත්ගුල් විහාරස්ථානයේ දී සිදුකරන ලදී.

මීට අමතරව මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය හා ආදි ශිෂ්‍ය සංගමය විසින් එම විද්‍යාලයේ ආදි කර්තෘන් ගුණ සමරුවක් සංවිධානය කොට තිබිණි. ඊට සමගාමී ව මිනුවන්ගොඩ මූලික රෝහලට උපකරණ පරිත්‍යාග කිරීම ද සිදු කෙරිණි. හීනටියන ශ්‍රී ධම්මාලෝක මහනාහිමියන්ගේ උදාර සමාජ මෙහෙවර මාතෘකා කොටගෙන රචනා තරගයක් පවත්වා ඉන් ජයග්‍රහණය ලැබූ සිසු දරුවන්ට ත්‍යාග පිරිනැමීම ද එහිදී සිදු කෙරිණි.

ඉල් පුර අටවක

ඔක්තෝබර් 29 බදාදා පූ.භා. 09.22 පුර අටවක ලබා 30 බ්‍රහස්පතින්දා පූ.භා. 10.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12   

Full Moonඅමාවක

නොවැම්බර් 19

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]