[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අභිමානවත් දේශයක මහානීය උරුමය සිරි දළදා පෙරහර

අභිමානවත් දේශයක මහානීය උරුමය සිරි දළදා පෙරහර

මහනුවර දළදා පෙරහර ආගමත්, කලාවත්, දේශපාලන බලයත් මනාව සංයෝග කරන මහෝත්සවයකි. මේ අනුව පළමුව එය ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් බුදුන් වහන්සේටත්, දළදා වහන්සේටත්, දෙවි දේවතාවන්ටත් දක්වන අප්‍රමාණ ගෞරවයත්, ශ්‍රද්ධාවත්, භක්තියත් හෙළි කරයි.

දෙවනුව එය පාරම්පරික කලාකරුවන්ගේ කලා කුසලතා උත්කර්ෂවත් ආකාරයෙන් පෙන්නුම් කරන ලද්දකි. බොහෝ කාලයක සිට උඩරට පෙදෙසේ ගුරුකුල වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන එන නැටුම්, ගැයුම්, වැයුම් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

රජතුමාගේ රාජධානියට අයත් විවිධ කොට්ඨාස පාලනය කරන දිසාවේවරු හා භික්ෂු නිළමේවරු මෙදාට මහනුවරට අයත් පෙරහරේ ගමන් කරමින් සිය රාජපාක්ෂිකභාවය දක්වති. මේ සඳහා ඒ ඒ පළාත්වලට අයිති කොඩි මෙහි දී ප්‍රදර්ශනය කෙරේ.

සිව්වනුව එය වැස්ස අනුකරණය කරයි. වැස්ස ලබා ගැනීමට නම් වැස්ස අනුකරණය කළ යුතු යැයි පැරැන්නෝ සිතූහ. වැසි වැසීමට පෙර හෙණ ගැසීම්, විදුලි කෙටීම්, වැහි වළාකුළු ආදිය මේ පෙරහරේ දක්නට ලැබෙයි. වැසි වැටීමට පෙර හෙණ ගැසීම් සංකේතවත් කරන්නේ කසකරුවන් ය. අනතුරුව එන පන්දම්කාරයන්ගේ පන්දම්වල එළිය අඩු වැඩි වීම විහිදෙන විදුලියට සමාන එළියකි. අඳුරු පැහැති වළාකුළු අහස පුරා පැතිර යයි. පෙරහරේ හිමින් සීරුවේ ගමන් කරන ඇත් පෙළ වැසි වළාකුළු වැන්න. වැසි වලාකුළු වැඩි වූ තරමට වැසි ද වැඩි වේ. අලි ඇතුන් ද වැඩිවන තරමට පෙරහරේ අසිරිය වැඩි වේ.

කන්ද උඩරට පෙරහර ආරම්භ වන්නේ ඇසළ මහේ දී සුබ නැකැත් බලා ය. මේ හැම පෙරහරක් ම ආරම්භ වන්නේ සුබ මොහොතකිනි. මේ සුබ නැකැත් වෙලාවන් දක්වා සිටින්නේ දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසිනි. ඔහු ද රජතුමා විසින් පත් කරනු ලැබුවෙකි. මේ අනුව පෙරහර සමය ආරම්භ වන්නේ කප් සිටුවීම නම් චාම් උත්සවයකිනි. පෙරහර සාර්ථක ව පවත්වා ගන්නට දෙවි දේවතාවන්ගේ ආශිර්වාද ලබා ගැනීමට භාරහාර වීම කප් සිටුවීමේ අරමුණයි. මෙය සිදු කරනු ලබන්නේ ඇසළ මස අමාවක පෝය දා එළඹෙන සුබ නැකතකට ය. එදාට සතර දේවාලයේ කපු මහත්වරු කිරි ගසක් වන කොස් ගසක් වෙතට ගොස් ඒ වටා සුද්ධ පවිත්‍ර කරවා, පහන් දල්වා, සුවඳ දුම් අල්ලා එහි අත්තක් කපන්නට සූදානම් වෙයි. ඒ අත්ත කැපීමේ වගකීම පැවරෙන්නේ විෂ්ණු දේවාලයේ කපු මහතාටයි. මේ කපු මහතා ඉස් සෝදා නා පිරිසුදු වී, සුදුවතින් සැරසී, හොඳට මේරූ කොස් අත්තක් සතරට කපා දේවාල සතරට භාර දෙයි. කපු මහත්වරු ඒ කොටස් තම තමන්ගේ දේවාලවලට හේවිසි හඬ මැද්දේ ගෙන ගොස් සිටුවති. මේ සිටුවන කපෙන් ද සියල්ල ඉටු වනු ඇත.

දළදා පෙරහර දවස් දහයක් තුළ පැවැත්වේ. මුල් දවස් පහේ පවත්වන පෙරහර කුඹල් පෙරහර නම් වේ. මීට කුඹල් පෙරහර යැයි කියන්නේ මේ පෙරහර යන්නේ දේවාල වටා පමණක් බැවින් එය කුඹලා නැමති සතා ඉයහුඹස වටා යන ගමනට සමාන යැයි සිතා විය හැකි ය.

ඉන් පසුව එන්නේ රන්දෝලි පෙරහරයි. රන්දෝලි යනු දේවාලවලට අයත් දෝලා යි. ඒ දේවාලවලට අයත් රන් කෙණ්ඩි, රන් කඩු මේවායෙහි ගෙන යනු ලැබේ. රන්දෝලිය යන්නෙන් රජුගේ අග බිසොවුන් හැඟවුණු නිසා එදා මේ දෝලා සමඟ රජ කුමාරියන් ද, වෙනත් ආර්යාවන් ද ගිය බවත් කියැවේ. මේ අලි ඇතුන් අතුරින් මහේශාඛ්‍ය හස්තියා සැලකෙන්නේ දළදා කරඬුව හෙවත් රන්සිවී ගෙන යන හස්තියා ය. තමා කෙරෙහි පැවරී ඇති වගකීම් තේරුම් ගත්තා සේ මාලිගාවේ ඇතා ද මහත් අභිමානයෙන්, සුදු පාවඩ මතින්, උඩුවියන් යටින් ගමන් කරයි. මාලිගාවේ ඇතාට අමතර ව තවත් ඇත්තු සතර දෙනෙක් දේවාභරණ සහිත කරඬු වඩමවාගෙන පෙරහරේ යති. ඒ සතර දේවාලවලට අයත් ඇත්තු ය. මාලිගාවේ පෙරහර වැඩමවන කරඬුව දෙපසින් තවත් ඇත්තු දෙදෙනෙක් ගමන් කරති. ඒ ඇතුන් පිට සිටින්නෝ කරඬුවට මල් ඉසිමින් යති. තවත් සමහරු ඇතුන් පිට යන්නේ පෙරහර හා සම්බන්ධ විශේෂ වැඩ කටයුතු භාර නිළමේලා ය. පෙරහරේ මුලින් ම යන්නේ පෙරමුණේ රාළයි. ඔහුගේ දෑතෙහි පුස්කොළ පොතකි. එය ලේකම් මිටිය නමින් හැඳීන්වෙයි. දළදා මාලිගාවේ රාජකාරි ගැන විස්තරයක්, පෙරහර කළ යුතු ආකාරය ගැන විස්තරයක් එහි ලියා තිබේ.

දෙවනුව යන්නේ ගජනායක නිළමේ රැගත් ඇතා ය. ගජ යනු ඇතාට කියන තවත් නමකි. රජ වාසල ඇතුන් භාරව සිටින මේ නිලධාරියා ඇතු පිට යන්නේ දෑතින් ගත් අංකුසයක් හෙවත් හෙණ්ඩුවක් ඇතිව ය. අලි ඇතුන් හසුරවන්නේ හෙණ්ඩුවේ ආධාරයෙනි. පෙරහර රැගෙන යන සෑම ඇතෙකු ම ඉතා අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසවනු ලැබෙති. මේ ඇත්තුන්ට ද වෙන වෙන ම නම් භාවිත කරනු ලැබේ. මෙම පෙරහරේ දේවාල පෙරහර ද පිළිවෙළකට ගමන් කරයි. එනම් පළමුව නාථ දේවාල පෙරහර ද, දෙවනුව විෂ්ණු දේවාල පෙරහර ද, තෙවනුව කතරගම දේවාල පෙරහර ද අවසානයේ පත්තිනි දේවාල පෙරහර ද ගමන් කරයි. අවසන් දින රාත්‍රියේ පෙරහර සියලුම වීදි ගමන් කර අවසානයේ මාලිගාවට කරඬුව වැඩමවා මධ්‍යම රාත්‍රියෙන් පසුව නැවත සුබ මොහොතින් පෙරහර ආරම්භ වී ගෙඩිගේ විහාරය දක්වා ගමන් කර එහි කරඬුව තැන්පත් කර දිය කැපීම සඳහා දේවාල සතර, රන් කඩු සහ රන් කළය පෙරහරේ ගමන් කර මහවැලි ගඟ දෙසට ගමන් කරයි.

අත්‍යාලංකාර ලෙස සරසන ඔරුවක නැඟී දේවාල හතරේ කපු රාළවරු සතර දෙනා සහ අතවැසි සතර දෙනාත් ගමන් කරති. අරුණෝදය එළඹුණු විගස කපුරාළලා හතර දෙනා දිය කපයි. අතවැසියන් පෙර වර්ෂයේ ජලය පිරි රන් කළ හිස් කොට දිය කැපූ තැනින් ජලය පුරවා ගනිති. නැවත සතර දේවාල පෙරහර ගෙඩිගේ විහාරයට පැමිණ පෙරහර කරඬුවට ඒ කළ යුතු සියලු ආවතේවා සිදු කරනු ලබයි. පසුදින මධ්‍යම දහවල ගෙඩිගේ විහාරය සිට මාලිගාවට සුබ මොහොතින් සියලු දේවාල සමඟ පෙරහර ගමන් කරනු ලබයි. මාලිගාවේ පෙරහර කරඬුව මාලිගාවට වැඩම කිරීමෙන් පසුව ඒ ඒ දේවාලවල පෙරහර එම දේවාලවලට ගමන් කරයි.

මේ අනුව පෙරහර සමය අවසාන වන්නේත් එක්තරා සාම්ප්‍රදායික මංගල්‍යයකිනි. එය හැඳීන්වෙන්නේ වලියක් මංගල්‍යය නමිනි. මෙය පවත්වනු ලබන්නේ විෂ්ණු දේවාල භූමියෙහි ය. මෙය සතියක් මුළුල්ලෙහි පැවැත්වේ. පෙරහරේ ගිය නිළමේලා ඇතුළු සෑම දෙනා ම මෙයට සහභාගි වෙති. මෙම මංගල්‍යය පවත්වනු ලබන්නේ පෙරහර පැවැත්වීමේ දී යම් කිසි අත්වැරැද්දක් නිසා දෙවි දේවතාවන්ගේ සිත් රිදුණේ නම් ඊට සමාව ගැනීම ද, ඇස්වහ කටවහ ආදී වස් දොස් දුරු කර ගැනීම ද අරමුණු කොට ගෙන ය. වලියක් මංගල්‍යය අවසන් වනවාත් සමඟ ම ඇසළ පෙරහර සමය ද නිමාවට පත් වෙයි.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]