උත්සාහය ජීවිතය වෙනස් කරයි
වැඩි දෙනකුගේ මතය වී ඇත්තේ කර්මයෙන් ගැලවිය නොහැකි බවයි. විපාක විඳින්නට ම වන බවයි.
කර්මය යනුවෙන් හැඳින්වෙන්නේ සිතින්, කයින්, වචනයෙන් සිතාමතා කරන ක්‍රියාවන්. කර්මය
කුසලා කුසල වශයෙන් දෙයාකාරයකින් දැක්විය හැකිය. පෙර කරන ලද පින්පව්වලිනුත් කර්මය
ඇතිවේ. මෙලොවදීත් කර්මය ඇති වේ.
එහෙත් මේ අතිප්‍රබල ප්‍රස්තුතයක් වන ඇතැම් කර්මයන් අප්‍රතිහත ධෛර්ය, වීර්යය,
උත්සාහය, මඟින් යටපත් කර ගත හැකි බව පැවසුවහොත් එය බුදු සමයට පටහැනි නොවේ.
බුදුන් වහන්සේ කොසොල් රජතුමාට දේශනා කළේ “මහරජ, වීර්යය දැනගත යුත්තේ ආපදාවක දී” ය.
යනුවෙනි. මෙහිදී නොසන්සුන්වීම, පෙරකරුමයට පැවරීම පුද්ගලයාගේ සාමාන්‍ය ස්වභාවය යි.
පුද්ගලයා සාමාන්‍යයෙන් ආපදාවක දී අතිනොසන්සුන්කාරී වේ.
එහෙත් කර්ම විපාකයක් නම් එයට ද මුහුණදීමට වීර්යය, උත්සාහය අප සිත් තුළ ඇති කර ගත
යුතු ය. ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් ක්‍රියා කොට සම්පූර්ණ ප්‍රතිඵල නොලැබුණත් එහි ඇති
වරද කුමක්ද?
මෙලොව ජීවිතයේ ආර්ථික පැත්තෙන්, කාමභෝගී ජීවිතය පැත්තෙන් ඉහළට ම යෑමට ද, දියුණුවෙන්
වැජඹීමට ද අපි අධිෂ්ඨානය, වීර්යය, අප්‍රතිහත ධෛර්යය වැඩිය යුතු ය.
යම්කිසි කාර්යයක් ආරම්භ කරන විට එය ඉදිරියට ගෙන යෑම සඳහා පුද්ගලයා පියවර 05ක්
අනුගමනය කළ යුතු බව බුදුරදුන් අංගුත්තර නිකායේ අත්තකාර සූත්‍රයේ දී සඳහන් කොට ඇත.
ආරම්භක ධාතු (ක්‍රියාව ඇරඹීමේ වීර්යය),
නික්ඛම ධාතු (ක්‍රියාව ඉදිරියට පවත්වා ගෙන යෑමේ වීර්යය),
පරක්කම ධාතු (බාධා මැඩගෙන යෑමේ වීර්ය),
ඨිතික්කම ධාතු ( වීර්යයේ පිහිටා සිටීම) හා
උපක්කම ධාතු (උපක්‍රමශීලි වීමේ වීර්යය) යනුවෙනි
මෙම කරුණු ක්‍රියාත්මක වීම මඟින් ශ්‍රමය වැය කිරීමේ දී බාහිර බලවේග ගැන විශ්වාසය
නොතබා ස්වකීය ශක්තිය යෙදවීමට හැකියාව අපට ලැබේ. උත්සාහයත්, වීර්යයත් ගැන කියවෙන
චුල්ලසෙට්ඨි ජාතකය මෙයට කදිම උදාහරණයක් සපයයි.
චුල්ල සිටාණන් දිනක් වීදියේ යන විට මැරුණු මීයකු දැක මෙසේ පවසයි. “නුවණැති කුල
පුත්‍රයකුට මෙම මීයා විකුණා අඹුදරුවන් පෝෂණය කරන්නටත්, වෙළෙඳාම් කරන්නටත් හැකියාව
ඇත.” මේ කියමන ඇසූ දුප්පත් මිනිසෙක් මීකුණ රැගෙන ගොස් බළලකුට කෑමට විකුණා, වී ඇට
දෙකහමාරක් බරට රත්තරන් ලබා ගනී. පසුව ඔහු රත්තරන් දී උක්සකුරු ලබා ගෙන කළයට දිය
පුරවාගෙන ගොස් කැලයෙන් මල් කඩාගෙනවිත් මල්මාලා ගොතන කාන්තාවන්ට දෙයි. කාන්තාවන්
ඔහුට මල් මිට බැගින් දී යයි. ඔහු මල් විකුණා නැවත උක්සකුරු ලබා ගෙන පැන් දී
කාන්තාවන්ට උදව් කරයි. එවිට කාන්තාවෝ ඔහුට ගස්වලින් අඩක් මල් කඩා ගැනීමට ඉඩ හරිති.
එමෙන්ම ඔහු නැවත කහවණු 8ක් උපයා ගනී. මේ අතර වැස්ස හා සුළඟ නිසා රජුගේ උයනේ ගස්වල
අතු කඩා වැටෙයි. ඔහු උයන්පල්ලාට කියා ළමයින් සෙල්ලම් කරන තැනට ගොස් ඔවුන්ට උක්සකුරු
හා පැන් දී ඔවුන් ලවා එම දර, උයනේ දොරකඩ ගොඩ ගසයි. එය දැකගත් වළං පුළුස්සන්නෙක් ඒ
දර මිල දී ගෙන කහවණු 16ක් හැළි වළං 500ක් ලබා දෙයි. පසුව දොරටුව සමීපයේ පැන් කළ
තබාගත් මේ පුද්ගලයා තණකොළ කපන මිනිසුන් 500ට පැන් දී නැවත මුදල් උපයා ගනී. මේ
අයුරින් මෙම දුප්පතා, අවසන කහවනු දෙලක්ෂයක් උපයා ගනී. චුල්ල සිටාණන් මොහුගේ
ධනවත්වීමේ ක්‍රමය අසා පැහැදී ඔහුට තම දියණිය විවාහ කර දී තම වස්තුව ඔහුට පවරයි.
පසුව මේ පුරුෂයා සිටු තනතුරට ද පත්විය.
කුඩා ගින්නකට පිඹ ඉමහත් ගිනි කඳක් බවට එය පත් කරන්නේ යම් සේ ද, නුවණැති මිනිසා සුළු
වටිනාකමක් ඇති දෙයක් ලැබ නොයෙකුත් උපාය යොදා වීර්යයෙන් යුතු ව එය වෙළෙඳාම් කොට යසස
ද, ධනය ද වැඩිදියුණුූ කර ගන්නා සැටි මේ පුවතින් මැනවින් විස්තර කෙරේ.
මේ ආකාරයෙන් අටලෝ දහමින් නොසැළී අනවරතයෙන් දිවෙන ජීවිත ගංගාවේ ගල්පර, රළු බොරලු,
කටුකොහොල් පිරි මාවත් ඔස්සේ ජීවිත යාත්‍රාව සාර්ථකත්වයේ ප්‍රදීපස්ථම්භය කරා ගෙන
යෑමට උත්සාහයත්, වීර්යයත්, අප්‍රතිහත ධෛර්යයත් ඉවහල් වන බව ඉඳුරාම පැවසිය හැකි ය.
විපතක දී පුද්ගලයකුගේ අභිමානවත් පෞරුෂය ඉස්මතු කර, උත්සාහයෙන්, ධෛර්යයෙන් එයට මුහුණ
දී ජයගත හැකි සේ ම අපගේ පෙර කළ අකුසල කර්ම ද, මෙලොව අකුසල කර්ම ද මහාමෙරක් බඳු
උත්සාහ සම්පත්තියේ ප්‍රභලත්වය මඟින් යටපත් කොට දිවිගමනේ නියත ජයටැඹ කරා පියනැඟිය
හැකි බව මනුෂ්‍යයන් ලෙස අප අවබෝධ කොටගත යුතු වෙයි.
- අයන්ති විතාන |