තුන්සිත පහදවා නොපමාව දන් දෙන්න
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
ගෞතම බුදුරජාණන් වහන්සේට පූර්ව කාලයේ මේ ලොව සම්බුද්ධත්වය හිමි කර ගත්තා ‘නාරද’
කියන බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ දේශදේශාන්තරවල
වැඩම කරලා ධර්ම දේශනා පැවැත්වූවා.
එලෙස ම සම්බුදු සසුන පිහිටුවා ලෝක සත්වයාට නිර්වාණ සුවය ලබා දීමට මහණ උපසම්පදාවත්
ඇති කළා. ඒ කාලේ ශ්‍රී ලංකාව හඳුන්වලා තියෙනවා ‘රත්නදීපය’ කියලා. ඉතින් මේ පුංචි
දිවයිනටත් ධර්ම දූතයන් වහන්සේ වැඩම කරලා තිබුණා. ධර්ම දේශනාත් පවත්වා තිබුණා. ඒ
වගේම පැවිදි උපසම්පදාවත් ඇති කරලා තිබුණා. මෙහෙම කාලයක් සංඝ ශාසනය ලංකාවේ පවතින
කාලයේ මහා නියං කාලයක් උදා වුණා.
ගස්වැල් වේළිලා ගියා. ඇළදොළ සිඳී ගියා. මහා කඳුවල විතරක් යන්තමට වතුරත්, ගස්
කොළනුත් ඉතුරු වුණා. හැමෝ ම ජීවිතේ බේරා ගන්න මේ පළාතට ආවා. ඒ පිරිස අතර භික්ෂූන්
වහන්සේ වැඩ සිටියා. ඉතින් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කළහම යන්තම් කැඳ ටිකක්
හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නෙත් ඉතින් ඉතා ම ශ්‍රද්ධාවන්ත පින්වතෙක් හිටියොත් විතරයි.
නැතිනම් හිස් අතින් ම ආරාමවලට වැඩම කරලා ගස්වැල්වල කොළ හෝ වළඳනවා. මෙහෙම කාලය ගත
වුණා.
එක් තෙර නමක් රාත්‍රි කිහිපයක් පුරාවට ම භාවනා කර රහත් බවට පත් වුණා. උන්වහන්සේ
රහත් බව ලබපු දවසේ පාන්දරින් ම පාත්‍ර සිවුරු අරගෙන කැඳ ටිකක් හෝ ලැබේවි යැයි සිතා
ගම පුරාම පිණ්ඩපාතේ වැඩම කළා. ඒත් කැඳ ටිකක්වත් ලැබුණේ නම් නෑ. හෝදපු පාත්‍රයේ වතුර
පමණයි ඉතිරි ව තිබුණේ. පැය ගානක් ඇවිද ගෙන ගියත් පිණ්ඩපාතය ලැබුණේ නෑ. ඒ තරම් ම මේ
කාලය ආහාර හිඟයකිනුයි පැවතියේ.
රහතන් වහන්සේ තීරණය කළා ආයෙත් ආරාමයට වැඩම කරලා වෙනයම් ආහාරයක් සකසා ගන්න.
නැවත ආරාමයට වැඩම කරන මාර්ගයට කිට්ටුව හිටියා ඉතාම දුප්පත් පවුලක්. ඔවුන් ශ්‍රද්ධා
සම්පන්න යි. ඒ හැමෝ ම ජීවත් වුණේ නැළියක් හාල් තියාගෙන කැඳ ටික ටික හදාගෙන බීලා.
රහතන් වහන්සේ මහ මඟ වඩිනවා දැක වහා දුව ගොස් පාත්‍රය දෙස බැලුවා. එවිට දුටුවා
මොකුත්ම ලැබිලා නෑ කියලා. තමනුත් පවුලේ අයත් කැඳ හදාගෙන බොන්න ඉතිරි කර ගත්ත හාල්
නැළියෙන් හාල් ටිකක් ගෙන ඉක්මනට උයා රහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. උන්වහන්සේත්
ඒ ඇත්තන්ට ආශීර්වාද කර ආයෙත් ආරාමයට වැඩම කරන්න වුණා.
මෙහෙම යන විට තෙරුන් වහන්සේට බොහොම තදින් බඩගින්න දැනුණා. පිණ්ඩපාතය අරගෙන ම ආරාමයට
වැඩම කරන්න ඕන කියලා තීරණ කර ළඟ තිබුණු ගහක් යටට ගිහින් සුදුසු තැනක් බලා වැඩ
හිඳගෙන වළඳන්න පටන් ගත්තා.
මේ ගසට අරක් ගෙන හිටියා භූමාටු දෙවියෙක්. ඉතින් මනුෂ්‍ය ලෝකයේ දුප්පත්, පොහොසත්,
මධ්‍ය පංතිය නියෝජනය කරන අය ඉන්නවානේ. ඒ වගේ ම දිව්‍ය තේජස්, දිව්‍ය ආහාර පාන තියන
දෙවිවරුත් ඉන්නවා. මේ ගහට අරක්ගෙන හිටියේ දිව්‍ය තේජස තිබුණත් දිව්‍ය ආහාර පාන නො
ලැබෙන දෙවියෙක්. ඉතින් මේ දෙවියන්ටත් බොහෝම කුසගින්න දැනිලා හිතුවා මේ භික්ෂුව ළඟට
ගියා නම් කෑම ටිකක් ලැබෙයි කියලා. එහෙම හිතලා දුප්පත් මහලු මිනිසකුගේ වේශයක් මවාගෙන
එතැනට ගිහින් රහතන් වහන්සේ ඉදිරියේ හිටගෙන හිටියා. රහතන් වහන්සේ සන්සිඳුණු ඉඳුරන්
සහිත ව වටපිට බලන්නේ නැති ව පිණ්ඩපාතය ගනිමිනුයි හිටියේ. ටික වේලාවක් බලන් හිටියත්
මේ මහල්ලා දිහා රහතන් වහන්සේ හිස ඔසවා බැලුවේ නෑ. තවත් ටික වේලාවක් ගත වුණා.
පාත්‍රයේ පිණ්ඩපාතයත් ඉවර වී ගෙනයි දැන් එන්නේ. බැරිම තැන මේ මහල්ලා උගුර පෑදුවා.
උන්වහන්සේ ඉදිරියේ මනුෂ්‍යයෙක් ඉන්න බව ඇඟවූවා. එතකොට ම රහතන් වහන්සේ හිස ඔසවලා බලන
කොට දැක්කා වයසක දුප්පත් මනුෂ්‍යයෙක් තමන් වහන්සේ ඉදිරියේ ඉන්නවා. ශරීරය දිහා බලපු
ගමන් මහත් කරුණාවක් ඇති වුණා. පාත්‍රයේ ඒ වෙන කොට තිබුණේ අවසාන බත් කට විතරයි.
ඉතින් මේ රහතන් වහන්සේ ඔහු කෙරෙහි උපන් මහත් කරුණාවෙන් ඒ බත් පිඬ අර වයසක තැනැත්තාට
දුන්නා. ඔහුත් ගරු කරලා පිළි ගත්තා. මේ මනුෂ්‍ය වේශයෙන් සිටින දෙවියා සිතුවා. මම
දිව්‍ය ආත්ම භාවයක් ලබා ගෙන හිටියත් මට දිව්‍ය ආහාරපාන ලැබෙන්නේ නෑ. මම පෙර ආත්මයේ
ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තබා බලු-කපුටන්ටවත් දානයක් දීලා නෑ. අනෙක් පින්කම් කරලා මට
හොඳ දිව්‍ය තේජසක් තිබුණත්, අවශ්‍ය ම කරන දිව්‍ය ආහාරපාන ලැබෙන්නේ නෑ. ආයෙත් මට මේ
වගේ සීල ගුණයෙන් උසස් සංඝයා වහන්සේ කෙනෙක් හමුවන එකකුත් නැහැ. මේ ගෙවිලා යන්නේ මහත්
භයානක දුර්භික්ෂ කාලයක්. ඒ නිසා මම කලින් බඩගින්න ඉවසාගෙන හිටියා වගේ ම අදත්
බඩගින්න ඉවසාගෙන ඉන්නවා. මම ලැබුණු මේ බත් පිඬට ලෝභකමක් දක්වන්නේ නැති ව අලෝභ
සිතිවිල්ල ඇති කර ගෙන සියතින් ම මේ උතුම් රහතන් වහන්සේට ම පූජා කරනවා, මට දන් දෙන්න
දෙයක් තියෙනවා. දන් දෙන්න උතුම් සීල ගුණයක පිහිටි රහතන් වහන්සේ නමකුත් වැඩ ඉන්නවා.
ඒ වගේම මගේ දීමේ චේතනාවේ ලෝභකමක්, ද්වේෂයක් වගේම මෝහයක් ඇත්තේ නැහැ“යි වහා තීරණය කර
තමන්ට ලැබුණු බත් පිඬ රහතන් වහන්සේගේ පාත්‍රයට ම පූජා කළා. එතකොට ම ඒ පින්කමේ
විපාකයෙන් අර භූමාටු දෙවියන්ට දිව්‍ය ආහාර පාන පහළ වුණා, ඒවා දැකලා මහත් ප්‍රීතියට
පත්ව ඒ දිව්‍ය ආහාරවලින් පළමු කොටස රහතන් වහන්සේට පූජා කරලා තමනුත් සුව සේ දිව්‍ය
සැප සම්පත් විඳිමින් වාසය කළා.
එලෙස ම දුප්පත් ශ්‍රද්ධා සම්පන්න මිනිසුන් උයා ගත්ත බත් මුට්ටියේ බත් නො අඩු වී
දිගට ම පැවැතියා“යි පැවසෙන රසවත් කථාවක් අපේ බණ පොතක් වුණු සද්ධර්මාලංකාරයේ
දේවපුත්‍ර වස්තුවේ සඳහන් වෙනවා.
බලන්න පින්වන්ති, දිව්‍ය ආත්ම භාවයක් ලැබුවත් ආහාරපානවලින් පීඩා විඳින්න සිද්ධ වුණු
හැටි. ඒ නිසා මනුෂ්‍ය ආත්මයක් ලැබුවත්, දිව්‍ය ආත්ම භාවයක් ලැබුවත් සාපිපාසාවලින්
තොර ව සුව සේ ජීවත් වෙන්න නම් දන් දෙන්න. දාන චේතනාව නැති කර ගන්න එපා. තුන් සිත
පහදවා ගෙන සීල ගුණයේ පිහිටි ඇත්තන්ට නොපමාව දන් දෙන්න. ඒක තමන්ට ලැබුණු දෙයක්. දීපු
පුද්ගලයාට ම වුණත් කමක් නෑ. ඔහුගේ ගුණ සිහිපත් කර ගෙන පැහැදුණු චේතනාවෙන් දන්
දෙන්න. එහි විපාක මහත් බව අපට මේ කථා පුවතින් කියා දෙනවා. |