[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය සහ සතර දළදා වහන්සේ

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය සහ සතර දළදා වහන්සේ

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛ පද්මයෙන් පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පහස ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ අතරෙන් වඩාත් උතුªම් කොට ගෞරව බහුමානයට, පූජාවට හා අද්විතීය උත්තරීතරභාවයට පාත්‍ර වේ.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූ හ. එක සමචත්තාලිස දන්තයෝ සුභ්‍ර වර්ණයෙන් යුක්ත වූවාහු ය. අවිවර දන්තාග්‍ර වූ හ.

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කළ අයුරු

දඹදිව කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවණෙහි සිදු වූ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මල්ල රජහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය පළමුව අලුත් වතින් වෙළූහ. අලුත් වතින් වෙළා, පාදන ලද කපු පුළුනෙන් වෙළූහ. යළිදු පාදන ලද කපු පුළුනෙන් වෙළා නැවත අලුත් වතින් වෙළූහ. මෙසේ යුගල පන්සියයකින් බුදු සිරුර වෙළා, රන් මුවා තෙල් දෙණෙක බහා වෙනත් රන්මුවා දෙණෙකින් වසා සියලු වර්ගයේ සුවඳ දරින් චිතකයක් තනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය එහි තැන්පත් කළහ. ගිනි දල්වා දැවෙන්නා වූ බුදු සිරුර ආදාහනය කිරීමේ දී සිවි හෝ සම හෝ මස හෝ නහර හෝ ආදි වශයෙන් යමෙක් වී ද ඒ සියල්ලෙහි අළු නොපෙනිණ. දැලි ද දක්නට නො ලැබිණ. සතර දළදා වහන්සේ ද, දෙ අකු ධාතුන් වහන්සේ ද, ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී ශේෂ වූවාහු ය. සෙසු ධාතුන් වහන්සේ සමීප මාත්‍ර වී, අබ ඇට පමණ වී, කඩ සහල් පමණ වී, හා මුං පියලි පමණ වී ශේෂ ව දෙනෙහි ගිනි සංසිඳුණේ ය. එකෙනෙහි අහසින් දිය දහර පහළ වී චිතකය නිවිණ. වටෙහි පැවති සල් රුක්හි අතු පතරින් ද ජලය මතුවී විසිරී චිතකය නිවිණ. කුසිනාරානුවර මල්ල රජදරුවෝ සුවඳ පැනින් රන් කළ, රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහ. අවට රැකවල් ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහ. ඉක්බිති මල්ල රජ දරුවෝ සන්ථාගාරයේ අඩයැටි මැදිරියක් කරවා, දුනු පවුරක් වටා ශාරීරික ධාතු එහි තුළට වැඩමවා, මලින්, සුවඳින්, නැටුමෙන්, ගැයුමෙන් පුරා සත් දිනක් ගරු බුහුමන් කළහ, පිදූහ.

ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්යවරයා සර්වඥ ශාරීරික ධාතු බෙදූ අයුරු

මහා පරිනිබ්බාන සූත්‍රය, සුමංගල විලාසිනිය හා බුද්ධවංශය වැනි මූලාශ්‍රවල තොරතුරුවලට අනුව ධාතු විභජනයේ දී බුදුරජාණන් වහන්සේ පිරිනිවි බව දත් සැණෙන් දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ කුසිනාරා නුවරට සේනා සහිත ව පැමිණ, ධාතුන් වහන්සේට ඇති. තම අයිතිය කියාපාමින් යුද්ධ කොට හෝ ගනිමැ’යි සිතා ධාතුන් වහන්සේ ඉල්ලා සිටියහ. සිදුවිය හැකි අර්බුදය දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්යවරයා සියලු දෙනා සමගි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දීමෙන් අනතුරුව එම පිරිස් සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ නිදන් කළ චෛත්‍ය අටක් ඒ ඒ රාජධානිහි පිහිටුවා පූජෝපහාර පැවැත්වූහ. එම චෛත්‍ය අට ද, ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් නැළිය ද නිදන් කොට “කුම්භස්තූප” නම් චෛත්‍යය ද පිප්පලී නුවර මෞය¸ රජවරු චිතකය තිබූ තැනින් ලබා ගත් අඟුරු තැන්පත් කොට කරවූ අංගාර චෛත්‍යය ද වශයෙන් චෛත්‍යය දහයක් පළමුව ඇති විය.

සර්වඥ ධාතුන් වහන්සේ අතරින් ජීවමාන ව වැඩ සිටින එකම ධාතුන් වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින දාඨා ධාතුන් වහන්සේ ය. ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාව පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝ ම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා දළදා වහන්සේ වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදති. දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ බවට, බලවත් විශ්වාසයක් හා හැඟීමක් බෞද්ධයන් අතර පවතී. මේ නිසා ම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේත් අති උතුම් පූජා සංකේතයක් ලෙස ද, රාජ්‍යත්වයේ සංකේතය මෙන් ම, කලට වැසි ලබා දී රට සමෘද්ධිමත් කළ හැකි විස්මිත බලයක් ඇති මහාර්ඝ වස්තුවක් ලෙස ද ශ්‍රී දළදා වහන්සේ සම්භාවනාවට පාත්‍ර වූහ.

බුදුරජාණන් වහන්සේ ධාතු පූජාව අනු දැන වදාළ බව අපදානපාලියෙන් ද අනාවරණය වේ. සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආදහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත්‍රය ද, මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත්‍රය ද ඒ ඒ අවස්ථාවන්හි දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු එහි විස්තර වේ. බුදුරජාණන් වහන්සේ බුදු, පසේබුදු, මහරහත් හා සක්විති (චක්කවත්ති) යන සිව් මහා පුද්ගලයන්ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපහාර දැක්වීම අනුදැන වදාළ සේක. එය බොහෝ දෙනාගේ හිත සුව පිණිස වන බව දීඝ නිකායේ දැක්වේ.

ඛේම නම් මහරහතන් වහන්සේ කළිඟු රට බ්‍රහ්මදත්ත රජු වෙත ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ භාරදුන් අයුරු.

කළිඟු රට බ්‍රහ්මදත්ත රජු හා දඹදිව ප්‍රථම දළදා මාලිගාව අළු නොවී ශේෂ වූ සතර දළදා වහන්සේ අතරින් එක් දළදාවක් ශක්‍ර දේවේන්ද්‍රයා විසින් රැගෙන ගොස් තව්තිසාවේ ද, තවෙකක් නා රජු රැගෙන ගොස් නා ලොව ද, තවෙකක් ගන්ධාර දේශයෙහි ද, නිදන් කොට සෑය බඳවා වන්දනා කරනු ලැබූහ. ඛේම නම් රහතන් වහන්සේ ස්වකීය ඍද්ධි බලයෙන් වාම ශ්‍රී රදනක දන්ත ධාතුන් වහන්සේ ගෙන කළිඟු රට බ්‍රහ්මදත්ත රජු ත්‍රිවිධ රත්නයෙහි පිහිටුවා පූජා සත්කාර කරනු වස් භාර දුන්හ.

මෙසේ කාලිංගයෙහි බ්‍රහ්මදත්ත රජු වෙත භාරවී ඇත්තේ සර්වඥයන් වහන්සේගේ යටි හනුවේ වාම ශ්‍රී රදනක දළදා වහන්සේ බව කියැවේ.

ඒ කළිඟු රජු මහත් ගෞරව භක්තියෙන් ශ්‍රී දළදා වහන්සේ භාරගෙන දඹදිව ප්‍රථම දළදා මැඳුර විසිතුරු ලෙස තනවා මිණි මුතුයෙන් සරහන ලද අනගි රුවන්මය අසුනක වඩා හිඳුවා නා නා විධ පුද සත්කාර නොකඩවා ඉටු කළේ ය.

කළිඟු රාජාවලියේ ගුහසීව රජු

කාලයාගේ ඇවෑමෙන් කාලිංග රාජාවලියේ ගුහසීව රජු එක් නුවණැති ඇමැතියෙක් විසින් කරන ලද බුදු ගුණ හා දළදා අසිරිය පිළිබඳ වර්ණනා අසා මිසදිටු බව හැරපියා අපමණ දළදා පුද පූජා සිදු කෙරෙමින් දැහැමින්, සෙමෙන්, බුදු බැතියෙන් රජකම් කළේ ය. එකල්හි එහි සිටි මිසදිටු නිඝන්ඨයෝ ගුහසීව රජු කෙරෙහි බලවත් සේ කිපී පැළලුප් නුවරට පළා ගියහ. එහි ගොස් පඬි නම් රජුට ගතු කියා ගුහසීව රජු කෙරෙහි විරසක කළහ.

ඒ පඬි රජු නිගටුන්ගේ බස් අසා චිත්‍රයාන නම් සාමන්ත රජු කැඳවා කාලිංගයට ගොස් ගුහසීව රජු හා ඔහු විසින් පුදනු ලබන මිනි ඇටය ද ගෙන එන්නැයි අණ කළේ ය. චිත්‍රයාන සාමන්ත රජු සිව්රඟ පිරිස සමඟ ගොස් දන්තපුරයට නුදුරු තැනක කඳවුරු බැඳ ගුහසීව රජු හමුවීය. එවිට ගුහසීව රජු විසින් කරන ලද බුදු ගුණ වර්ණනා හා දළදා ගුණ අසා විස්මිත දළදා පෙළහර ද දැක, පැහැදුණු චිත්‍රායාන සාමන්ත රජු බුදු සසුනේ පිහිටා අනතුරුව පඬි රජුගේ නියෝගය ගුහසීව රජු වෙත සැලකර සිටියේ ය.

පඬි රජුගේ නියෝගය ඇසූ ගුහසීව රජු ද බියෙන් තොරව ධාතු කරඬුව වැඩමවා ගෙන විසිතුරු රියකින් දන්ත පුරයෙන් නික්ම පැළලුප් නුවරට ළඟා විය. බියෙන් සැකෙන් තොර ව එහි එන ගුහසීව රජු දුටු පඬි රජු මිසදිටුකමින් කෝපයට පත් ව, නිඝන්ඨයින්ගේ බස් අනුව දළදා වහන්සේට මහත් කුරිරුකම් සිදු කළේ ය.

දළදා වහන්සේ පෑ අසිරිමත් පෙළහර

පඬි රජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිලිසෙන්නා වූ ගිනිඅඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදි.

එනමුදු මහ ගිනි වළෙන් මතුවු රිය සකක් බඳු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමාන ව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.

එයිනුදු නොනැවතුණූු පඬි රජු දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළුගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේ ය. ඒ කිණිහිරයෙහි ගිලුණු දළදා වහන්සේ සියලු දිසාවන් බුදු රැසින් බබළවා වැඩහුන් සේක. එවිට නිගටුන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිහිරයෙහි ගිලුණු දළදා වහන්සේ ගෙන කැමැති වස්තුවක් ගන්නැයි රජු විසින් නියම කරන ලදි. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටු කළ නොහැකි විය.

එකල්හි අනේපිඬුසිටුගේ මීමුනුබුරකු වූ සුභද්‍ර නම් එක්සිටු පුත්‍රයෙක් මහත් ශ්‍රද්ධාවෙන් ඉදිරිපත්ව අනුපමේය වූ බුදුගුණ වර්ණනා කොට සත්‍යක්‍රියා කළෙන් දළදා වහන්සේ අහස් කුසට පැන නැඟී නැවත ඒ සිටු පුතුගේ හිස මතට වැඩම කොට මහත් සතුටට පත්කළ සේක. එය දුටු නිඝන්ඨයන් විසින් මෙය වනාහි සිටු පුත්‍රයා විසින් මන්ත්‍ර බලයෙන් කරන ලද විජ්ජාවකැයි පවසන ලදි.

මෙහිදී රජු වෙනත් පෙළහරක් දක්වන්නැයි කීයෙන් සුවඳ දිය පිරුණු රන් පාත්‍රයකට දළදා වහන්සේ වැඩම කරනු ලැබූයෙන් ඒ සුවඳ දිය මත රාජ හංසයකු පරිද්දෙන් පීනමින් ජනයන්ගේ සිත් ප්‍රසාදයට පත් කළ සේක.

එයිනුදු නොනැවතී තෙවනුව වීදිය මැද මහා වළක් කපවා දළදාව එහි දමවා, පස්පුරවා ඇතුන් ලවා පාගවන ලදී. එකෙණෙහි මහපොළොව පළාගෙන පැනනැඟුණු පද්මයක වැඩහිඳි දළදා වහන්සේ සියලු දිසාවන් බුදුරැසින් බබළවාලූහ. නිඝන්ඨයෝ එය ද මායාවකැයි රජුට කීහ.

එහෙයින් සිව්වෙනුව මල මුත්‍රාදියෙන් අපවිත්‍ර දිය අගලකට දළදා වහන්සේ දැමූහ.

එවිට ඒ විල පස් පියුමින් සුසැදි,රණ හසුන් හා මීමැසි කැලන් පිරි තව්තිසා දෙව්ලොව නන්දා නම් පොකුණ මෙන් මනහර ව පිවිතුරු ව දිස්විය. මෙම අසිරිමත් දළදා පෙළහර හා පළවූ නොයෙක් ආශ්චර්යයන් දුටු ඇමැතිවරු පඬි රජු පහදවා, මිසදිටුකමින් මුදා, බුද්ධාදී ආර්ය මාර්ගයෙහි යොමු කළහ.

මෙහිදී බුදුගුණ හා දළදා අසිරිය අසා මහත් ප්‍රසාදයට පත් පඬි රජතුමා දිය අගලෙහි වැඩසිටින දළදා වහන්සේ වැඩමවා ගෙන එන ලෙස අගමැතිට නියෝග කළේ ය. රජ අණින් දිය අගල වෙත ගිය අගමැති රජු තුණුරුවන් හා දළදා වහන්සේ කෙරෙහි පැහැදී ඇති අයුරු පවසා රජගෙට වැඩමවන ලෙස දළදා වහන්සේට ඇරයුම් කළේ ය.

එකෙණෙහි දළදා වහන්සේ හසඟනක් මෙන් පියුමෙන් පියුමට වැඩමවමින් අනතුරුව අගමැති කරතලට වැඩමවා බුදුරැස් විහිදුවා දසත ආලෝකවත් කළ සේක. මේ අසිරිමත් පෙළහර ගැන ඇසූ රජතුමා වහා එහි පැමිණ තමා විසින් සිදුකරන ලද සියලු කුරිරුකම්වලට ක්ෂමාව අයැද තම උත්තමාංගයෙහි පිහිටි ඔටුන්න මතට වැඩමවන සේ ආරාධනා කළේ ය. එකල්හි දළදා වහන්සේ සම්බුදු රැස් විහිදුවමින් මිණි පැහැයෙන් දිලෙන රජුගේ ඔටුන්න මත වැඩහුන් සේක.

දඹදිව දෙවන දළදා මාලිගාව

රජතුමා තම සිරස මත දළදා වහන්සේ තබා ගෙන නුවර පැදකුණු කොට ඇතුළු නුවරට වැඩමවා ඡත්‍රයක් යෙදූ රුවන්මය පලඟෙක දළදා වහන්සේ වඩා හිඳුවා නා නා විධ පුද සත්කාර කළේ ය. නන් රුවන් යෙදූ හිරු මඬලක් සේ බබළන රනින් හා රුවනින් නිම කරවන ලද මනහර දළදා මැඳුරක් කරවා එහි තැන්පත් කොට රාජ්‍යයෙන් ද පුදා දැහැමෙන් සෙමෙන් රජකම් කළේ ය.

මෙකල්හි යුද්ධයෙහි දක්ෂ ඛීරධාර නම් රජු බලයෙන් මත්ව යුද පිණිස පැළලුප් නුවරට පැමිණියේ ය. නොබියව ඉදිරියට ගිය පඬි රජු ද, ඛීරධාර රජු පරදවා, සිය පුතුට රාජ්‍යය පවරා දී, ගුහසීව රජුට දළදා වහන්සේ නැවත භාරදී බොහෝ වස්තුන් ද සමඟ ආපසු සියරට යැවීය. මෙසේ පඬි රජතුමා දසරාජ ධර්මයෙන් රජ කොට නොයෙක් පින් රැස්කොට මරණයට පත්විය.

ගුහසීව මහරජු සියරට පැමිණෙයි

සියරට පැමිණි ගුහසීව රජු දළදා වහන්සේට අපමණ පූජා කෙරෙමින් බොහෝ පින් රැස් කළේ ය. මේ අතර කොසඹෑනුවර උදේනි රජුගේ පුත්‍ර දන්ත කුමරු කළිඟු රටට පැමිණ රජු පහදවාගෙන දළදා වහන්සේට නා නා විධ පුද සත්කාර කරමින් එහි ම විසූහ. සියලු අතින් තම රජ පවුලට ගැළපුණු මෙම කුමරා කෙරෙහි පැහැදුණු රජු ස්වකීය රූමත් ගුණවත් දියණිය වූ, හේමමාලාවන් ද සරණ කොට පාවා දී ධාතු රක්ඛකාධිකාරි තනතුරෙහි ද පිහිටුවීය.

ඛීරධාර රජුගේ බෑනනුවන් ගුහසීව රජු සමඟ යුද වදී

මේ අතර ඛීරධාර රජු යුද බිමේ දී මළ බැවින් ඔහු බෑනණු කුමාරයෙක් බලවත් ව දළදා වහන්සේ පැහැරගනු වස් දන්ත පුරය සමීපයට යුද පිණිස පැමිණියේ ය. නගරය ආසන්නයට පැමිණි ඔහු දළදාව දෙන ලෙස හෝ නැතහොත් යුද පිණිස එන ලෙස හෝ ගුහසීව රජු වෙත දන්වා යැවීය. එවිට ගුහසීව රජු දන්ත කුමරුට කතා කොට දළදා වහන්සේ අන් කෙනකුට දීමට නො කැමැති හෙයින් බුදුරජාණන් වහන්සේ දළදා වහන්සේ රැකවරණය සඳහා බොහෝ භික්ෂූන් වහන්සේ වැඩසිටින ලක්දිවට හේමමාලා කුමරිය සමඟ වැඩමවා ගෙන යන ලෙස දන්වා තමා යුද බිමට ගියේ ය.

දන්ත කුමරු හා හේමමාලා කුමරිය

ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩමවීමට ගමන් ඇරඹූ වගයි.

ලක්දිව දේශපාලන, සාමාජික, සංස්කෘතික ඉතිහාසයේ මහත් පෙරළියක් හා අභිවර්ධනයක් ඇතිකළ ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩමවූයේ අනුරපුර කිත්සිරිමෙවන් රජු ( ක්‍රි.ව. 301 - 328) දවස ක්‍රි.ව. 310 වැන්නේ දී ය. දඹදිව පඬිරට ඛීරධාර නම් රජහුගේ ඇවෑමෙන් බලයට පත් ඔහු බෑන කුමරුවෝ කළිඟු රට දන්තපුරය වෙත පැමිණ කඳවුරු බැඳ” දළදා වහන්සේ පාවා දෙන ලෙස හෝ යුද පිණිස එන ලෙස හෝ දන්වා කළිඟු රට ගුහසීව රජු වෙත හසුන්පත් එවූහ. මේ නොකන්කලු පුවත ඇසූ ගුහසීව රජු දන්ත කුමාරයන් කැඳවා මාගේ දිවි තිබෙන තුරු අන්, කෙනකුට දළදා වහන්සේ නොදෙමි'යි කියා හේමමාලා කුමරිය සමඟ දළදා වහන්සේ ලක්දිවට වැඩමවා ගෙන යන්නැ’යි ඔවදන් දී සේනා සමඟ යුද පෙරමුණට ගියේ ය.

යුද බිමේ දී ගුහසීව රජු මළ පුවත ඇසූ දන්ත කුමරු හා හේමමාලා කුමරිය බමුණුූ වෙස් ගෙන දළදා වහන්සේ කුමරියගේ කෙස් කළඹෙහි සඟවා ගෙන ලක්දිව බලා ගමන් ඇරඹූහ.

නගරයෙන් දකුණු දිගට ගමන් කොට සතුරන්ට අසුවෙතැයි සිතා ගංගා නම් ගං තෙර වැලි තලාවෙහි සෑයක් සේ වැලිගොඩ ගසා දළදා වහන්සේ එහි සඟවා එතැන් සිට සිරිලක බලා පිට වීමට අවස්ථාව බලමින් සිටියහ. මේ වේලෙහි අහසින් වඩින්නා වූ එක් රහතන් වහන්සේ නමක් දළදා වහන්සේගෙන් නිකුත්වන නා නා විධ සවණක් රශ්මි ධාරා දැක අහසින් බැස මහත් බැතියෙන් දළදා පූජා සිදු කොට අඹු සැමි දෙදෙනාගෙන් ආ ගිය කතා තොරතුරු විමසා ඔවුන් සිත් තුළ පැවැති බිය පහ කොට නොබියව ගමන අරඹන ලෙසත්, කරදරයක් සිදු වුවොත් තමන් වහන්සේ සිහිපත් කරන ලෙසත් දන්වා ආපසු වැඩම කළහ.

පණ්ඩුහාර නා රජු දළදාව පැහැරගෙන යයි

මේ අතර පණ්ඩුහාර නම් නාගරාජයා නා නා විධ සවණක් රැස් දහරින් දිදුළන දළදා වහන්සේ දැක මහත් සතුටට පත්ව අවස්ථාව බලා වැලි දාගැබෙහි තැන්පත් කර තිබූ දළදා වහන්සේ සහිත රුවන් කරඬුව ගිල නාග භවනයට රැගෙන ගියේ ය. දන්ත කුමරු හා හේමමාලා කුමරිය වැලි දාගැබෙහි දළදා වහන්සේ නො දැක මහත් දුකට පත්වී පෙර කී රහතන් වහන්සේ සිහිපත් කළහ. එවේලෙහි ඒ රහතන් වහන්සේ ඔවුන් සිත් දැක, එහි වැඩම කොට තොරතුරු අසා දිවැසින් බලනුයේ දළදාව සඟවා ගෙන ගිය නා රජු දැක, ගුරුළු වෙසක් මවා ගෙන ඒ නා රජු වෙත වැඩම කොට, දළදාව ආපසු රැගෙනවිත් අඹු සැමි යුවළට භාරදුන්හ.

එතැන් සිට දෙව්වරුන්ගේ රැකවරණය ලබමින් දළදා වහන්සේ හිසින් දරාගෙන තාම්‍රලිප්ති පටුනෙන් නැව් නැඟී සිරිලක බලා ගමන් ඇරඹූහ. නැව්නැඟී සමුද්‍රය තරණය කරන්නේ සැඩ රළ පහරින් නැව සයුර මැදට ඇදී ගියේ ය.අනතුරුව සයුර සංසිඳීණි. නාගයෝ නා නා විධ ආකාරයෙන් දළදා වහන්සේ පිදූහ. දළදා වහන්සේ ද ආකාශයට නැඟී සුදු බුදු රැස් විහිදුවා පෙළහර පා නැවතත් හේමමාලාවන්ගේ කෙස් කළඹ මතට වැඩම වූ කල්හි නාගයෝ දින හතක් තිස්සේ සයුර මැද නතර කොට ගෙන පුද පූජා කළහ. නැව නැවතී ගියෙන් බියට පත් අඹු සැමි යුවළ නැවතත් මහතෙරුන් වහන්සේ සිහිපත් කරනු ලැබූයෙන් වැඩම කළ රහතන් වහන්සේ ගුරුළු වෙසක් මවා ගෙන නාගයන් බිය ගන්වා පලවා හළහ.

නිකිණි පුර අටවක

අගෝස්තු 01 සිකුරාදා පූ.භා. 05.00 පුර අටවක ලබා 02 සෙනසුරාදා පූ.භා.07.25න් ගෙවේ.
01 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]