[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුද්ගල චර්යාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම

පුද්ගල චර්යාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම

මනෝවිද්‍යාත්මක ආචාරධර්ම පිළිබඳ අධ්‍යයනයේ දී පුද්ගලයාගේ චරිතය සංවිධානය පිළිබඳ ව සහ එහි මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබඳ ව හඳුනාගැනීම වැදගත් වේ. එයට හේතුව ආචාරාත්මක ශික්ෂණය උදෙසා පුද්ගල චර්යාවන්හි ක්‍රියාකාරීත්වය ඍජුව ම බලපානු ලැබීම ය. පුද්ගලයාගේ කායික, වාචසික, මානසික චර්යා රටා සඳහා බලපාන සාධක අතර පහත සාධක ප්‍රධාන තැනක් ගනී.

මානසික ක්‍රියාකාරීත්වය, පුද්ගල ස්වභාවය හා පාරිසරික සාධකයි. මෙම චර්යාවන්ගේ ස්වභාවය අනුව පුද්ගල සමාජ යහපැවැත්ම සහ පුද්ගල සමාජ ප්‍රගතිය තීරණය වේ. සමාජයේ ආචාරධර්ම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක දී මානසික ස්වභාවයේ සහ මානසික ලක්ෂණ සහ මනසේ ක්‍රියාකාරීත්වය විග්‍රහ කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ පුද්ගල මානසික චර්යා රටා අතර සාපේක්ෂ ව සම්බන්ධයක් පවතින නිසා ය. ඒ අනුව මානසික ක්‍රියාකාරීත්වය පුද්ගල චර්යා රටා සඳහා ද, පුද්ගල චර්යා රටා මානසික තත්ත්වයන් කෙරෙහි ද බලපාන බව බෞද්ධ ඉගැන්වීම් වේ.

සාමාන්‍යයෙන් බාහිරින් දකින පුද්ගලයකුගේ හැසිරීම් රටාව මඟින් ඔහුගේ ස්වාභාවය යම් පමණකට තේරුම් ගත හැකි වේ. පුද්ගල චර්යා රටා සඳහා බලපාන මානසික පදනම සලකා බැලීමේ දී මනස පිළිබඳ දෙයාකාරයක විශ්ලේෂණයක් ඇත. එනම් චිත්ත, මනෝ, විඤ්ඤාණ ඇසුරින් විග්‍රහ කිරීම හා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤා ඔස්සේ මනසේ ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කිරීම ය.

චිත්ත, මමෝ විඤ්ඤාණ යනු පුද්ගල චර්යා විෂයයෙහි බලපාන අතිශය සූක්ෂ්ම වූ ද, එකිනෙකට සාපේක්ෂ ව මනස තුළ ක්‍රියාත්මක වන ස්තර තුනක් ලෙස හඳුනාගත හැකි ය. එය පුද්ගලයාගේ අතීත හා වර්තමාන අත්දැකීම්වල එකතුවෙන් සෑදුනකි. පුද්ගල මනසේ ඉතා සංකීර්ණ සහ සියුම් ම කොටස විඤ්ඤාණය වේ. එය ශක්ති සම්මවායකි. මෙම අභ්‍යන්තරික කොටසට බලපානුයේ අනුසය ලෙසින් දක්වා ඇති ආශ්‍රයයි. ඒ ඇසුරින් ගොඩනැඟෙන ශක්ති නාමය විඤ්ඤාණ ක්‍රියාකාරීත්වය නම් වේ. මේ සඳහා බලපාන ප්‍රමුඛතම සාධකය වන්නේ තෘෂ්ණාව වේ. එනම් කිසියම් වස්තුවක් අත්පත් කර ගැනීමට සහ එහි අයිතිය පවත්වා ගෙන යෑමට පුද්ගලයා තුළ පවතින ආශාව වේ.

විඤ්ඤාණික ක්‍රියාකාරීත්වය සඳහා බලපාන ප්‍රධානතම සාධකය තෘෂ්ණාව වන අතර, එය පුද්ගල මනසේ ද්විතීයික ස්ථාවරය ලෙස හැඳින්විය හැකි ය. මනෝ යන්නෙන් ශක්ති සංයුත්තයක් යන්න අරුත් ගැන්වේ. පුද්ගලත්වය නිර්මාණ වීමට බලපාන ප්‍රධානතම සාධකය වන්නේ මනෝ යන්න ය.

“මනෝ පුබ්බං ගමා ධම්මා,

මනෝ පදුසික දේවා,

මනෝ පටිසරණ,

මනෝ යොත්තං

ලෙස චේතනාත්මක අර්ථයකින් දැක්වෙන අවස්ථාවල දී මනෝ යන්න පුද්ගල ආත්මීයත්වය සංවර්ධනය සඳහා ඉවහල් වන සාධකයක් ලෙස ගැනේ. මෙය උපාදාන හෙවත් කිසියම් වස්තුවක් දැඩි ව ග්‍රහණය කර ගැනීමේ පුද්ගල ක්‍රියාකාරීත්වය සඳහා බලපානු ලැබේ. එනම් එය පුද්ගල චර්යාව කෙරෙහි බලපාන දෙවන සාධකය වේ.

මනසේ තෙවන ස්තරය චිත්ත නම් වේ. එය මනසෙහි මතුපිට සාධකය වන අතර, මේ ඍජුව ම පුද්ගල චර්යාවට සම්බන්ධ වේ. එමෙන්ම මෙය ඉන්ද්‍රියානුභූතියට බලපාන අතර,

“චිත්තේන නියතී ලෝකෝ

පස්ස චිත්තකතං බිම්බං

චිත්ත සංඛාර

කාමරාගෙන චිත්තං මෙ....”

යන අවස්ථාවන් තුළ දී සිතෙහි මතුපිට ස්වභාවය පිළිබඳ ව කියැවේ. සරල ව චිත්ත යනු සිතිවිලිවල එකතුවකි. ඒ අනුව සිත නැතහොත් පුද්ගල මනස යනු අභෞතික බලවේගයකි. ඒ අනුව සිත තුළ ම පවතින සාධක හා බාහිර සාධක යන දෙයංශයෙහි ම බලපෑම මත ක්‍රියාත්මක වන තත්ත්වයකි.

බෞද්ධ පංචස්කන්ධ විභාගයේ දී මනසට සම්බන්ධ ව ක්‍රියාකාරීත්වයන් හතරක් ගැන අවධාරණය කෙරේ. එනම්,

වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ යන්න ය.

මේ තුළින් විග්‍රහ වන්නේ සිතෙහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වේ. ඉන්ද්‍රිය සංජානන ක්‍රියාකාරීත්වයේ දී ගොඩනැඟෙන බලවේගය වන්නේ විඤ්ඤාණය වේ. විඤ්ඤානය යනු නාම රූප ලෙස සිතෙහි ගොඩනැඟෙන මානසික හා භෞතික සංයුතීන් ඒකරාශී කරවන බලවේගය වේ.

සංඛාර යනු ඉන්ද්‍රියානුභූතිය තුළින් ග්‍රහණය කර ගන්නා ලද වස්තුන් සංකල්පීයකරණයට ලක්කරන ක්‍රියාකාරීත්වය වේ. සංඥා යනු ඉන්ද්‍රියානුභූතික වස්තුන් හඳුනා ගැනීම වේ. වේදනා යනු පුද්ගල වින්දනය හා සම්බන්ධ වන මානසික ක්‍රියාකාරීත්වය වේ. එනම් ඍජුව ම කායික, මානසික, වාචසික චර්යාවන්ට පහත සාධක බලපානු ලැබේ.

පුද්ගල මතකය, වින්දන හා ඒ ආශි‍්‍රත ව ගොඩනැඟෙන සංවේදී පුද්ගල ක්‍රියාකාරීත්වයන්, සංකල්ප ගොඩනැඟීම හා දිගුකාලීන මතකයට පදනම් වන මානසික ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය වේ.

විඤ්ඤාණික ක්‍රියාකාරීත්වය සියලු කරුණුවල පදනම වේ. එමෙන් ම එය සාපේක්ෂතාව හා පටිච්චසමුප්පාදය පදනම් කොටගෙන ගොඩනැඟූ බලවේගයකි. එය පංචස්කන්ධයන්ගේ ද සිතෙහි විවිධ ස්තරයන්ගේ ද, ඉන්ද්‍රිය සංධාන ක්‍රියාවලියේ ද, පුද්ගල චර්යාවන්ගේ ද පදනම වේ.

පුද්ගල චර්යා සමාජයට හා පුද්ගලයාට සාපේක්ෂ ව කොටස් හතරකට වර්ග කළ හැකි ය.

පුද්ගල සමාජයේ යහපැවැත්මට අහිතකර චර්යා (පාප), පුද්ගල සමාජ යහ පැවැත්මට හිතකර චර්යා (පුඤ්ඤ) හා පුද්ගල සමාජ ප්‍රගතියට ඉවහල් නොවන චර්යා ( අකුසල) ය.

සංයුක්ත නිකායේ ජනපද කල්‍යාණි සූත්‍රයේ දී සුඛකාමී අරමුණු ගවේෂණය ප්‍රධාන පුද්ගල ස්වභාවයක් බව සඳහන් වේ. මේ සඳහා ප්‍රධාන සාධකය තණ්හාව වේ. සමස්ත සිතිවිලිවල න්‍යෂ්ටිය එය වේ. ඒ අනුසාරයෙන් සියලු සිතිවිලි ජීවය ලබයි.

දීඝ නිකායේ දසුත්තර සූත්‍රය තුළ පුද්ගල සමාජ සුගතියට ඉවහල් නොවන චර්යා සඳහා ලෝභ, දෝෂ, මෝහ ඉවහල් වන බව සඳහන් වේ. යමක් අත්පත් කර ගැනීම, එය පවත්වා ගෙන යාම, පරිහරණය, ආරක්ෂා කර ගැනීම, ප්‍රතික්ෂේප කිරීම, ආක්‍රමණයට පෙළඹීම ආදිය සිත ව්‍යාකූලත්වයට නැඹුරු කරවන සිතිවිලි විශේෂයක් බව දැක්වේ.

අංගුත්තර නිකායේ උපක්කිලේස සූත්‍රයේ දී සිතෙහි ප්‍රකෘති ස්වභාවය ආවරණය කරන සිතිවිලි සහ පංචනීවරණ ලෙස දක්වා ඇත. පුද්ගල චර්යා විවිධත්වය මෙන් ම මානසික ගැටලු හා මනෝ රෝග සඳහා මෙම සිතුවිලි බලපා ඇත. පුද්ගලයා විෂයානු බද්ධ ව වස්තුන් සංජානනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ සමාජ ගැටලු ඇති වේ. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී නිසි ලෙස පුද්ගල චර්යා හැසිරවීමට බාධා ඇති කරනු ලැබේ. මෙය ආචාර ධර්ම කෙරෙහි ඍජුව ම බලපාන අතර, පුද්ගල චර්යා හසුරුවනු ලබන සංස්කෘතික, පාරිසරික, ආගමික හා සදාචාරාත්මක සාධක නොසලකා හරිනුයේ මානසික ලෙස ව්‍යාකූලත්වයට පත් වූ විට ය.

මේ අනුව අවසාන ලෙස බෞද්ධ මනෝවිද්‍යාත්මක ආචාර්ය ධර්මවල පදනම සඳහා පුද්ගල චර්යාව විවිධත්වය පදනම් වන බව සඳහන් කළ හැකි ය. පුද්ගල චර්යාව ද අත්පත් කර ගත් චර්යා හා උරුමයෙන් ලද චර්යා ලෙස කොටස් දෙකකි. බුදුසමයාගත ඉගැන්වීම් තුළින් ආචාරාත්මක ශික්ෂණයක් කරා පුද්ගල මනස සංස්කරණයට ලක්වන ආකාරය මැනවින් උගත හැකි ය.

නිකිණි පුර අටවක

අගෝස්තු 01 සිකුරාදා පූ.භා. 05.00 පුර අටවක ලබා 02 සෙනසුරාදා පූ.භා.07.25න් ගෙවේ.
01 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]