[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සත්හට සෙත සදන සිරි දළදා වන්දනාව

සත්හට සෙත සදන සිරි දළදා වන්දනාව

ලක්දිව ජීවමාන දළදා වහන්සේ මහජනතාවට සියැසින් දැක බලා වන්දනාමාන පූජෝපහාර දැක්වීමේ පුණ්‍යමය භාග්‍ය ප්‍රථම වරට උදා වූයේ අනුරපුර කිත්සිරි මෙවන් මහරජු දවස ක්‍රි.ව 310 වැන්නේ සිට ය.

දාඨා ධාතූ වංශය, දළදා සිරිත, මහාවංශය වැනි මූලාශ්‍රයන්ට අනුව කිත්සිරිමෙවන් රජු දවස අනුරපුර ගම් නියම් ගම් ජනපද නුවර වැසියෝ දළදා වහන්සේ අනුරපුර ඇතුලුනුවරට වැඩම වූ පුවත අසා බුදු ගුණ, බුදු සිරිත පසසමින් ලොවට හිත පිණිස, සුව පිණිස වැඩ සැදූ සර්වඥයන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ “අපි ද පිදුමට කැමැත්තෙමු'යි” කියා උද්ඝෝෂණය කළහ.

එවිට රජතුමා අනුරපුර ආරාමවාසි භික්ෂූන් වහන්සේ වැඩමවා දළදා වහන්සේ පිදීමේ කැමැත්තෙන් රැස්වූ ජනයාගේ අදහස සැළ කර සිටියේ ය. ඒ මහ සඟ මැද සිටි කුළුණු නුවණින් යුත් එක් තෙරුන් වහන්සේ නමක් රට වැසියන්ගේ හිතසුව, අභිවෘද්ධිය සලසන මහත්මා ගුණයෙන් සපිරි රජදරුවන් අනුගමනය කොට ළඟ එන වසන්ත කාලයෙහි දළදා වහන්සේ පිටතට වැඩමවා පින් කැමැති ජනතාවගේ සග මොක් සුවය පතා ප්‍රදර්ශනය කරන්නැයි වදාළ සේක.

දළදා ප්‍රදර්ශන මංගලෝත්සවය පැවැත්වෙන තැන සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වූයෙන් මැදහත් සිත් ඇති රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ අභිමත තැනකට වැඩියාක් මෙන් දළදා වහන්සේ ද තමන් වහන්සේ කැමැති තැනකට වඩිනු ඇතැයි සලකා නුවර සැරසීමට නියෝග කළේ ය.

ඒ නියෝගයෙන් මහත් සතුටට පත් වූ ජනයා එපුර සියලු මාර්ග ඇමද, පිරිසුදු කර, සුදුවැලි ඉස, රන් රිදී කලසින්, විසිතුරු තොරණින්, සුවඳමල් දමින් ධජ පතාක ආදියෙන් සරහා ඒ වග රජු වෙත දැන්වූහ. එවිට රජතුමා සේසත් යොදා සැරසූ සුදු අසුන් බැඳී රියැදුරු නැති අලංකාර රියෙක දළදා වහන්සේ වඩා හිඳුවා, ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සෙනඟ සමඟ පංචතූර්ය නාදයෙන් හා සාධු නාදයෙන් අස් රිය පිටත් කර යැවීය.

එම උතුම් රිය වේගයෙන් ගමන් කොට නගරය පැදකුණු කොට ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට අභිමත වූ තැනකට වඩින්නාක් මෙන්, මිහිඳු මහරහතන් වහන්සේ දම් දෙසීමෙන් බැබළවූ ජෝතිය නම් නන්දන වනෝද්‍යානයෙහි නතර විය. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය ජනයා ආභරණ ආදියෙන් පුදද්දී, සාධුකාර දී වඳිද්දී, මහානුභාව සම්පන්න, චන්ද්‍රයාට බඳු ශෝභා ඇති දළදා වහන්සේ රිදී පැහැයෙන් යුත් බුද්ධ රශ්මි මාලා විහිදුවා පෙළහර පෑ සේක.

මෙම අවස්ථාවේ දී සගමොක් සුවය පතන ජනතාවට සර්වඥයන් වහන්සේගේ උතුම් දළදා වහන්සේ විසිතුරු රුවන් කරඬුවෙන් පිටතට ගෙන මහපෙරහරින් අභයගිරි මහා විහාරයට දළදා වහන්සේ වැඩමවා දින අනූවක් තිස්සේ බොහෝ දෙනාට ප්‍රදර්ශනය කරවා අනාගතයෙහි ද එසේ පූජා කරන ලෙස දළදා සිරිත් ලේඛනයක් ද ලියවා තැබීය.

පොලොන්නරුවේ රජ පැමිණි මහාපරාක්‍රමබාහු මහරජතුමා ගේ උපදෙසින් කීර්ති අධිකාරි හා භූතාධිකාරි යන සෙන්පතියන් සියලු බලසෙන් සමඟ එක්ව, ගොස් උරුවෙල් දනව්වේ සැඟව සිටි සුගලා රැජිණ පරදවා දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ ගෙන මංජු සෙනෙවි සමඟ රජු වෙත එවූ කල්හි රජතුමා ධාතු යුග්මය දැකීමට ලැබීම සිය ජීවිතයේ ලත් මහත් භාග්‍යයක් කොට සලකා අමා රස දහරින් නැහැවූවකු සේ සුවඳ පැනින් ස්නානය කොට පිරිසුදු වී විසිතුරු රාජාභරණයෙන් සැරසී පෙර ගමන් කළේ ය. තමන් වෙත වැඩම වූ ධාතු යුග්මය දැක ජීවමාන බුදුරජාණන් වහන්සේ දුටුවාක් මෙන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔදවැඩී ගොස් නන්විධ රත්නයෙන් හා සුවඳ කුසුමින්, සුවඳ දූපයෙන් හා දැල්වූ පහනින් පිදී ය. අනතුරුව රජතුමා දළදා වහන්සේ හිසින් දරාගෙන තමන් සමඟ පැමිණ සිටි සියල්ලන්ටම ධාතුන් වහන්සේ සියැසින් දැක බලා වන්දනාමාන පුද සත්කාර සිදුකළේ ය. දළදා වහන්සේගේ උත්තරීතර ගුණ සමුදාය ප්‍රකාශ කෙරෙමින් අනෙක් සියල්ලන් ලවා ද නොයෙක් පූජාවෙන් පූජා කරවීය.

තුන්වැනි විජයබාහු රජුට පසුව රජ වූ ඔහු පුත් දෙවන පරාක්‍රමබාහු ස්වකීය රාජ මන්දිරය සමීපයෙහි ම දන්ත ධාතු මන්දිරයක් කරවීය. ඉන්පසු දළදාගෙයි සිට මුළු පුරය අලංකාර ලෙස සරසා දළදා මහා පූජාවක් කොට දන්ත ධාතුන් වහන්සේ ස්වකීය හස්තය නැමති පද්මයේ තබාගෙන මහා සංඝයා වහන්සේ මධ්‍යයේ සත්‍යක්‍රියා කොට දෙමළ මාඝ, ජයබාහු ආදින් පරදවා ලෝක ශාසනය නඟන්නට හැකි වේවා'යි, ප්‍රාර්ථනා කොට ප්‍රාතිහාර්යයක් දක්වන්නේ නම් මැනවැයි කියා සිතීය. එකණෙහි දන්ත ධාතුන් වහන්සේ හස්ත පද්මයෙන් අහසට පැනනැඟී, බුදුරුවක් මවා, සවණක් ගණ බුදුරැස් විහිදුවා සියලු පුරය බබළවා යළි රජතුමාගේ දෑතෙහි ම වැඩසිටි සේක. ධාතුන් වහන්සේගේ මෙම අද්භූත ප්‍රාතිහාර්යය දුටු මහජනයා ද සාධු නාදයෙන් පිදූහ.

එතුමා පියරජු විසින් කරවූ විජේසුන්දරාරාමය විහාරයෙහි තෙමහල් දා ගෙයක් කරවා විසිතුරු පළගෙක දළදා වහන්සේ තැන්පත් කරවා සත් දිනක් තිස්සේ මහත් පූජා පැවැත්වූයේ ය. එම වෙහෙරේ දී දළදා වහන්සේ අහසට පැනනැඟී සවණක් ගණ බුදුරැස් විහිදුවා ලූ සේක.

සෙංකඩගල පුර රජ පැමිණි ශ්‍රී විජයරාජසිංහ රජතුමා පිළිවෙලින් ඇතුළු කරඬුව හැර දන්ත ධාතුන් වහන්සේ දැක මහත් ප්‍රීතියට පැමිණ දළදා මාලිගාව දිව්‍ය විමානයක් සේ සරසවා, නගරය පිරිසිදු කරවා සකස් කොට සුදුවැලි ඉස දළදා මන්දිරය හා නගරය වටා තොරණ බැඳවීය. රිදී කුඩයෙන් ද, රන් කරඬුවෙන් ද, සෙමර පෙලින් ද, නා නා විධ පුෂ්පයෙන් ද, මිණිමුතු ආදි ආභරණයෙන් ද, පංචතූර්ය නාදයෙන් ද පිටත මණ්ඩපයකට වැඩමවා තම හස්තය නමැති පද්මයට දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ වැඩමවා ගෙන සියලු දෙනාට ප්‍රදර්ශනය කොට ප්‍රීති ප්‍රමෝදයට පත් කළේ ය. උතුම් දන්ත ධාතුන් වහන්සේ අවට සිටි ජන සමූහයාට ප්‍රදර්ශනය කරවීමෙන් අනතුරුව යළි ගන්ධ කුටියට වැඩමවා තැන්පත් කළේ ය.

අනතුරුව රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා මිණිමුතු බඳවා නිම කරවා එය ඇතුළත තැබීමට තවත් කරඬු දෙකක් කරවීමෙන් ද, විමලධර්මසූරිය රජතුමා විසින් කළ මහ කරඬුව රන් ආලේප කිරීමෙන් ද පසුව ලක්වැසියනට දළදා වහන්සේ සියැසින් දැක බලා වන්දනා මාන කිරීම සඳහා කටයුතු කළේ ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ශ්‍රී ලංකාවට ස්‍යාමොපසම්පදාව වැඩම වූ උපාලි මහතෙරුන් වහන්සේ ඇතුළු පිරිස ද, ලක්දිව නවක සාමණේර ආදි සියලු භික්ෂූන් වහන්සේ ද රැස් කරවා නගරය දිව්‍ය විමානයක් සේ සරසා නොයෙක් පූජා වස්තුවෙන් දළදාව පුදා සියැසින් දැක බලා වන්දනා මාන කිරීමේ මහා පූජෝත්සවයන් සිදු කළේ ය.

1818 මාර්තු මාසය වනවිට සබරගමුව පහළ පෙදෙස, තුන්කෝරළය, සතර කෝරළය, උඩුනුවර යටිනුවර හැරුණු විට මුළු උඩරට ප්‍රදේශයේ ම වාගේ පැතිර ගියේ ය. කැරැල්ලේ උච්චතම අවස්ථාව එළඹියේ වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමි මහනුවර දළදා මාලිගාවෙන් අති උත්තම දළදා වහන්සේ සඟවාගෙන හේවායන් දෙදෙනකු මඟින් කැරැල්ලේ නායක කැප්පෙටිපොල නිලමේ වෙත යැවීමෙනි. කැප්පෙටිපොල නිලමේතුමා හඟුරන්කෙත දී යුද බිමට රැස්ව සිටි මහ පිරිස අමතා කුරුණියක් පෙන්වා, මහනුවර සිට පැමිණි හේවායන් දෙදෙනකු විසින් එහි තුළ තැන්පත් කොට දළදා වහන්සේ ගෙනැවිත් ඇති බව දන්වා රැස්ව සිටි පිරිසට දළදා වහන්සේ ප්‍රදර්ශනය කරවා සටනේ ජයග්‍රහණය නියත බව ප්‍රකාශ කළේ ය. අවට රැස්ව සිටි මහ පිරිස සාධුකාරයෙන් ජයගෝෂා පැවැත්වූහ. ක්‍රි. ව. 1815 න් පසු ඇරඹුණු සිංහලේ පළමු නිදහස් සටන කෙරෙහි ජනතාව එක්සත් කරවීමට මෙකී දළදා ප්‍රදර්ශනය හේතුකාරක විය. පසුව මෙම සටන පරාජය ලැබූයේ වී නමුදු නිදහස් සටන කෙරෙහි ජනතාව එක්රොක් කරවීමට දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම බලවත් හේතු සාධකයක් විය.

එක්දාස් අටසිය විසි අටවැන්නේ මැයි මස 29 වැනි දා ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමාගේ නිල කාලයෙහි දෙහිගම ලොකුබණ්ඩා දියවඩන නිලමේතුමා දියවඩන නිලය කරවන කාලයෙහි ශ්‍රී දන්ත ධාතු මන්දිරය අබියස මහමළුවේ දී අති උත්තම ශ්‍රී දළදා වහන්සේ අවසන් වරට ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙන් පිටතට වඩමවා දැක්වීම සිදුවිය.

රන් කරඬුව විවෘත කරවා පළමුව ආණ්ඩුකාරයා ප්‍රමුඛ පිරිසට දක්වා දින හතක් තිස්සේ සන්සුන් ව රිසි පරිදි මහජනතාවට වන්දනා කිරීමට අවකාශය සලසා දුන්හ. සත්දින අවසානයේ දළදා වහන්සේ නැවතත් රන් කරඬුව තුළ තැන්පත් කොට දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගාවේ උඩමාලයේ ගන්ධ කුටියේ තැන්පත් කරන ලදී. මෙම අතිපූජනීය දළදා වන්දනා පූජෝත්සවය අවසානයේ ප්‍රාතිහාර්යයකින් මෙන් මහවැසි ඇදහැලී ඇළදොළ පිරී මහා ගංවතුරක් ගැලූ බව පැවසේ.

දළදා වතුර නමින් රචනා වූ කාව්‍යයෙන් මෙම ගං වතුර ගැන විස්තර කෙරේ. 1828 ට පසු යළි කිසිම විටෙක දළදා වහන්සේ වැඩහිටින දළදා මාලිගාවෙන් පිටතට වැඩමවීමක් සිදු නොවීය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]