[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වාසනාවන්ත යුග දිවියකට බොදු පිළිවෙත

වාසනාවන්ත යුග දිවියකට බොදු පිළිවෙත

පවුලක යහ පැවැත්ම අවශ්‍ය වන්නේ ඔවුනොවුන්ගේ පැවැත්මට පමණක් නොවේ. ඒ පවුලෙන් බිහිවන ඊළඟ පරම්පරාවක් ද ආරම්භ වන බැවිනි. යම් ගෘහයක් තුළ ජීවත්වන ජීවිත අපායක් බවට පත් කර ගැනීමෙන් සිදු වන්නේ ඒ ගෘහයේ දරුවන්ට ද අපායක ජීවත් වන්නට සිදුවීමයි.

මව්පියන් ගුණවත් නොවූ කල ඔවුන්ගේ දරුවන්ගෙන් ද ගුණවත් බව, යහපත් බව පැතිය නොහැකි ය. යම් ගෘහයක ජිවත්වන දරුවා සමාජයට ආදරය කරන, යහපත්, ගුණ ගරුක දාර්ශනිකයකු බවට ද, සමාජයට ආදරය නො කරන අයහපත්, ගුණ ගරුක නොවන ත්‍රස්තවාදියකු බවට ද පත්වන්නේ මව්පියන්ගේ ජීවිතවල ස්වභාවය අනුව ය.

මෙවන් පවුල් සංස්ථාවක් බිහිවීමට හේතු වන්නා වූ කරුණු පිළිබඳ, බෞද්ධ ධර්මයට අනුව විමසා බැලීමක් සිදු කරමු.

බෞද්ධ සමාජය ප්‍රධාන වශයෙන් කොටස් හතරක් වේ. ඒ භික්ඛු - භික්ඛුණී, උපාසක - උපාසිකා යනුවෙනි. මෙම කොටස් හතර පැවිදි සමාජය හා ගිහි සමාජය ලෙස කොටස් දෙකක් වශයෙන් දැක්විය හැකි ය. උපාසක උපාසිකා ලෙසින් ගිහි බෞද්ධ සමාජය සැකසෙයි. එසේ වූවත් උපාසක - උපාසිකා නාමය ඕනෑම බෞද්ධයකුහට භාවිතා කළ හැකි නොවේ.

“උපාසක” යන නාමය ලැබිය හැක්කේ බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය පුද්ගලයකුට පමණක් බව මහානාම සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. “සරණ” යෑම නම් තෙරුවන් හැර වෙනත් පිහිටක් නැත යන අරමුණෙහි පිහිටා කටයුතු කරන බෞද්ධයකු වන බවය. මේ අනුව බුද්ධ, ධම්ම, සංඝ සරණ ගිය පුද්ගලයා උතුම් ගතිගුණ ඇති පුද්ගලයෙකි. මේ අනුව උපාසකයා ශ්‍රද්ධාව ඇත්තෙක් වෙයි. ඒ වගේ ම සිල් ගුණය ඇත්තෙක් වෙයි. අසන දකින දේ සුබ අසුබ ලෙස නොපිළිගනී. කර්මය විශ්වාස කරයි. ඒ වගේ ම මිථ්‍යා විශ්වාසයන්ගෙන් ඈත් වූ අයෙක් වෙයි. තථාගත ධර්මයේ පිහිට හැර වෙනත් ධර්මයන්ගේ පිහිට නො පතයි.

මේ අනුව බෞද්ධ උපාසකයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. උපාසකයා ශ්‍රද්ධාවෙන් කටයුතු සිදු කරන්නාක් මෙන් ම අන්‍යයන් ද ශ්‍රද්ධාවෙහි පිහිටුවන්නට කටයුතු කරයි. ඒ වගේ ම තමා සිල්වත්ව අන්‍යයන් ද සීලයෙහි පිහිටුවන්නට කටයුතු කරයි. උදාහරණයක් ලෙස තමන් දන් දෙමින් අන්‍යයන් ද ඊට යොමු කර ගනී. තමන් ධර්මය ශ්‍රවණය කරමින් අන්‍යයන් ද ඊට යොමුකර ගැනීමට උත්සාහවත් වෙති. තමන් ධර්මයෙහි හැසිරෙමින් අන්‍යයන් ද ධර්මයට යොමු කර ගැනීමට උත්සාහවත් වෙති. තමන් ධර්මයෙහි අර්ථ නිරුක්ති සොයමින් අන්‍යයන්ට ද එය තේරුම් කොට කියා දෙයි. තමන් ධර්මානුධර්ම ව හැසිරෙමින් අන්‍යයන් ද ධර්මකාමීන් බවට පත් කරවයි.

ඒ අනුව යහපත් බෞද්ධයා කවුරු ද? යන්න හොඳින් පැහැදිලි වෙයි. මෙවන් යහපත් ගුණධර්ම ඇති බෞද්ධයකුගේ සිත් තුළ අකුසල් සිතිවිලි යටපත් වෙයි. එනම් රාග, ද්වේෂ, මෝහ යටපත් කරගත් උතුම් මනුෂ්‍යයන් මේ සමාජයේ බොහෝවිට දැකිය හැකි ය. එවන් පුද්ගලයා බොහෝ අවස්ථාවන් හි දී සමාජයේ ආදරයට, ගෞරවයට, බුහුමනට ලක්වෙයි. ආයතනයක් තුළ, මිතුරු මිතුරියන් අතර, නිවසක මෙවන් වූ ගුණ සපිරි බෞද්ධයකු වේ නම් ඒ ගතිගුණ කැපී පෙනෙන්නට වේ. බෞද්ධයා අභියෝගය හමුවේ කලබල නොවේ. ගැටලුවක දී පලා නොයයි. ඒ වගේම යම් ගැටලුවක දී ඉතා ඉවසීමෙන් විසඳුම් සොයා ගැනීමට උත්සාහ කරයි. එවන් විසඳුම් සොයා ගැනීමේ දී මෙන් ම අන් කටයුත්තක දී ද කිසිවකුගේත් සිත රිදවන්නේ ද නැත. ඒ වගේ ම කිසිවිටෙකත් රළු වචන භාවිත නො කරයි. සමාජයටත්, හිත මිතුරන්ටත්, පවුලේ සාමාජිකයන්ටත් තම යුතුකම් මැනවින් ඉටු කරයි.

බෞද්ධ ගිහි සමාජයේ වැදගත්ම ආයතනය පවුලයි. එය ගොඩනඟා ගැනීමේ දී බෞද්ධකම ජීවිතතය තුළ ඇත්තා වූ පුද්ගලයන්ගේ එක්වීම ඉතා වැදගත් ය. එසේ නොවුණු කල ය පවුල් සංස්ථාව අපායක් බවට පත්වනුයේ. අනවබෝධයෙන් ගොඩනඟා ගන්නා යුග ජීවිතයෙහි අවසානය අපායක් බවට පත් කර ගන්නා, දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතය කෲර ලෙස නැති කර ගන්නා අවස්ථා මේ සමාජයෙන් නිතර අසන්නට දකින්නට ලැබේ. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති සංවාස සූත්‍ර දේශනාව තුළ මැනවින් විග්‍රහ වෙයි.

මෙම සංවාස සූත්‍ර දේශනාවට අනුව මලකුණක් - මලකුණක් සමඟ වාසය, මළකුණක්, දෙවඟනක් සමඟ වාසය, දෙවියෙක් මළකුණක් සමඟ වාසය, දෙවියෙක් - දෙවඟනක් සමඟ වාසය යනුවෙන් කොටස් හතරක් විග්‍රහ කරයි.

විවාහ ජීවිතයට පත්වන යම් තරුණ - තරුණියන්ගේ ජීවිතවල බාහිර පැතිකඩ ඉතා ලස්සන විය හැකි යි. ඒ වගේ ම පි‍්‍රය මනාප විය හැකියි. සමහර විටෙක යමෙක් මුලාවට පවත්වෙන තරම් ලස්සන බාහිර පරිසරයක් ඔවුන් සතුව පවතින බව දක්නට ලැබේ. එහෙත් විමසිලිමත්ව බලන කල කිසිදු ගුණධර්මයක් නැති හිස් ජීවිත බවයි දක්නට ලැබෙන්නේ. එවන් දෙදෙනකුගේ ජීවිතවල ගුණධර්ම මිය ගොස් නම් ඒ පුද්ගලයන් ජීවත් වුව ද මළකුණක් හා සමාන වෙයි. ඔවුන් තුළ කිසිදු ඉවසීමක් නැති නම්, පි‍්‍රයමනාප වචන භාවිත නොකරයි නම්, ආගමික සිතුම් - පැතුම් ජීවිතය තුළ නැති නම්, ඔවුන් ජීවත් වුව ද මිය ගියා වැනි ය. එවැනි දෙදෙනෙක් එක්ව වාසය කිරීම මළකුණක්, මළකුණක් හා සමඟ සිදුවන වාසයක් ලෙසින් හඳුන්වනු ලබයි.

මළකුණක් - දෙවඟනක් සමඟ වාසය කිරීම නම් මෙහි දී සැමියා මළකුණක් හා සමාන වෙයි. ඔහු ගුණ දහමින් තොර පව්කාර පුද්ගලයෙකි. ඒ වගේම දුශ්ශීල, පස්පව්, දස අකුසල්හි නිරත පුද්ගලයෙකි. එහෙත් ඒ පුද්ගලයා හා එක්ව වාසය කරන බිරිඳ දෙවඟනක් වැනි ය. ඇය තුළ ලජ්ජාව - භය පවතී. ගුණ දහම් ආරක්ෂා කරයි. උදෑසන බිරිඳගේ ආදර සැළකිලි ලබමින් නිවසින් පිටව යන සැමියා හවසට යක්ෂයකු සේ නිවසට පැමිණේ නම්, ඒ නිවසෙහි මනුෂ්‍ය වාසයක් තිබිය හැකි ද? අද සමාජයේ දහසකුත් කරදර මැද පව්කාර සැමියන්ගේ අනන්ත දුක් පීඩා විඳිමින් ජීවත් වෙන දේවතාවියන් වැනි බිරින්දෑවරු අනන්තවත් දැකිය හැකි ය.

දෙවියකු - මළකුණක් හා වාසය නම් පව්කාර බිරිඳකි. දුශ්ශීල ගතිගුණවලින් පිරි ඇත්තියකි. ආගමික සිතුම් - පැතුම්වලින් තොර වූ බිරිඳක් වේ නම් එවන් බිරිඳ නිවසකට මළකුණකි. නමුත් මෙවන් බිරිඳකගේ සැමියා ගුණ යහපත් ය. ධෛර්ය සම්පන්න ය. පවුල නඟා සිටුවීමට වෙහෙස ගන්නා අයෙකි. බිරිඳ නිසා නිවසට ඇතිවන අපකීර්තිය ද වසා ගන්නට උත්සාහ දරමින් දරුවන්ට ද නිවැරැදි මඟ පෙන්වීමට උත්සාහ ගන්නා ස්වාමියෙකි. මේ දෙවියෙක් මළකුණක් සමඟ කරන වාසයකි.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ඉතා ආදර්ශවත් පවුල් ජීවිතය වන්නේ “ දෙවො දෙවියා සද්ධිං සංවසති” එනම් දෙවියෙක් - දෙවඟනක් සමඟ වාසයයි.

මෙහිදී දෙදෙනා ම කරුණාවන්තයි. මෛත්‍රී සිතිවිලිවලින් පෝෂණය වූවන් ය. ගෘහ ජීවිතයක යහ පැවැත්මට හේතුවන ශ්‍රද්ධා ගුණයෙන් දෙදෙනාම පෝෂණය වී තිබෙයි. දෙදෙනා ම ධර්මානුකූල සිතිවිලි ජීවිතයට එකතු කරගත්, තෙරුවන් සරණ ගිය දෙදෙනෙකි. තම යුතුකම් හා වගකීම් මැනවින් තේරුම් ගත් එකිනෙකා අවබෝධයෙන් ජීවත්වන දෙදෙනෙකි.

සංවාස සූත්‍රයට අනුව ස්වාමියා තම බිරිඳට ගෞරව කළ යුතු වෙයි. අවමන් නොකළ යුතුවෙයි. අන්‍ය ස්ත්‍රීන් වෙත ගමන් නොකළ යුතුයි. නිවසේ නායකත්වය පවරා දිය යුතුයි. ඒ වගේ ම බිරිඳගේ සිතැඟි හඳුනාගෙන ඉටු කළ යුතුයි. ගෘහය තුළ ඉටු කළ යුතු තම යුතුකම් මනාව හඳුනාගෙන ඒවා මැනවින් ඉටු කරන්නා වූ සැමියා දෙවියකු හා සමානයි.

ඒ වගේ ම බිරිඳක් දෙවඟනක වීම සඳහා තම යුතුකම් මැනවින් තේරුම් ගෙන ඒවා මැනවින් ඉටු කළ යුතු ය. එනම් ගෘහයක කටයුතු නිසි ලෙස ඉටු කළ යුතු අතර, ආගන්තුක සත්කාරය ද මැනවින් ඉටු කළ යුතු ය. නිවසේ සම්පත් ආරක්ෂා කළ යුතු ය. කම්මැලි නොවී කාර්යක්ෂමව කටයුතු සපුරා ගත යුතු ය. අන්‍ය පිරිමින් වෙත ගමන් නොකළ යුතුය. මේ ආකාරයෙන් අන්‍යොන්‍ය යුතුකම් මැනවින් ඉටු කරන දෙදෙනෙක් දෙවියකු හා දේවතාවියකගේ එක්වීමක් හා සමාන වේ.

මේ කරුණු අනුව බෞද්ධ සමාජයේ සාර්ථක වාසනාවන්ත යුග ජීවිත ගත කිරීම සඳහා හොඳ බෞද්ධ ගුණ - සිරිත් ඇත්තන්ගේ එක්වීම අවශ්‍ය බව තහවුරු වෙයි. බුදුන් දවස මෙවැනි යුගදිවි ගෙවූ අය අතර නකුල මාතා හා නකුල පිතාවන් පිළිබඳ සඳහන් වෙයි. ඔවුන්ගේ යුග ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට පත්විය. නකුල මාතාවන්ගේ හා නකුල පිතාවන්ගේ යුග දිවිය වාසනාවන්ත වීමට හේතු වූ ධර්මතා හතරක් විය. ඒ සම ශ්‍රද්ධා, සමශීල, සම චාග, සම පඤ්ඤා ය.

යුග ජීවිත ගත කරන්නන් අතර ශ්‍රද්ධාව, හික්මීම, පරිත්‍යාගය, සමානව පිහිටිය යුතු ය. බුද්ධිමත් ව ජීවිතයට එන ගැටලු මෙන් ම අපහසුතා ද විසඳාගත යුතු ය. එවන් ගුණ ධර්ම සහිත පවුල් ජීවිත ඉතා වාසනාවන්ත වෙයි. එවන් ගුණ ධර්මයන්ගෙන් පිරුණු පවුලකට ලැබෙන දරුවන් ඉතා වාසනාවන්ත දරුවෝ වෙති.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]