[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මේ ජීවිතයේ දී ම මාර්ගඵලයට පැමිණෙමු

මේ ජීවිතයේ දී ම මාර්ගඵලයට පැමිණෙමු

බුදු බණ අසා තිබීම (ඇසීමෙන් හෝ කියවීමෙන්) ශ්‍රැතවත් බවත්, බුදුබණ අසා නොතිබීම අශ්‍රැතවත් බව ලෙසත් ශ්‍රී මුඛ දේශනා තුළ ම සඳහන් ව (සනි. 3 පිට 142) ඇත. මෙහි දී අසා තිබුණත් ඒවා සිත්හි ධාරණය කර නොගත්තේ නම්, ධාරණය කර ගෙන තිබුණත් නැවත නැවත නුවණින් මෙනෙහි නොකරන්නේ නම්, ඔවුහු ද අශ්‍රැතවත් ගණයෙහිලා ම යෙදේ.

තව ද මෝහය හා අවිජ්ජා යනුවෙන් දෙපදයෙකි. මේ පද දෙකෙහි ම නුනුවණ බව - නොදැනීම යන සමාන අර්ථයක් ඇත. බුදු දහමට අනුව ගළපා ගතහොත් අකුසල මූලයන් වූ ලෝභ, ද්වේෂ දෙක මෝහය නිසා මෙන් ම, අවිජ්ජාව නිසා ද පහළ කර ගන්නක් බව ධර්මයේ ම සඳහන් වේ.

මේ අනුව අවිජ්ජා - මෝහ ධර්මතා නොදන්නා අය අශ්‍රැතවත්හු වෙති. දැන සිටින අය හෝ දැන ගැනීමට වීර්යය කරන අය හෝ දැන ගැනීමට කැමැත්ත ඇති අය හෝ ශ්‍රැතවත් ගණයෙහි ලා ගැනේ. ඒ මක්නිසා ද? ඔවුහු අලෝභ, අද්වේෂ, අමෝහ, විජ්ජා ධර්මතා සොයා යන, කුසල සහගත සිතින් දාන, සීල භාවනාදියෙහි යෙදෙන හෙයිනි. තව ද අවිජ්ජා යන්නට චතුරාර්ය සත්‍යය නොදැනීම ද ඇතුළත් වේ. මේ සිව්සස් දහම් සොයා යන්නා විජ්ජා සහගත ය. ශ්‍රැතවත් වූවෙකි. බුදු මඟ ගවේෂණය කරන්නෙකි.

අපි දහමේ දක්වන පරිදි දුෂ්ට අට තැනකින් මිදුණු ක්ෂණ සම්පත්ති ලාභියෝ වෙමු.

නරකයෙන්, ප්‍රේත ලෝකයෙන්, තිරිසන් ආත්මයන්ගෙන්, දීර්ඝ ආයු ඇති බ්‍රහ්ම - දිව්‍ය ආත්මයන්හි නො ඉපදී මේ මනුෂ්‍ය ආත්මය ලැබුවෝ වෙමු.

පරන්තප දේශයක එනම්, තුණුරුවන් පහසුවෙන් මුණ නොගැසෙන දේශයක නොඉපදීම ක්ෂණ සම්පත්තියකි.

මන්දබුද්ධික හෝ අංග විකලත්වයෙන් හෝ තොර උපතක් ලැබ තිබෙමු.

මිථ්‍යා දෘෂ්ටි මවු - පිය නොලැබුවෙමු. බුද්ධෝත්පාද කාලයක (චතුස්සත්‍යාව බෝධයෙන් අරහත්වය සාක්ෂාත් කළ හැකි සද්ධර්මය නොනැසී පවත්නා කාලයක ඉපිද සිටිමු. මේ අටක්ෂණ සම්පත්ති ලාභීත්වය යි. මේ ක්ෂණ සම්පත්තිය අපට ලැබුණේ පෙර ආත්මයන්හි අප කර ඇති දස පාරමිතා කුසලයන්හි ආනිසංස ලෙස ගැනීමෙහි වරදක් නැත. අපට මෙම ආත්මය තුළ විසි පාරමිතා පිරූ පසේ බුද්ධත්වයෙන් හෝ සමතිස් පෙරුම්දම් සපුරා ලූ සම්මා සම්බුද්ධත්වයක් හෝ දහමට අනුව කිසිසේත් සාක්ෂාත් කිරීමට හැකියාවක් නැත. එහෙත් තුන්තරා බෝධියෙන් ඉතිරි බෝධිය (බුදුබව) වූ අරහත් බුද්ධත්වය සඵල කර ගත හැකි ය. ඒ සඳහා ම ය බුද්ධෝත්පාද කාලයක අපට මේ උපත ලැබුණේ.

මෙ පමණක් නොව අට තැන ක්ෂණ සම්පත්තීන්ට හිමිකරුවෝ වූ අපි තෙරුවන් සරණ ගිය සද්ධා සම්පන්න ශ්‍රැතවත් ශ්‍රාවකයෝ ලෙසින් තවත් අට තැනක සැකයෙන් මිදී සැදැහැවත් ශ්‍රාවකයෝ ද වන්නෙමු ය.

පින්වත්, ඔබත් මමත්, පෙරදා සිට මේ දක්වා, ළමා වියෙහි දී ම පැවිද්ද ලබා තමාගේ මුළු ජීවිත කාලය ම අනේක බාධා විඳිමින් කල් ගෙවන අපගේ මහා සංඝරත්නය වෙතින් බුදු වදන් ඉගෙන (පරතෝඝෝෂයෙන් දෙසූ සද්ධර්මය අසා) අට තැනක ඇතිවන සැක අපි මේ වන විට දුරු කළෝ වෙමු. බුද්ධ රත්නය (නව අරහාදි බුදුගුණ) ගැන, ස්වාක්ඛාත සන්දිට්ඨික ධර්ම රත්නය ගැන, මේ සද්ධර්මය අසා අතීතයේ මගඵල සාක්ෂාත් කළ මහා සංඝරත්නය ගැන ශ්‍රැතවත් වූ අපට කිසිදු සැකයක් නැත. පෙරභවයක්, මතු භවයක් පෙර - මතු භව දෙකමත් ගැන (පුනර්භව) අපට සැක නැත. කායික, වාචසික, මානසික, පුඤ්ඤ - අපුඤ්ඤ කර්මවලට විපාක ලැබෙන බව, චතුරාර්ය සත්‍යය අවබෝධය ලබා සංසාර ගමන නිම කළ හැක්කේ පටිච්චසමුප්පාද ධර්මතා අවබෝධයෙන් බව අපට සැක නැත. මෙවන් සම්පත් මනුෂ්‍යත්වය ලැබුවත්, අශ්‍රැතවත් හු හට ලැබී නැත. අශ්‍රැතවත් බවේ ආදීනව වටහා ගන්නා තුරු ලැබෙන්නේ ද නැත. එතෙක් ඔවුන් සත්ත්ව, පුද්ගල, ආත්මයක් ඇත යන සංකල්ප ගෙන නිත්‍ය - සුඛ ස්වභාවයෙන් තමන් උපන් සම්මත ලෝකය ඇසුරු කරති. මේ ඇසුර මම -මාගේ සිතුවිලිවලින් සමීපයට ගන්නා ප්‍රමාණයට ශෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස හෝ හැඬීම් - වැලපීම් සහිත උපායාස ඇති වන්නේ ම ය. එවන් මම - මගේ වස්තූන්හි (මව - පියා, දුව - පුතා, නංගි - මල්ලි, බිරිඳ - ස්වාමියා) යථාර්ථය ඇති තතු පරිදි අවබෝධ කර ගන්නේ නම් ඒ කිසිදු දුකක් හටනොගනී.

බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ සම්මත ඇති ජීව - අජීව සියලු වස්තූන් සංස්කාරයෝ ය. සංස්කාරයෝ යනු තම තමා විසින් සකස් කරගත් යන අදහසයි. අපි ස්පර්ශ කරන සම්මත ලෝකයේ ඇති සියලු වස්තූන් හට නමක් දී ඇත්තේ අපි වෙමු. තව ද ඒ ඒ වස්තූන්වලට ස්ථිර - නිත්‍ය - සුඛ සංකල්ප ආදේශ කර ඇත්තේ ද අපි ම ය. මවගේ හෝ පියාගේ හෝ මරණයට පෙර තම දුව හෝ පුතා හෝ මළොත් ඒ නිත්‍ය සුඛ - සංකල්පය නිමිති වශයෙන් ගෙන පොළොවේ වැතිරීම, පපුවට පහර දෙමින් ඝෝෂා සහිත ව හඬා වැලපෙන්නේ යථාර්ථය නොදැනීම නිසා ය. පූර්ව කර්ම දායාද කොට මෙලොවට ආ අපි කර්මයේ ආයු ගෙවී ගිය දා පෙර - පසු නොසලකා මෙලොව හැර යන්නේ ම ය. අනමත්තග්ග සංයුක්තයේ සඳහන් පරිදි අනවරාඝ්‍ර සසරේ මෙවන් මවුපියන්, සොයුරු - සොයුරියන්, දුවා - දරුවන් මැරී අපි හැඬූ කඳුළු මහ සයුරේ ජල බිඳුවලට වඩා වැඩි ය.

සම්මත භෞතික ලෝකයේ මව - පියා - දුව - පුතා සිටිති. ඒවා සම්මුතියෙන් ගත් සත්‍යයකි. ගහ, කොළ, පෘථිවිය, සාගර තිබේ. ඒවා ද ඇත්තකි. නමුත් ඒ කිසිවක් නිත්‍ය නැත. ස්වභාවය අනිත්‍ය වූවකි.

ඉහතින් දැක් වූ පරිදි පෙර පින් ඇත්තන් උපන්නේ අන්ධ පෘථග්ජනයන් ලෙසිනි. එහෙත් පරතෝඝෝෂයෙන් බුදුබණ ඇසීමට සිත් නැමී අපි දැන් කල්‍යාණ පෘථග්ජනයෝ වන්නෙමු. ඒ ඇසූ බුදු බණ පරිදි අපේ කය තුළ ඇත්තේ රූප, වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහකි. මේ තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ පරමත්ථ ලෝකය යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති පරිදි මේ පංචස්කන්ධය ප්‍රහීණ කරන අයුරු අපිත් අවබෝධ කළ හොත් සසර ගමනින් හෙවත් පුනර්භවයන්ගෙන් මිදී නිවනට පත් වේ.

මේ සඳහා බුදුරජාණන් වහන්සේ සත්ත්ව - පුද්ගල, ස්ත්‍රී - පුරුෂ, දේව - බ්‍රහ්ම, වෘක්ෂ - පර්වත, ගංගා - සමුදුර යන ලෝක ව්‍යවහාරික උපකාර කොට ගෙන දෙසූ සම්මුති දේශනාවක් ද, මේ ලෝක සම්මුතියන්හි නොපිහිටා ස්කන්ධ - ධාතු - ආයතන යනාදී අර්ථ නොපෙරළෙන සුළු පරමත්ථ දේශනාවක් ද වදාළ සේක. පළමු කී පංචස්කන්ධයෝ ස්කන්ධ ලෙස ද, ඒ ස්කන්ධයෝ ධාතු විවිධත්වයකින් හා ආයතන හයකින් යුක්ත බව ද පැහැදිලි කර දී ඇත.

භාග්‍යවතුන් වහන්සේ ව්‍යවහාරික සම්මත ලෝකය පරමත්ථ ලෝකය හා සසඳා බලද්දී එහි ඇති අනිත්‍යය, දුක්ඛ, අනන්ත ස්වභාවය ධර්මතා අවබෝධ කළ සේක. මේ අවබෝධය ශ්‍රැතවත් සද්ධා සම්පන්න කල්‍යාණ පෘථග්ජනයා හට මිච්ඡාදිට්ඨියෙන් මිදී සම්මාදිට්ඨිගත ව නිවන සාක්ෂාත් කළ හැකි පරිදි දේශනා කොට වදාළ මඟ කෙටියෙන් මෙසේ ය. ශ්‍රද්ධාවත් කල්‍යාණ පෘථග්ජනයකු මේ සඳහා පහත සඳහන් ඤාණ 09 උපදාවා ගත යුතු ය.

සතර සතිපට්ඨානය ඇසුරු කොට තමාගේ සිත හා කය ක්ෂණයක් ක්ෂණයක් පාසා උදය, ඨිති, භංග“ (විනාශ) වන වස්තුවක් ලෙස සත්‍ය ස්වභාවය මෙනෙහි කිරීම (උදයබ්බයානුපස්සනා ඤාණය)

මේ ක්ෂණ ස්වභාවය නිසා පවත්නා ඨිති කාලයක් නොපෙනේ. (භංගානුපස්සනා ඤාණය)

උපන් ක්ෂණයෙහි බිඳී බිඳී යන ස්වභාවය දැන අවබෝධමය බියක් ඇති කර ගැනීම (භයතු පට්ඨානා ඥානය)

ඉහත තුන් ආකාරයට ම මේ සිත කය දෙක ක්ෂණයක්, ක්ෂණයක් පාසා බිඳි බිඳී යන්නක් බව තීරණය කර ගැනීම (ආදීනවානුපස්සනා ඤාණය)

නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් පිළිගෙන තිබූ කයෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්මතාව එලෙසින් ම දැක අවබෝධයෙන් කලකිරීම (නිබ්බිදානුපස්සනා ඤාණය)

මේ පංචස්කන්ධය මෙසේ ඉපිද ක්ෂණයකින් ඉතිරී නැති ව ක්ෂය වී යන සංස්කාරයක් සේ දැන මෙයින් මිදිය යුතු යැයි යන බලවත් කැමැත්තක් සිතෙහි ඇති කර ගැනීම (මුඤ්චිතුකම්‍යතා ඤාණය)

මෙසේ නුවණින් දකින විදර්ශකයා සම්මා දිට්ඨිගත වූවකු වන හෙයින් තමාගේ හා බාහිර වූ රූප කෙරෙහි ඇලීමක්, ගැටීමක්, බියක් නොගෙන පමණට බැලීමට සිත සකසා ගනී. (පටිසංඛ්‍යනුපස්සනා ඤාණය)

ඉහත සත් ආකාර සිත් ඇති විදර්ශකයාට දැන් මම, මාගේ, මම වෙමි යනුවෙන් ඇලීමට ආධ්‍යාත්මික බාහිර දෙලොවෙහි ම කිසිම දෙයක් නැති බව වැටහී සියලු සංස්කාරයන් කෙරෙහි මැදිහත් සිතක් ඇති වේ. (සංඛාරුපෙක්ඛා ඤාණය)

මේ වන විට ශ්‍රැතවන් විදර්ශකයාට විශේෂයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පංචස්කන්ධයෙහි ම අනිත්‍යතාව නාමික වශයෙන් වැටහී ඒ වැටහීම බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ සත්‍ය හා ගැළපෙන බව විශ්වාසයෙන් ම පිළිගනියි. (සච්චානු ලෝමික ඤාණය යනු මෙයයි. මේ නව විධ ඤාණයෝ පාලියෙන් ගැඹුරු ලෙස සටහන් වූවාට ධ්‍යාන අරමුණකට ගතහොත් විනාඩි 05කින් වැටහේ.)

බුදුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය වෙත හඹායාමට මේ නුවණ උපකාර වන්නකි. බුදුන් වහන්සේ වදාළ සත්‍යයට අනුලෝම වූවකි. මේ අවස්ථාවට පත්වීම “ධම්මඨිතිඤාණය” ලෙසින් බුදු දහමේ සඳහන් වේ. මෙහිලා කිසිම කෙලෙස් ප්‍රහීණයක් නැත. දැක්මක් පමණි. මේ වන විටත් විදර්ශකයා කල්‍යාණ පෘථග්ජනයෙක් ම ය. එනමුත් මේ අවස්ථාව පෘථග්ජන ගෝත්‍රයෙන් මිදී ආර්ය ගෝත්‍රයට පියවර තබන්නකු හෙයින් ගෝත්‍රයෙන් මිදෙන්නකු, (ගෝත්‍රභූ ඤාණය) ලෙස නම් කර ඇත. බුදු දහමේ පූර්ව විදර්ශනා ඥානය ඇත්තෙකි. චුල්ල සෝතාපන්න ලෙසින් ද අටුවාවන්හි දක්වා ඇත.

දැන් මෙතැන් සිට ආර්ය මාර්ගය මෙසේ දක්වා ඇත. ආර්ය මාර්ගයට පිළිපන්නහු සියලු දුක් ප්‍රහීණ කොට නිවන් සැපය ලබන්නේ ම ය. කාම, රූප, අරූප යන තුන් භූමියේ ම ඇත්තේ දුක්ඛ දුක්ඛ ම ය. මේ ත්‍රිවිධ භූමියෙන් ම මිදීම විමුක්තියට පත්වීමයි. එනම් නිර්වාණ සැපය ලැබීමයි.

මේ දුක් සසර පුරා ම තිබූවක් හෙයින් මේ වන විට පැසෙමින් සැරව (ආසව) ලෙස ගලා ඒ. එවැනි ආසව හතරකි. කාමාසව, භවාසව, දිට්ඨාසව හා අවිජ්ජාසව යනුවෙනි. මේ හතර ප්‍රහීණ කිරීම නිවනයි. මේ හතර නිසා ඇති වූ සසර බැඳ තබන බැමි දහයකි. සංයෝජන නමින් හඳුන්වන මේ බැමි සතර මඟ සතර ඵල ලැබීමෙන් කඩා බිඳ දැමිය හැකි ය. අවසන් අරහත් ඵලය නිවනයි. මේ තත්ත්වය හඳුන්වන ඉන්ද්‍රිය තුනක් ඉතිවුත්තික පෙළෙහි (බු.නි. 1 පිට 390) ඉන්ද්‍රිය සූත්‍රයෙහි මෙසේ දක්වයි. අනඤ්ඤතඤ්ස්සාමීතින්ද්‍රිය (සෝවන් මඟ නුවණ) අඤ්ඤින්ද්‍රිය (සොවන්පල සිට අරහත් මග නුවණ ලත් හය දෙනා)

අඤ්ඤතාවින්ද්‍රය (අරහත් ඵල නුවණ) මෙහිලා සෝවන් මඟ නුවණ මෙහෙයවා සසර බැඳ තැබූ සංයෝජන බැමි තුනත් කඩා දමයි. විචිකිච්ඡා (බුදු දහම පිළිබඳ ඉතිරි ව ඇති සැක ප්‍රහීණය)

සීලබ්බතපරාමාස (වෙනත් ශාස්තෘව්‍රත අත්හැරීම) සක්කාය දිට්ඨිය (මම මාගේ අස්මි මානයෙන් මිදීම) මේ තුන ප්‍රහීණයක් සමඟ සෝවාන් ඵලයට පත්වන යෝගාවචරයා සතර අපායෙන් ම මිදේ. සම්බෝධිපරායන (උපරිම ආත්ම හතක් තුළ අරහත් බුදු බවට පත්වීම) වෙති. ආරද්ධ වීර්යය සතර ඍද්ධිපාද වඩන්නහු අනතුරුව ඉහත දැක්වූ දෙවැනි ඥානය උපදවා ගනිමින් කාමාසව (කාම රාගය) තුනී කර ගනී. පටිඝසංයෝජනය ද සමඟිනි.

මේ සකදාගාමී ඵලස්ථයාගේ ස්වභාවය යි. අනතුරුව ඒ දෙවැනි ඤාණ ම මෝරවා ගනිමින් කාමරාගය, පටිඝසංයෝජන බැමි දෙක මුළුමනින් ම ප්‍රහීණ කොට අනාගාමී ඵලයට පත්වන්නේ නැවත කිසිදාක කාම ලෝකයට නොයන පරිද්දෙනි. එහෙත් අනාගාමී ඵලස්ථයා තුළ භවරාගය තිබේ. තවදුරටත් අවිද්‍යාව ද ඉතිරි ව ඇත. අනතුරුව පිළිවෙළින් ආර්ය මාර්ගයේ උපදවන ත්‍රිවිධ ශික්ෂා වඩන අනාගාමී ඵල සංඛ්‍යාත සේඛ පුද්ගලයාට පළමු කොට රහත් මඟ නුවණ උපදී. ඒ ඥානයෙහි ම අකාලික ව රහත්ඵල නුවණ ද සාක්ෂාත් කෙරේ. මේ වන විට භවරාගය නම් වූ රූපරාග, අරූපරාග භව සංයෝජන දෙක ක්ෂය වේ. එසේම මේ වන විට කාමරාග, භවරාග ක්ෂය වී ඇති හෙයින් ද, කාම තණ්හා, භාව තණ්හා හා විභව තණ්හා ප්‍රහාණය වූ හෙයින් ද ඉතිරි සංයෝජන තුන වූ මාන්නය, උද්ච්චය හා අවිද්‍යා ද ක්ෂය වන්නේ ය. තමන්ගේ විමුක්තිය (නිවන) ස්ථිර ය. නොනැසෙන්නේ ය. (අකෝප්‍ය) වැටහේ. අවසන් ඉන්ද්‍රිය වූ අඤ්ඤාතාවින්දියට පසු විමුක්ති ඥාන දර්ශනයෙන් සිත පවතී.

මේ තුන් ඉන්ද්‍රියෙන් සමන්විත වූ ශාන්ත නිවනෙහි යුත් පුද්ගල තෙමේ ‘ස්කන්ධමාර - ක්ලේශමාර - අභිසංඛාරමාර (මච්චු) මාර හා දේවපුත්ත මාර (කෙලෙස් සාදන නියාමකයන්) යන පස් මරුන් දිනා අවසන් පංචස්කන්ධය දරන්නේ ය.

අරහත් ඵල සංඛ්‍යාත නිවන ඇත්තේ මෙලොවයි. එයින් පටිපදාඤාණ විශුද්ධිය ලබා මේ ජීවිතේ ම ඒ නිවන (විමුක්තිය මිදීම) අපි සාක්ෂාත් කරන්නෝ වෙමු. මේ අවබෝධය සඳහා වර්තමානයේ ඇති බලවත් ම බාධකය වනුයේ කාමච්ඡන්ද ආදි පංචනීවරණයෝ ම ය. එයින් මිදෙමු.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]