දැයෙන් සමුගත් අස්ගිරි අනු නාහිමියෝ
අතපත්තුකන්දේ ආනන්ද නාහිමි
කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
හිටපු කථිකාචාර්ය,අධ්‍යාපනපති, අපවත් වී වදාළ ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල
බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා
විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ජූලි මස 24 වැනි
දින රාජ්‍ය අනුග්‍රහය සහිත ව මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේ දී සිදු කෙරිණි.
උන්වහන්සේ අපවත් වීම අස්ගිරි මහා විහාරයට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික සමාජයට ම
සිදු වූ මහත් පාඩුවක් වන අතර, ප්‍රථමයෙන් ම උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ අපගේ
සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු.
පුත්තලම දිසාවේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කලක් සේවය කළ රාජකරුණා
හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණා මහතා සහ අධිකාරී මුදියන්සේලාගේ පුංචි මැණිකේ
මැතිණියගේ පස්වන පුත් රුවන ලෙස 1958 සැප්තැම්බර් 03 වැනි දා ආණමඩුව කොට්ටුකච්චිය
ග්‍රාමයේ දී උපත ලද පින්වත් පුත්‍ර රත්නය රාජකරුණා හේරත් මුදියන්සේලාගේ උපාලි
රාජකරුණා නම් විය. නිසි කල ආණමඩුව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද, කුරුණෑගල
මලියදේව විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් ව සිටින කාලයේ ආණමඩුව ශ්‍රී
ආනන්දාරාමයේ එහි වැඩ සිටි තට්ටෑවේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවිදි
දිවියට ඇල්මක් ඇති වී පසුකලෙක අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක පදවිය හෙබවූ
අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර
පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1976
මැයි මස 19 වන දා කොට්ටුකච්චියේ ධම්මදස්සි නමින් පැවිදිබිමට පත්විය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය
ලැබූ ධම්මදස්සි හිමියෝ අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී 1979 මැයි 20 වැනි
දා අතිපූජ්‍ය හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව
ලැබූහ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ද,
අධ්‍යාපන ඩිප්ලෝමාව ද, අධ්‍යාපනපති උපාධිය ද, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා
බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලැබූහ.
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් 2000 දී පාසල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති
ආණමඩුවේ ධම්මදස්සි හිමියන් කටුගස්තොට ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථ ශ්‍රී
රතනපාල දහම් පාසල වෙත අවධානය යොමු කර පශ්චිම ජනතාව යහමඟට යොමු කිරීමට එහි
ප්‍රධානාචාර්ය ධුරය ද දරමින් ප්‍රදේශයේ හොඳම දහම් පාසල බවට පත් කිරීමට පියවර ගෙන
ඇත. මහනුවර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධුරය මෙන් ම, මහනුවර දිසා ශාසනාරක්ෂක බල
මණ්ඩලයේ සභාපති ධුරය ද, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති තනතුරට ද පත්ව
මහඟු මෙහෙවරක් සිදු කර ඇත. 1986 දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් පාසල් ගුරු සේවය
ඇරැඹූ ආණමඩුවේ ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන
විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළහ. අනතුරුව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව
විද්‍යාලයේ කථිකාචාර්ය ධුරයට පත්වූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ දෙළොස් වසරකට
ආසන්න කාලයක් එහි සේවය කළහ.
අතිපූජ්‍ය පලීපාන චන්දානන්දාභිධාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නා හිමියන්
වෙතින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය පදවියකින් පිදුම් ලැබූ ආණමඩුවේ
ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2002 ජූලි 30 වැනි දා අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම
කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින්
විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයකට පත් කරන ලදී.
2008 මාර්තු 01 වැනි දා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක මහා සංඝ
සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රධාන ලේඛකාධිකාරිධුරය පිරිනැමූහ. අස්ගිරි මහා විහාරයට
අඩුපාඩුවක් ව පැවැති ලේකම් කාර්යාලයක් ස්ථාපනය කිරීමට උත්සුක වූ උන්වහන්සේ ලේකම්
කාර්යාලය යන්න හැඟවෙන අයුරින් එහි කටයුතු සැකසීමට ද ක්‍රියා කළහ. 2010 දී හා 2020
දී ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතුවල නිරත වීමට උන්වහන්සේ වාසනාවන්ත වූහ.
මහත් ශාස්ත්‍රීය කාර්යභාරයක් ද ඉටු කර ඇති අතර, 2016 මැයි මස 05 වැනි දා ඓතිහාසික
බදුලූ මුතියංගන රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද
ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක විංශද්වර්ගික කාරක මහා
සංඝ සභාව මඟින් ස්වකීය විහාර පාර්ශ්වයේ 33 වැනි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස
අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ ඒකච්ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ලදී.
සංයමශීලි පෞරුෂයකින් හෙබි, ශ්‍රද්ධා සීලාදි ගුණවලින් යුත් ඍජු ,මෘදු ලක්ෂණවලින්
ස්වකීය දිවිය ආලෝකවත් කර ගත් සංඝ පීතෘන් වහන්සේ නමක් වෙති. මුන්වහන්සේ අස්ගිරි
විහාර පාර්ශවයෙහි ප්‍රවර්ධනය සඳහා මතු නොව කීර්තිය සදහා ද මෑත යුගයෙහි අකුටිල ව
ක්‍රියා කළ මහතෙර නමකි. හදිසි රෝගී තත්වයක් හේතුවෙන් හැට හත් වැනි වියේ දී
උන්වහන්සේ පසුගිය 21 වැනි දින අපවත් වී වදාළහ.අනුනාහිමිපාණන් වහන්සේට උතුම්
නිවන්සුව ප්‍රාර්ථනා කරමු. |