නිකිණි පුර
අටවක පෝ දා 2025-08-01
ධර්මයේ රැකවරණය ලැබීමට
උපාසක, උපාසිකා යන නාමය බෞද්ධයාට ආභරණයකි. ඒ නාමය හිමි
වන්නේ සැබෑ බෞද්ධයාට ය. එක් අවස්ථාවක භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ මහානාම නම් ශාඛ්‍යයාට දේශනා කොට වදාළේ
“යතෝඛෝ මහානාම බුද්ධං සරණං ගතො හෝති ධම්මං සරණං ගතෝ හෝති
සංඝං සරණං ගතො හෝති එත්තාවතා කෝ මහානාම උපාසකෝ හෝති”
යනුවෙන් යම් පුද්ගලයෙක් බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ
රත්නයේ ගුණ දැනගෙන ශ්‍රද්ධාවෙන් එම ත්‍රිවිධ රත්නය සරණ යයි ද
ඔහුට උපාසක යන ගෞරවණීය නාමය අර්ථාන්විත ව ආරෝපණය වන බව ය.
උපාසිකා යන නාමය ද එසේ ය.
යම් කාන්තාවක් එලෙස ම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යන්නී ද ඇය
උපාසිකා නම් වන ගෞරවණීය නාමයට සුදුසු වන්නී ය.
මෙසේ තිසරණ සරණ ගිය පුද්ගලයා දහම් මඟ මිස ඇදැහැමි මඟ නොයයි.
යමක් කියන්නට කරන්නට පෙර බෞද්ධයා එය තමන්ට අනර්ථ වන්නේ ද,
අනුන්ට අනර්ථ වන්නේ ද, තමන්ටත්, අනුන්ටත් අනර්ථ වන්නේ ද යන්න
නුවණින් විමසයි. යම් දෙයක් පිළිබඳ මෙය අකුසල් සහිත ය, මෙය
වැරැදි ය, මෙය අහිත පිණිස ය, දුක් පිණිස ම වන්නේ යැයි නුවණින්
විමසා එයින් දුරින් ම දුරුවෙයි.
එසේම යම් දෙයක් පිළිබඳ මෙය නිවැරැදි ය. මෙය හිත පිණිස ය,
සැප පිණිස පවතින්නේ ය යනුවෙන් විමසා දැන ඒ මඟ ගනියි.
ජීවිතය පවත්වා ගත යුතු සදාචාර පදනමක පිහිටා ය. තමන්ගේ චර්යා
රටාව සාවද්‍ය වූයේ නම් එය මෙලොව ජීවිතයත් පරිහානියට පත්කොට,
පරලොව ද අගතිගාමී කරයි. සැබෑ බෞද්ධයා දහම් මඟට පිවිසෙන්නේ
විචාරශීලිව ය. අවිචාරවත් ව නොවේ. යම් දහම් ග්‍රන්ථයක තිබූ
පමණින්, යම් දේශකයකුගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ පමණින්
පිළිගැනීම බෞද්ධයාගේ ස්වභාවය නොවේ. ප්‍රඥාවෙන් විමසා තමන්ට
නොතේරෙන ස්වභාවයක් වේ නම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ සමඟ
සාකච්ඡා කොට ගැටලු නිරාකරණය කර ගනිමින් දහම් මඟට පිවිසේ.
සම්බුද්ධ දේශනා අර්ථ විකෘති කොට, සම්බුදු උපත ගැන පවා
අවිචාරවත් මත ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යවන පාපකාරී
පුද්ගලයන්ගේ වංචනික සටකපටකම්වලට සැබෑ බෞද්ධයා ගොදුරු නොවේ..
එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ කොසොල් රට කාලාම නම් ගමට වැඩම
කළ සේක. එහිදී කාලාම නම් ක්ෂත්‍රියයා විවිධ ශ්‍රමණ
බ්‍රාහ්මණයන්, ශාස්තෘවරුන් පළකළ අදහස් පිළිබඳ විමසීය. එහිදී
බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට වදාළ ලෙස සමාජගත අදහසක්
පිළිගැනීමේ හා නොපිළිගැනීමේ අයිතිය ඇත්තේ තමාට ම ය. ඇසූ
පමණින්, පරපුරෙන් පරපුරට ආ පමණින්, තර්කයට. න්‍යායට අනුකූල
බැවින්, තමන්ගේ දර්ශනයට සමාන යැයි සැලකීමෙන්, දේශකයාගේ නමට,
තත්ත්වයට ගරු කිරීමෙන් ධර්මය නොපිළිගත යුතු බව ය.
මේ බුදුදහමේ විවෘත චින්තන පිළිවෙතයි. ධර්මය ලෙසින් අධර්මය
පතුරවා හරින මෙවැනි කාලයක බෞද්ධයා නිවැරැදි දහම තෝරා බේරා
ගන්නට විචාරශීලි විය යුතු ම ය. නැතහොත් සිදු වන රැවටීම ජීවිතයට
විශාල බලපෑමක් සිදු කරනු ඇත. අනාගත පරපුර ද මුලාවේ වැටෙනු ඇත. |