[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පැරදීම අවසානය නොවේ

පැරදීම අවසානය නොවේ

1964 ඔලිම්පික් උලෙළේ මීටර් 10000 ඉසව්ව නැරඹීමට ජපානයේ ටෝකියෝ අගනගරයේ ඔලිම්පික් ක්‍රීඩාපිටියට 60000 කට අධික පේ‍්‍රක්ෂකයෝ රැස්කකා පැමිණ සිටියහ.

ඔක්තෝබර් 14 දා රටවල් 17කට අයත් ක්‍රීඩකයෝ 29ක් මෙම ඉසව්වට තරග වැද තිබිණි. වට 16ක් යන විට අමෙරිකාවේ බිලී මිල්ස් තරගය ජය ගත්තේ ය. අවසන් නොකළ තරගකරුවෝ නව දෙනෙක් තරගයෙන් ඉවත් වූ හ. එහෙත් කෙසඟ මිටි එක් තරගකරුවෙක් තවමත් දුවමින් සිටියේ ය. අවසන් වටය දක්වා යෑමට ඔහුට තව වට හතරක් දිවීමට තිබිණි.

ඉතිරි සිව්වටවලින් පළමුවැන්න දුවනු දුටු පේ‍්‍රක්ෂකයෝ ඔහුට හූ හඬින් සංග්‍රහ කළහ. එහෙත් නැවතුණේ ඔහු නොවේ. ඉතිරි දෙවන වටය නිමා කරන විට තැනින් තැන හූව ද, ඉඳහිට අත්පුඩි ද ඔහුට ලැබිණි. ඉතිරි තෙවන වටය වනවිට පේ‍්‍රක්ෂකයෝ අසුනින් නැඟිට අත්පුඩි තළන්නට වූහ. ඉතිරි සිව්වන හෙවත් අවසාන වටය පේ‍්‍රක්ෂක අත්පොළසන් නාදයෙන් පේ‍්‍රක්ෂකාගාරය දෙදරුම් කැවිණි. සියල්ලෝ ම සිය රටේ ක්‍රීඩකයකුට මෙන් අවසන් වටය තෙක් නොනවත්වා අත්පුඩි තළන්නට වූයේ ඔහුට උපහාර පිණිස ය. ඔහුගේ නොබිඳුණු දිරිමත් බවට ගෞරව පිණිස ය.

“මේ අප්‍රතිහත ධෛර්යවන්තයා කවුද?” සැම ඔහු පිළිබඳ විමසිලිමත් වූහ.

ඔහු ශ්‍රී ලංකාවේ රණතුංග කරුණානන්දයෝ ය. නිවේදකයෝ ඔහු කරා වුත් ඔහුට අනේක ප්‍රශංසා කොට ඉතිරි සැම තරගය අත්හැර තිබියදීත් දිවීමට හේතු විචාළහ.

“යමෙක් යම් දෙයක් ආරම්භ කළේ නම්, එය අවසන් කළ යුතු ය.”

ඒ ඔහුගේ ප්‍රතිචාරය විය. දෙවන ලෝක යුද්ධයෙන් බැට කා සිටි ජපාන සමාජයට එය කදිම ආදර්ශයක් විය. “භදටධපථ ව්ධ 67” නමින් ජපානයේ සතර ශ්‍රේණියේ පෙළපොතට ඔහුගේ කතාව ඇතුළත් කෙරිණි.

ජීවිතය තුළ ජය හා පරාජය දෙක ම තිබේ. බොහෝ අය නොදන්නා දෙයක් නම් අපට සිදුවන වැරැදි හා බිඳවැටීම් මිනිස් ජීවිතයකට වටිනා ගුරුවරුන් බව ය. එබන්දෝ වරක් දෙවරක් අසාර්ථක වන තැන සියල්ල අත්හරිති. නමුත් අසාර්ථක වීම ජීවිතයේ කොටසක් බව ද, ඉන් පාඩම් උගෙන ජීවිතයේ ඉදිරියට යා යුතු බව ද දන්නෝ කවර බාධක පැමිණිය ද තම ඉලක්කය අත් නොහරිති.

භාග්‍යවතුන් වහන්සේ ධර්ම මඟ ගමන් කරන සැමට කළ අවවාදය වූයේ “ මා නිවත්ත අභික්ඛම” (නොනැවතී ඉදිරියට ම යන්න) යන්නයි. භාග්‍යවතුන් වහන්සේ තම ජීවිතය තුළින් ම එය අපට වටහා දුන්හ. බුදුවීමට ප්‍රථම සිදුහත් තවුසාණන් කළ අත්තකිලමථානුයෝගය නිෂ්ඵල බව දැන අත්හළ විට පස්වග තවුසෝ උන්වහන්සේ අත්හැර ගියහ. එහෙත් අධෛර්යවත් නොවූ භාග්‍යවතුන් වහන්සේ මැඳුම් පිළිවෙතින් බුද්ධත්වයට පත්වී වදාළ සේක.

වීර්යය ආරම්භ කිරීම සේ ම, පවත්වා ගෙන යාම ද, පවත්වා ගෙන යන සේ ම අවසාන අරමුණ වූ උතුම් වූ නිවන් සුවය සාක්ෂාත් කරන තෙක් ම එය සුරක්ෂිත කර ගැනීමට ද අප විසින් උත්සුක විය යුතු ය. කෙලෙස් හා සටන් කිරීම ලෙහෙසි නොවේ. පංචනීවරණ නිතර ම මඟ අවුරා සිටින්නෝ අප ව යටපත් කර ගන්නට ම ය. අනවරාග්‍ර සංසාරය පුරාවට වඩාත් ඒවාට යට ව සිටි අප තවදුරටත් යටකොට තබා ගන්නට උතුම් වූ දුර්ලභ සිරි සද්ධර්මය ලත් මේ උත්තම ආත්මභාවය තුළ අප ඉඩ නොදිය යුතු ය. උට්ඨාන වීර්යයෙන් දහම් මඟ දිගට ම යා යුතු ය.

අද සමාජයේ බොහෝ දෙනා කල්ගතවන දෑට කැමැති නොවෙති. ඕනෑම දෙයක් කෙටි කලක් තුළ වහවහා ලැබෙනවා නම් පමණයි බොහෝ දෙනා උත්සාහයේ යෙදෙන්නේ. එහෙත් ධර්ම මාර්ගයේ වැඩීම එබඳු ක්ෂණික නූඩ්ල්ස් වැනි දෙයක් නොවේ. ලොව සෑම හොඳ දෙයක් ම ලබා ගන්නට කාලය ගත වෙයි. එමෙන් ම ඉන් ලබන සැනසීම ද ජීවිත කාලය පුරා ම පවතියි. අප යන්නේ හරි මාවත තුළ නම් ඉක්මනින් හෝ පසුව හෝ අප අපේ ඉලක්කයට ළඟා වෙනු ඇත. ඉලක්කය ලෞකික වුව ද, ලෝකෝත්තර වුව ද, ඊට ළඟා විය හැක්කේ එසේ දිගට ම වීර්යය පවත්වා ගැනීමෙනි. පහත එන ජනකතාව එය හොඳින් පැහැදිලි කරනු ඇත.

එක්තරා කිරි බාල්දියකට ගෙම්බන් තිදෙනකු වැටුණහ. තිදෙනා ම කිරිවලින් එළියට ඒම සඳහා අත්පා ගසන්නට වූහ. මින් බේරුමක් නැති බවත්, කොයි දේ කළ ද අවසානයේ මරණයට පත්වීමට වන බවත් සිතූ පළමු ගෙම්බා සිය උත්සාහය අත්හැර දැමුවේ ය. ඌ එහි ගිලී වහා මරණයට පත්විය. මෙයින් අධෛර්යයට පත් දෙවන ගෙම්බා ද සිය උත්සාහය අත්හැරීමට සිතූවිට තෙවන ගෙම්බා එය දැන මෙසේ කීය.

“මිත්‍රය, උත්සාහය අත් නොහරින්න. දිගටම අත්පා ගසන්න. ඕනෑම වෙනසක් විය හැකි ය. නැතහොත් යමෙක් පැමිණ අප බේරා ගනු ඇත. එහෙයින්, දිගටම වීර්යය කරමු” දෙවැනි ගෙම්බා තෙවැන්නාගේ වදන පිළිගත්තේ යළිත් අත්පා ගසමින් කිරි මතුපිට රැඳුණි. පැයක් දෙකක් ගතවිය. කවුරුත් එන පාටක් නැත. එහෙයින් දෙවන ගෙම්බා අධෛර්යවත් වූයේ ය. “හේ තෙවන ගෙම්බා ඇමතීය.”

“මිත්‍රය, දැන් මට ඉතා වෙහෙස ය. තත්ත්වයේ වෙනසක් ද පෙනෙන්නට නැත. කවුරුවත් එන්නේ ද නැත. ඒ කොච්චර උත්සාහ කළ ද අවසානයේ වෙන්නේ මැරෙන්නට ම ය” කියමින් උත්සාහය අත් හළේය. ඌද ගිලී වහා මරණයට පත්විය. එහෙත් තෙවැනි ගෙම්බාගේ ධෛර්යය ඉන් බිඳවැටුණේ නොවේ. ඌ මෙසේ සිතීය.” “වන්නක් වේවා! මම මගේ උත්සාහය අත් නොහරිමි. දිගටම හැකිතාක් අත්පා ගසමි. ඕනෑම වෙනසක් විය හැකි ය. නැතහොත් කවුරු හෝ බේරා ගැනීමට ආ හැකි ය. අවසාන මොහොත තෙක් මම අත් නොහරිමි.” ඌ දිගට ම අත්පා ගසමින් පෙරටත් වඩා ධෛර්යයෙන්” සටන් කරන්නට වූයේ ය. තවත් ටික වේලාවකට පසු, කිරි ඝනවී මිදෙනු ඌට දැනිණි. ඉවසීමෙන් තවත් උත්සාහ කරනවිට කිරිබඳුන සම්පූර්ණයෙන් මිදිණි. කිරිතට්ටුව මතට නැඟගත් ඌ, ඉන් භාජන මුවටත්, එතැනින් බිමටත් පැන සිය දිවි බේරා ගත්තේ ය.

ඔබේ ජීවිතය ද ඔබ පවත්වා ගත යුත්තේ තෙවන ගෙම්බා මෙනි. ලෞකික හා ආධ්‍යාත්මික මාර්ගයේ යන විට අපට බලාපොරොත්තු කඩවීම්, මානසික ව බිඳවැටීම්, අසාර්ථකවීම් හා අලාභවීම් වැනි නොයෙක් දෑ සිදුවිය හැකි ය. ඒවා ස්වභාවික වන අතර, අපේ ජීවිතයට මුණගැසෙන ගුරුවරුන් ලෙසිනි සැලකිය යුත්තේ. පැරැණි හරියෑම්වලින් ද, වැරැදීම්වලින් ද පාඩම් උගෙන හරියෑමෙන් උඩඟු නොවී, වැරදීම් නිසා කඩා නොවැටී මෙම සුන්දර ධර්ම මාර්ගයේ අප්‍රතිහත ධෛර්යයෙන් ගමන් කරන, නින්දා ප්‍රශංසා නිසා නොසැලෙන ප්‍රඥාවන්තයා වහ වහා දහම් මඟ වඩා පරම ශාන්තිය අවබෝධ කර ගන්නට සුදුස්සකු වන්නේ ය.

“අරමුණට යන්නා වූ කුහුඹුවා යොදුන් සියගණන් පසුකරයි. එකතැන සිටින රාජාලියා එක යොදුනකු ද ඉක්මවන්නේ නැත”

ඉන්දීය සුභාෂිතයකි.

“ඔබ නිසි ලෙස පරිශ්‍රම යොදා වීර්යයෙන් දිගට ම කටයුතු කරන්නේ නම්, යකඩ ඉන්නක් වුව ද ඉදිකටුවක් කිරීමට ඔබට හැකි වනු නියත ය”

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]