දුරුතු පුර අටවක පෝ දා 2024-01-18
අරපිරිමැස්ම පුරුදු වෙමු
බෞද්ධයාගේ ඒකායන අරමුණ විය යුතු අනේක දුක් සහිත ඝොර සසර මඟ යන අනවරත ගමන නතර කොට
උතුම් නිවන් මඟට අවතීර්ණ වීම ය. ඒ යන ගමනේ දී ලොෟකික ජීවිතයත්, ලෝකෝත්තර ජීවිතයත්
යන දෙ අංශය ම පරිහානියට යෑම වළක්වා ගැනීම සැබෑ බෞද්ධයාගේ ස්වභාවය වන්නේ ය.
ලෞකික දියුණුව නිවන් මඟට පෙරගමනකි. එහි යම් නොදියුණු බවක් වේ නම් නිවන ද ප්‍රමාද ය.
එදිනෙදා ජීවිතය ගෙන යාමට තරම් ප්‍රමාණවත් ආර්ථිකයක් නැති, ආහාර වේල පවා සරි කර
ගන්නට නොහැකි පුද්ගලයකුට ඒ සඳහා වෙහෙසෙනවා මිස ආධ්‍යාත්මික සංවර්ධනයක් ගැන සිතීමට,
බණ භාවනාවන්හි නිරත වීමට ඉතා අසීරු ය. එහෙයින් අප පළමුව ගිහි ජීවිතය සාර්ථක කර
ගැනීමට වෙහෙසිය යුතු ය.
ඒ සඳහා ශ්‍රී සද්ධර්මයෙහි ඕනෑ තරම් මඟපෙන්වීම් ඇත. ඒ කරුණු බොහෝ දෙනා දැන උගෙන
සිටිය ද, මනසින් හොඳින් ග්‍රහණය කොට විමසා බලා ජීවිතයට එක් කර නොගැනීම නිසා ය, අද
බොහෝ පිරිසක් ජීවිතය ජීවත් කර වීම පවා දැඩි සේ අසීරු කොට දකිනුයේ.
තථාගතයන් වහන්සේ ධම්ම පදයේ දේශනා කොට ඇති පරිදි
යාව ජීවම්පි චෙ බාලො - පණ්ඩිතං පයිරු පාසති
න සො ධම්මං විජානාති - දබ්බී සූපරසං යථා
බාලයා මොනතරම් ධර්මය ඇසුවත්, දැන ගත්තත් ධර්මය අවබෝධ කර නොගනී. මොන තරම් මාලු පිනි
හැඳි ගෑවත් හැන්ද එහි රසය නොදන්නා සේ ය.
එහෙත්, මුහුත්තම්පි චෙ විඤ්ඤු - පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති - ජිව්හා සූප රසං යථා
පණ්ඩිතයා, බුද්ධිමතා එක බණ පදයක් ඇසීමෙන් වුව ද ධර්මය අවබෝධ කර ගනී. මාලු පිනිවල
රසය දිව හඳුනා ගන්නවා සේ ය.
එහෙයින් ධර්මය ඇසීමෙන්, කියවීමෙන් පමණක් සෑහීමකට පත් නොවී නුවණින් විමසා එසේත්
ග්‍රහණය කර ගත නොහැකි නම් ධර්මය දන්නා කල්‍යාණ මිත්‍රයකුගෙන් එහි අර්ථ අසා දැන
ජීවිතයට එක්කර ගත යුතු ය.
බුද්ධ කාලයේ පවා ඇතැම් පිරිස් ධන ධාන්‍යයෙන් ආඪ්‍යව සිට පිරිහුණු ආකාරය අපි අසා
ඇත්තෙමු. ඉතා දිළිඳුව සිට මහා ධන සිටුවරු බවට පත් වූ නුවණැත්තෝ ද වෙති. මිනිසා යන
නාමය ම ලැබී ඇත්තේ උසස් මනසක් ලැබී ඇති නිසා ය. එහෙයින් ඒ මනස මෙහෙයවා කල්පනාකාරීව
ජීවිතය ගෙන යන්නේ නම් අපි ඉන්නා තැනින් ඉහළට යනු මිස පහළට නොවැටෙනු ඇත.
පවුලක ආර්ථිකය පිරිහෙන කරුණු සතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා
කොට වදාළහ. නැසුණු දෙය යළි සොයා නොගැනීම, දිරාගිය හෝ ඉරීගිය, අබලන් වූ දේ නැවත
අලුත්වැඩියා කර නොගැනීම, ආහාරපාන පිළිබඳ ප්‍රමාණය නොදැනීම හා දුසිල්වත් ස්ත්‍රියක
හෝ පුරුෂයකු හෝ නිවෙසේ මිල මුදල් කළමණාකරණය කිරීම ය.
මීට දශක තුන හතරකට පෙර විශේෂයෙන් ගම්බද නූල් බෝලයක්, ඉදිකටුවක් නොමැති නිවසක්
නොවුණි. ඒ ඉරී ගිය ඇඳුමක් මසා ගන්නට ය. අද එවැනි නිවෙසක් පවා සොයා ගැනීම අසීරු ය.
අරපිරිමැස්මක් ඇත්තේ ම නැත. පරිහරණය කරන ඇඳුමේ සිට ම යම් තරමකට හෝ අබලන් වී නම්,
නැවත පිළිසකර කර ගන්නට උනන්දු වන අය අඩු ය. සුළුවෙන් සිතුව ද මෙවැනි දුර්වලකම් අපගේ
ආර්ථිකය ටිකෙන් ටික පහතට ඇද දැමීමට සමත් ය.
දුසිල්වත් වු පුද්ගලයාට තැනක් නොතැනක් නැත. යහපත අයහපත නොහඳුනන හෙතෙම අනවශ්‍ය දේට ද
මුදල් පරිහරණය කරයි. එය පිරිහීමට කරුණකි.
සම්බුදු දහම තුළ ජීවිතයට වටිනා ගුණධර්ම අපමණ අන්තර්ගත ය. ඒවා හොඳින් ග්‍රහණය කොට මේ
ජීවිතය අර්ථවත් කර ගනිමු. පරලොව දියුණුව ද ලබමු. |