[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රියමනාප ජීවිතයක අගය

ප්‍රියමනාප ජීවිතයක අගය

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩ වාසය කරන විට මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ විමසා සිටියා ය.

“භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ඇතැම් කාන්තාවන් දුර්වර්ණ වෙයි. විරූපී, ළාමක, දිළිඳු, වූවාහු අල්පේශාක්‍ය වෙයි. එයට හේතු කවරේද?”

“එසේම ඇතැම් කාන්තාවන් රූප සම්පත්තියෙන් ද විශිෂ්ට යි. දුටුවන් පැහැදීමක් ද ඇති කරයි. මහත් වූ ධන සම්පත් හා මහේශාක්‍ය සම්පත්තියෙන් ද යුක්තයි. මෙයට හේතු කවරේද?” යනුවෙනි.

තථාගතයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ. “මල්ලිකාවෙනි, මේ ලෝකයෙහි ඇතැම් කාන්තාවන් සුළු දෙයකින් පවා කිපීමට ලක්වේ නම්, ගැටෙයි නම්, කෝපය ද්වේෂය පහළ කරන්නී නම්, මහණ බමුණු කෙනකුට මල් සුවඳ, ප්‍රදීප නොදෙන්නී නම්, ඊර්ෂ්‍යාවෙන් යුක්ත වේ නම්, අන්‍යයන්ගේ ලාභ සත්කාර පූජාවන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නී නම් සේ වූ කාන්තාව යම් තැනක උප්පත්තිය ලබන්නී ද ඇය දුර්වර්ණ වන්නී ය. සියලු සම්පත්තීන්ගෙන් හීන වූ තැනැත්තියක බවට පත් වන්නීය යැයි දෙසූ සේක.

මෙයින් අනෙක් පස වන්නේ යම් කාන්තාවක් සුළු දෙයකින් පවා නොකිපෙන්නී ද, බොහෝ කොට කියන ලද ද, එහෙත් ගැටීමක් නොමැත්තී ද, තද නොවෙයි ද, ක්‍රෝධය පහළ නොකරයි ද, මහණ බමුණන් හට අන්නපාන වස්ත්‍රාදිය ලබා දෙයි ද, අන්‍යයන්ගේ වස්තු සම්පත් කෙරෙහි ද්වේශයක් පහළ නොකරන්නී ද? එසේ වූ කාන්තාව සියලු සම්පත්තියෙන් යුක්ත වෙයි. රූප සම්පත්තියෙන් යුක්ත වෙයි. එමෙන් ම මරණින් පසු සුගතියෙහි යෑම දක්වා ම හේතු වෙයි.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සහ මෙම මල්ලිකා සූත්‍රයෙහි ඉතා වටිනා අදහස් රැසක් ගැබ් වෙයි. එනම් තමන්ගේ ජීවිතයට කෝපය සම්බන්ධ කර ගෙන සිටිනවා නම්, අන්සතු වස්තු පිළිබඳ ව ඊර්ෂ්‍යාවෙන් යුක්ත ව සිටිනවා නම්, එය මනුෂ්‍ය ජීවිතයක් විනාශ වීමට හේතු වන්නේ ය යන්නයි. මෙය තවදුරටත් පැහැදිලි කරන විට තවත් වැදගත් කාරණයක් සඳහන් කළ හැකි ය. මේ සංයුක්ත නිකායේ ප්‍රථම භාගයේ අරඤ්ඤ සූත්‍රයේ එන අපූරු දේශනාවකි.

දවසක් එක්තරා දේවතාවෙක් බුදුන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ විමසා සිටියේ ය.

“භාග්‍යවතුන් වහන්ස, ආරණ්‍යයේ වාසය කරමින් උදේ වරුවේ පමණක් දන් වළඳන, ශාන්ත විහරණ ඇති මේ බ්‍රහ්මචාරීන් වහන්සේගේ හැඩරුව ඉතා ලස්සනයි. මෙසේ වීමට හේතු කුමක්ද?

බුදුන් වහන්සේගේ දේශනාව වූයේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේ අතීතය ගැන ශෝක නොකරන හෙයිනුත්, අනාගතය ගැන ආසාවෙන් පවත්වන්නේ නැති හෙයිනුත්, වර්තමානයේ ලැබෙන දෙයින් යැපෙන හෙයිනුත්, උන්වහන්සේ එතරම් ම ලස්සන බවයි. අනාගතය ගැන ආසාවෙන් පත පතා හෝ, අතීතය ගැන සෝක වෙවී හෝ දුක් විඳින ජනයා මැළවී යන්නේ ළපටි උණබට කපා අව්වේ දැම්මා වගේ යැයි ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

අපි දැන් අපේ ජීවිත දෙසට හැරෙමු. ඔබ ඇතැම් විට මේ මොහොතේත් පසුගිය වර්ෂයේ ඔබෙන් සිදු වූ යම් යම් අතපසු වීම පිළිබඳ පසුතැවෙමින් සිටිනවා විය හැකියි. සිතා බලන්න. අතීතය කියන්නේ අපට පාඩම් ඉගෙන ගන්න තියෙන අභ්‍යාසයක් පමණයි. අතීතය තුළ ම ජීවත්වීම මඟින් යහපත් ජීවිතයක් ගොඩනඟාගන්නට ලැබෙන්නේ නැත. කෙනෙක් ඇතැම් විට තමන්ට හිමි වූ ලාභ සත්කාර හා නොලැබුණු තනතුරු පිළිබඳ ව තවමත් කල්පනා කරමින් සිටී. තමන්ගේ දරුවන්ට විභාගයක් පාස් කර ගන්නට බැරිවීමෙන් ළතැවෙන මවුපියෝ අපේ රටේ කොපමණ සිටිත්ද? මෙම අදහස තුළ අප මුලින් සඳහන් කළ වැදගත් කරුණු දෙක නැවත නැවතත් ඉස්මතුව පෙනෙන්නට ගනී. මෙවැනි අදහස් කෙලෙස් යනුවෙන් හැඳින්විය හැකි ය.

අපට අපගේ සිතේ ස්වභාවය හඳුනා ගන්නට හැකි නම් මේ බොහෝ දේ පාලනය කර ගැනීමට පුළුවනි. මෙහිදී අප සෑම දෙනාට ම ප්‍රයෝජනවත් වන දේශනාවක් අංගුත්තර නිකායේ සංහාරව සූත්‍රයේ දී සඳහන් වෙයි. එක්තරා දවසක සංහාරව බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ විමසා සිටියේ තමන් වේද මන්ත්‍ර කොතරම් කටපාඩම් කළත් මතකයේ රඳා නොපවතින බවයි. ඊට හේතු පහක් පෙන්වා දුන් තථාගතයන් වහන්සේ මේ තරහව හෙවත් ව්‍යාපාද සිතිවිල්ල පිළිබඳ ව දේශනා කොට වදාළ සේක.

යම් කලෙක ව්‍යාපාදයෙන් ඇවිස්සුණු, ව්‍යාපාදයෙන් වැඩුණු සිතින් වාසය කරන්නේ නම්, උපයන්නා වූ ව්‍යාපාදයාගේ නිස්සරණ ද නියම ස්වරූපයෙන් නොදකින්නේ නම්, එය තමාගේ මෙන් ම අන්‍යයන්ගේ ද අනර්ථය පිණිස පවතියි.

මෙම කාරණය පැහැදිලි කිරීම සඳහා තථාගතයන් වහන්සේ අපූරු උපමාවක් භාවිත කරති. ‘බ්‍රාහ්මණය යම් සේ රත් වූ දිය භාජනයකින් තමන්ගේ මුහුණ බලන්නට නොහැකි සේ කේන්තිය තරහව ඇතිවුණු සිතකින් කිසිවක් දැකිය නොහැකි ය.

මෙවැනි ව්‍යාපාද සිතිවිල්ලක් ඇතිවීම සඳහා බලපාන්නේ තමන් පි‍්‍රය නොකරන අරමුණක් ලැබීමෙන් තම හිත දූෂණය වීමයි. ක්‍රෝධය ඇතිවීමට හේතු වන වස්තු දහසක් සූත්‍ර දේශනාවල දැක්වෙයි. ව්‍යාපාදය සත්ව සන්තානයෙහි උපදින ද්‍රෝහී සිතිවිල්ලකි.

අනුන් නසිත්වා සිතිවිල්ල පහළ කරන්නේ ව්‍යාපාද සිතිවිල්ලෙනි. මෙය පහළ වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් තුන හේතුවෙනි. අනුන්ට අයිති වස්තුව දැක, ඒ සම්පත් අනුන්ට අහිමි වීමෙන් සියල්ල ම තමාට අයිති වේවා'යි සිතන්නට ලෝභය ප්‍රධාන ව ව්‍යාපාද සිතිවිල්ල ඇතිවෙයි. බණින අයට බැන්නාට කම් නැත. ගැසුවාට වරදක් නැත. වස්තුව පැහැර ගත්තාට වරදක් නැතැ යි සිතන්නාට මෝහය ප්‍රධානව ව්‍යාපාද සිතිවිල්ල ඇතිවෙයි.

අනුන් විනාශ වෙත්වා, අනුන්ගේ වස්තුව විනාශ වෙත්වා යි කියා සිතන සිතිවිල්ල පටිඝ සිත සමඟ උපදින්නේ ය. පටිඝය, ක්‍රෝධය, ආඝාතය, කෝපය, රෝගය, ව්‍යාපාදය යන සියලු වචන භාවිත කරනුයේ ද්වේෂයට ම ය. ද්වේෂය, චණ්ඩ වූ දඬු මුගුරුවලින් පහර කෑ සර්පයකු හා සමාන වන්නේ ය. චණ්ඩ වූ ස්වරූපයකට පත් වන්නේ ය. මෙම තත්ත්වය ඇති වන්නට එනම් ද්වේෂ සිතක් ඇති වන්නට කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය.

එනම් අනිෂ්ට ආරම්මණයක් ඇතිවීම ය. නව විධ ආඝාත වස්තූන් අතරින් එකක් හෝ වැඩි ගණනක් මුණගැසීම ය. ව්‍යාපාදය කාය කර්ම වශයෙන් ද වචී කර්ම වශයෙන් ද ඇති වන්නේ ය. මෙම ද්වේෂය කරන කොට ගෙන පළමුව සිත දූෂණය කර පසුව මුහුණ දුර්වර්ණ කරන්නේ ය. මෙය පසුව ශරීරයේ ඇති සියලු අවයව දක්වා ගමන් කර ක්‍රෝධය නමැති ගින්නෙන් දිලිසෙන තත්ත්වයට පත් වී පසුව සියදිවි නසාගන්නා තත්ත්වයට ම පත් වන්නේ ය.

මෙම දේශනාව තුළ ඉතා ම පැහැදිලි ව පෙනෙන කරුණ නම් ද්වේෂ සහගත සිත හා අන්සතු වස්තු පිළිබඳව තමන්ගේ සිත තුළ ඇතිවන ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ල තමන්ට හානි කර ආකාරයෙන් ම බලපාන බවයි. යම් ලෙසකින් යකඩයක් එහි පවත්නා මලකඩ මඟින් ම විනාශ තත්ත්වයට පත්වන්නා සේ තමන්ගේ සිත තුළ උපන් ව්‍යාපාද සිතිවිල්ලෙන් තමන්ම විනාශ තත්ත්වයට පත්වෙයි. තමා තුළ උපදින්නා වූ මෙවැනි සිතිවිලි නැති කර ගනිමින් යහපත් ලෙස ජීවත්වීම සඳහා නිරන්තරයෙන් අවශ්‍ය වනුයේ තමා තුළ මෛත්‍රී සහගත සිතිවිලි ඇති කර ගැනීමයි. ප්‍රථමයෙන් තමා තමන්ට මෛත්‍රී කරන්නට පුහුණු වීම මඟින් අන් අයට තම මෛත්‍රී සිත පතුරුවන්නට පුළුවන.

නිකිණි පුර අටවක

අගෝස්තු 01 සිකුරාදා පූ.භා. 05.00 පුර අටවක ලබා 02 සෙනසුරාදා පූ.භා.07.25න් ගෙවේ.
01 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]