[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිරවුල් මනසින් මිථ්‍යාව පිටුදකිමු

නිරවුල් මනසින් මිථ්‍යාව පිටුදකිමු

මාස කිහිපයකට පෙර, පසුගිය වසරේ නොබෙල් සම්මානය ලැබුණ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කෙරිණ. මානව ජීවිතය ශක්තිමත් කරවීමට දායක වූ මිනිසුන්ගේ ජීවන තොරතුරු දැන ගැන්මට ඉමහත් රුචිකත්වයක් දක්වන මා ඒ අයගේ නම් නිවේදනය කෙරෙන තෙක් පසුවූයේ දැඩි කුතුහලයකිනි.

ඒ අතර ම, සමහර අවස්ථාවල මට මෙවන් අදහසක් ද ඇති වෙයි. මේ ලෝකයට මොන ම ප්‍රයෝජනයක් හෝ නොමැති, අතිශයින් විනාශකාරී සොයා ගැනීම් කරන, අදහස් දරන, එවන් දේ ලියා පළ කරවන මිනිසුන් සොයා ඒ සා මෝඩකම් කළ හැකි මිනිසුන් ද සිටින බව වාර්ෂික ව හෙළිදරව් කෙරෙන වැඩ පිළිවෙළක් ද අවශ්‍ය බව ය. එයට සමහර විට ‘අධමයා සම්මානය,’ යැයි නම් කිරීමට ද හැකිවනු ඇත. එවන් සම්මානයක් පිහිටුවා, එම සම්මාන ලාභියා නිශ්චය කෙරෙන කමිටු සාමාජිකත්වයක් මට ද ලැබුණේ නම්, මේ වසරේ එම සම්මානය ලබා දෙනුයේ, බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි උපන්නේ යැයි කියනවුන්ට ය. ​

ඒ අතර ම, අඩු ම තරමින් සිනහ දනවන මේ අදහස තහවුරු කළ හැකි පරමාණුවක් තරම සාක්ෂියක් වත් නොමැති නිසා, මානව සමාජයෙහි මෙතෙක් පහළ වූ උත්තරීතර ම මිනිසා වන බුදුන් වහන්සේ ඉන්දීය අර්ධද්වීපය තුළ උපත ලැබූ, මුළු ජීවිත කාලය ම ඉන්දියාවෙහි ජීවත් වූ, ඉන්දියානුවකු බව තහවුරු කෙරෙන කන්දක් පමණ වූ සාක්ෂි අතරින් කිසියම් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නට මම අදහස් කළෙමි. ​

1. මුළු ත්‍රිපිටකය පුරා ම, අද අප ඉන්දියාව යැයි පවසන අර්ධද්වීපය දැක්වෙන්නේ ජම්බුද්වීපය නමිනි. එය, බුදුන් වහන්සේ වර්ණනා කරන්නේ, “මෙ දඹදිව, මනරම් උයන්, ප්‍රසන්න වන ගහණයන්, සුව දනවන තැනි බිම් සහ විල් තිබෙන්නේ ඉතාමත් ම ස්වල්පයකි. බහුල ව ඇත්තේ, හෙල්, ශුෂ්ක පෙදෙස්, පහසුවෙන් තරණය කළ නොහැකි සා ගංගා, තියුණු කටු සහිත පඳුරු සහ ගස් මෙන් ම, ළඟාවිය නොහැකි උස් කඳු මුදුන් ය.” (අංගුත්තර නි. ඒකක නි. අප්පමත්තක වග්ග, පළමුවන සූත්‍රය) ඉන්දියාව පිළිබඳ තරමක් හොඳ විස්තරයක් වන මෙය, ශ්‍රී ලංකාවේ භූ විෂමතා සමග කෙසේ වත් සැසඳීය නොහැක. කවුරුන් වුව ද එකඟ වනු ඇත්තේ, ශ්‍රී ලංකාව හරිත වර්ණයෙන් දිදුලන, සශ්‍රීකත්වයෙන් පිරී ගිය දිවයිනක් ය යන අදහසට ය. ශ්‍රී ලංකාවට ජම්බුද්වීප (දඹදිව) යන නම යෙදූ බවට කිසිදු සාහිත්‍යමය සාක්ෂියක් ඉන්දීය හෝ ශ්‍රී ලාංකික භූමියෙන් සොයා ගැනීමට නැත. ​

ඉන්දියා යනු ජම්බුද්වීපයට ලැබුණ ඉංග්‍රීසි නම ය. එය එන්නේ පෞරාණික ග්‍රීක සහ අරාබිවරුන් ඉන්දියාව හැඳීන්වීමට භාවිත කළ ‘සින්ද්,’ යන්නෙනි. සින්ද් යන්න ගැනෙන්නේ, සින්දු (ඉන්දු) ගංගාව නිසා ය. අද එය තිබෙන්නේ, පකිස්ථානයේ මිස, ශ්‍රී ලංකාවේ නොවේ. ​

2. බුදුන් වහන්සේ උපන් බිම උන්වහන්සේ විසිනුත්, උන්වහන්සේගේ සමකාලීනයනුත් හැඳීන්වූයේ, මධ්‍ය ප්‍රදේශය නමිනි. ඒ එය දළ වශයෙන් උතුරු ඉන්දියාවේ මැද කොටසහි පිහිටා තිබුණ නිසා ය. ශ්‍රී ලංකාවට මෙනම යෙදුන කිසිදු පෞරාණික තැනක් හමු නොවන අතර, එය හැම විට ම විස්තර කෙරෙන්නේ දිවයිනක් ලෙස ය. බුදුන් වහන්සේ ම සඳහන් කරන අයුරින් උන් වහන්සේ වැඩසිටි සමයෙහි ජම්බුද්වීපය අංග, මගධ, කාසි, කෝසල ආදි ජනපද සොළසකට (දාසයකට) බෙදා තිබුණි. එවන් ජනපද සොළසක් ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙහි තිබුණ බවට කිසිදු සාක්ෂියක් හමු නොවන අතර ම, අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, කුරුණෑගල, යාපහුව ආදි ඉපැරැණි රාජධානි හෝ රුහුණු, පිහිටි, මායා යන බෙදීම් ගැන තොරතුරු කිසිදු ඉන්දීය මූලාශ්‍රයක සඳහන් නොවේ. ඒ අතර ම, මගධ රටෙහි අගනුවර වූ රජගහනුවර, කෝසල ජනපදයෙහි අගනුවර වූ සැවැත්නුවර, වත්ස ජනපදයෙහි අගනුවර වූ කොසඹෑ නුවර පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත ව හෙළි කරගෙන තිබෙන අතර, නිශ්චය වශයෙන් ම ඒ ඒ නගරවල නටබුන් අතරින් මතු කර ගත් ශිලා ලේඛනවලින් ඒවා ඒ තැන්වල පිහිටා තිබුණ බව තහවුරු කර තිබේ. බුදුන් වහන්සේ ද වැඩමකළ මේ සියලු නගර ඇත්තේ උතුරු ඉන්දියාවේ මිස, ශ්‍රී ලංකාවේ නොවේ. ​

3. ශාක්‍ය ජනපදය සිය ජන්ම භූමිය (ජාතිභූමක) බව බුදුන් වහන්සේ ම සඳහන් කරන්නේ, රථ විනීත සූත්‍රයෙහි ය. සුවිශේෂයක් නොමැති ව සියලු ඉපැරැණි මූලාශ්‍ර සඳහන් කරන්නේ, ශාක්‍ය ජනපදය සහ එහි අගනුවර කපිලවස්තුව තිබෙන්නේ අද උතුරු ඉන්දියාව නමින් හැඳීන්වෙන ප්‍රදේශයෙහි බව ය. ක්‍රි. ව. පස්වැනි සියවසෙහි ඉන්දියාවට පැමිණි චීන දේශාටකයින් පිරිසක් පැහැදිලි දේශාටන වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර සිටි හියුං සියෑං උතුරු ඉන්දියාවෙහි පිහිටි කපිලවස්තුවට පැමිණි බව දක්වන්නේ තමන් ආ ගමන් මාර්ගය ද සහිත ව ය. කපිලවස්තුවෙහි ආරාමයක වැඩසිටි භික්ෂූන් සමග කථාබස් කරන ඔහුට සැබෑ කපිලවස්තුව නැරඹීමට නම් ශ්‍රී ලංකාවට යා යුතු යැයි ඒ කිසිදු භික්ෂුවක් පැවසූ බවක් නොකියයි. ​

4. භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වය වෙනුවෙන් පැනවුණ නීති රීති ඇතුළත් විනය පිටකය, චුල්ලවග්ග පාලිය බුද්ධ පරිනිර්වාණයෙන් සියවසකට පසු ව සිදු වූ දෙවන ධර්ම සංගායනාව සහ එයට නායකත්වය දුන් භික්ෂූන් වහන්සේ මෙන් ම අනුග්‍රහය දැක්වූ දේශපාලන නායකත්වය පිළිබඳ දිග විස්තරයක් ඉදිරිපත් කරයි.

එය පවසන ආකාරයට “පුරත්ථිමේසු ජනපදේසු බුද්ධ භගවන්තෝ

උප්පජ්ජන්ති.” (තථාගතයන් වහන්සේ ජන්මලාභය ලබනුයේ නැඟෙනහිර

දිසාවෙහි තිබෙන ජනපදයන්හි ය.) ‘උප්පජ්ජන්ති’ යන පාලි වදනයෙහි අදහස උපදිති හෝ බිහිවෙති, යන්නයි. ​

පුරත්ථිමා සහ ජනපදා යන වචන වෙනුවෙන් කතා කරන්නට තිබෙන්නේ මොනවා ද? බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතෙහි මඩකළපුව හෝ අම්පාර පෙදෙස්වල උපන් බවක් මෙයින් අදහස් වේ ද? කල්මුණේ, උහන, පුල්ලදිපුත්ති ප්‍ර‍දේශ ගැන අදහස කුමක් ද? විකාර කථාවක් සේ පෙනෙන පරිදි කැමැති නම් කෙනෙකුට මෙසේ තර්ක කළහැකි ය. ​

මුලින් සඳහන් කර තිබෙන පරිදි, මධ්‍ය ප්‍රදේශය සැබැවින් ම තිබෙන්නේ ඉන්දියාවෙහි නම්, චුල්ලවග්ගපාළිය මේ පුරත්ථිම දිසාවක් හෙවත් නැගෙනහිර පළාතක් ගැන කියන්නේ ඇයි? ​

බුදුදහම පැතිරුණ මුල් දශක කිහිපයෙහි එය ගන්ධාර දේශය සුවිශේෂ කොට ගනිමින් ක්‍රමයෙන් දඹදිව සිසාරා පැතිරුණි. මධ්‍ය ප්‍රදේශයට බටහිර බිම් කඩක් වූ ගන්ධාරය අද උතුරු පකිස්ථානයට ඇතුළත් වන අතර, සමහර කොටස් ඇතුළත් වන්නේ, ඇෆ්ගනිස්ථානයට ය. මෙනිසා මධ්‍ය දේශය පිහිටන්නේ ගන්ධාරයට නැඟෙනහිරින් බව මෙහි දී පැහැදිලි ය.​

5. බුද්ධ වර්ෂයෙන් 249 වන වසරෙහි බුදුන් වහන්සේ ජන්මලාභය ලැබූ ලුම්බිණියට වන්දනා ගමනක් යන අශෝක අධිරාජයා, ඔහුගේ ගමන සිහිවීම පිණිස වටිනා ටැම්ලිපියක් පිහිටුවා තිබේ. බුදුන් වහන්සේ එම ස්ථානයෙහි ජන්මලාභය ලැබූ බව එම ටැම් ලිපියෙහි සඳහන් වේ. මෙම ටැම්ලපිය පිහිටවූ දින සිට අද දක්වා එහි කිසිදු වෙනසක් වී නොමැත. ​

සියවස් ගණනාවකට ඉහත පිහිටවූ අයුරින් ම අදත් දක්නා ලැබෙන එය 1867 දී කෙරුණ විමර්ශනයකින් පසු ව, බ්‍රිතාන්‍යයන් විසින් දේශසීමා නිර්ණය කරන තෙක් තිබුණේ ඉන්දියාවෙහි ය. දේශ සීමා නිර්ණයෙන් පසු ව නේපාලයට ඇතුළත් වන එය, 1867 දී සැවොම දැක ගන්නා තෙක් තිබුණේ ඉන්දියාවෙහි ය.​

6. උතුරු ඉන්දියාවේ නේපාල දේශ සීමාවට ආසන්න පිප්ඵාව නම් ගමෙහි සුවිසල් ගොඩැල්ලක 1897 දී කැණීමක් කර තිබේ. වල් පැළෑටිවලින් වැසී ගොස් තිබුණ එහි කණ්ඩිය තෙක් කැණීම් කරගෙන යන විට පැහැදිලි වී ඇත්තේ, ඒ ගොඩැල්ල සැබැවින් ම ඉපැරැණි බෞද්ධ ස්ථූපයක නෂ්ඨාවශේෂයක් බව චය. මෙනිසා, එහි ඇත්තේ කුමක් දැ’යි දැන ගැන්ම සඳහා ම දිගින් දිගට ම කැණීම කරගෙන යාමට තීරණය කර තිබෙන අතර අවසානයේ ශිලා ලේඛනයක් සහිත වැලි ගලෙන් නිමැවූ මංජුසාවක් හමු වී තිබේ. උතුරු ඉන්දියාවෙන් හමුවී තිබෙන ඉපැරැණි ම අභිලේඛනය වන එයින් කියැවෙන්නේ, “ශාක්‍යයන්ට අයත් මෙම සර්වඥ ධාතු කරඬුව සුකීර්ති සොහොයුරන්, සොහොයුරියන්, පුතණුවරුන් සහ බිරින්දෑවරුන්ගේ පරිත්‍යාගයකි,” යන්න ය.

1970 වැනි වසර මුල් භාගයේ, ශ්‍රේෂ්ඨ ඉන්දියානු පුරා විද්‍යාඥයකු වන කේ. එම්. ශ්‍රීවස්තව පිප්ඵාව කැණීම් තවදුරටත් කරගෙන යන්නේ, බොහෝ විද්වතුන් විශ්වාස කළ පරිදි එය බුදුරජාණන් වහන්සේ උපන් ගම වන කපිලවත්ථු ව ම දැ’යි සොයා බැලීම සඳහා ය. එම කැණීමෙහි දී ඔහුට මැටියෙන් කළ සන්නස් 40ක් හමුවූ අතර, ඒවා ලියා තිබී ඇත්තේ, ඉපැරැණි ඉන්දියානු භාෂාවකිනි.

ලුම්බිණියෙහි හමුවන අශෝක ස්ථම්භය ද ඉන්දියානු භාෂාවකින් ලියැවී තිබෙන අතර, ඒ දෙකෙන් ම බුදුන් වහන්සේ ඉන්දියාවෙහි උපත ලැබූ බව සනාථ කෙරෙයි. ඉපැරැණි වකවානුවලට අයත් කිසිදු සටහනක කපිලවත්ථු හෝ ලුම්බිණිය ශ්‍රී ලංකාවෙහි තිබුණ බවක් සඳහන් වේ ද? ​

7. දීපවංස, මහාවංස, ථූපවංස, ත්‍රිපිටකයට ලියැවුණ අටුවා සහ ටීකා හැම අංශයකින්ම ම පිළිගන්නේ, බුදුන් වහන්සේ ඉන්දියාවෙහි උපත ලැබූ බව ය. දීපවංස සහ මහාවංස ග්‍රන්ථයන්ට අනුව, ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දීමට සිය පුතණුවන් වූ මහින්ද මහරහතන් වහන්සේ එවනු ලබන්නේ, අශෝක අධිරාජයා ය.

නමුත්, බුදුන් වහන්සේ ශ්‍රී ලාකික සිංහලයකු වී නම්, සිදුවිය යුතු ව තිබුණේ එහි අනෙක් පැත්ත වන දෙවනපෑතිස් රජතුමා සිය පුතණුවන් බුදුදහම හඳුන්වා දීම සඳහා අශෝක අධිරාජයාගේ රාජ සභාවට යැවීම ය.

බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි උපත ලැබූ බව පැවසීම වසර 2000 ක ඉතිහාසය හා සම්ප්‍රදාය ඔලුවෙන් හිටවීමක් වන අතර ම, දීපවංස සහ මහාවංස යන කෘති පළක් නොමැති බොළඳ නවකථා සේ සලකා පසෙක ලෑම විය හැකි නමුත්, සෑම ඉතිහාසඥයෙකු ම පාහේ එකඟ වන්නේ ඓතිහාසික වශයෙන් නිවැරැදි තොරතුරු විශාල ප්‍රමාණයක් ඒවායේ අඩංගු බවයි. ​

8. බුදුන් වහන්සේ පහළ වූයේ ඉන්දියාවේ බව කීමට තව කොතෙකුත් සාක්ෂි පෙළ ගැස්විය හැකි නමුත්, මෙය ප්‍රමාණවත් විය හැකි ය. ඇදහිය නොහැකි අදහසක් නිෂ්ප්‍රභ කිරීමට තවත් කාලයක් ගත කිරීමෙන් පළක් නැත. ඒ අතර ම, පැහැදිලිව ම වැරැදි අදහසක් පිළිගෙන එය උත්කර්ෂයට නැංවීම කෙනකුට කළහැකි වන්නේ කෙසේ ද?

ඉන්දියානු සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ සියලු ඉතිහාසඥයන්ගේ, සියලු බෞද්ධ විද්වතුන්ගේ ඒකමතික සම්මුතියට පමණක් නොව, පසුගිය වසර 2,500 ක් තිස්සේ ලෝක බෞද්ධයන්ගෙන් 99.009% කගේ විශ්වාසයට පටහැනි ව කෙනකු විරුද්ධ අදහසක් ගොතනු ඇත්තේ කුමක් නිසා ද? එය සරල පොදු නොදැනුවත්කම විය හැකි නමුත්, පෙනෙන හැටියට මෙහි අමුත්තක් තිබේ. විශේෂයෙන් ම, බුදුදහම පිළිබඳ දැනුමක් තිබෙන බහුතරයක් සිටින රටක ජීවත් වන මොන ම අධ්‍යාපනයක් හෝ ලැබූ අයකුට හෝ බුදුන් වහන්සේ ඉන්දියානුවකු බව නොදැන සිටිය නොහැකි අතර, මේ මතය දැරීමට වෙනත් කිසියම් හේතුවක් තිබිය යුතු ය. විය හැකි තවත් දෙයක් වන්නේ, සමාජ-මනෝවිද්‍යාඥයන් හඳුනාගෙන තිබෙන පෞරුෂ ගැටලුවකි.

හේතුව කුමක් වුව ද, සමහරුන්ට මහජනයා ඉදිරියෙහි කාගේත් අවධානයට ලක් වෙමින් කැපී පෙනීමේ අවශ්‍යතාව ඇති වෙයි. එවන් පිළිගැනීමකට ලක් වීමට අවශ්‍ය අපූර්වත්වයක්, කුසලතාවක් හෝ ගුණාංගයක් ඔවුනට නොමැත. එනිසා, ඔවුන් විශ්වාසයක් හෝ සමහර විට ඇඳුම් විලාසිතාවක් අනුගමනය කරන අතර, සෑම කෙනකු ම ඔවුන් ගැන කතා කරන්නකු බවට පත්වීමට පටන් ගනී. ​

ඒ අතර, අනුන්ට රිදවීමෙන් අමන ආස්වාදයක් ලබන්නවුන් ද සිටිති. මේ සඳහා ඔවුන් කරන එක් දෙයක් නම්, අන් අය ඔවුන් වැරැදි බව ඒත්තු ගැන්වීමට උත්සාහ කරන අතර ඔවුන් එසේ කිරීමට අපොහොසත් වූ විට කළකිරීමට පත්වන තරමේ කිසියම් පරිබාහිර දෙයක් විශ්වාස කරන බව මවා පෑමයි.

මේ අයුරින් හැසිරෙන අය පිළිබඳ උදාහරණ කොතෙකුත් තිබේ. ලෝකය පැතලි දෙයක් යැයි තර්ක කරන්නවුන්, නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පැතැබීම මනඞකල්පිතයක් ය, ෂේක්ස්පියර්ගේ නිර්මාණ ලෙස පිළිගැනෙන කවි, නාට්‍ය ක්‍රිස්ටෝපර් මාලෝව්ගේ රචනාවන් ය ආදිය ඉන් සමහරෙකි.

සමහර විට මිනිසුන් මෙවැනි අන්තවාදී නියමයන් අනුගමනය කිරීමට පොළඹවන තවත් දෙයක් වන්නේ සුපිරි ජාතිකවාදයයි. ඔවුන් අවධාරණය කරනු ඇත්තේ, තමාගේ රට මෙන් ම වැසියන් ද අනෙක් හැම රටමත්, මිනිස් ප්‍රජාවක්මත් අභිබවා සිටින්නේ ය යන්නයි. ඔවුනට හැඟෙනුයේ, සමහර ශ්‍රේෂ්ඨ පෞරුෂ ලක්ෂණ ආරෝපණය කරගත් කෙනෙකු ළඟින් හිඳීමින් හෝ තම රට ජාතියේ මහිමය ලොවට පෙන්විය හැකි නම් යහපත් බව ය. ඔහුගේ සුප්‍රකට “සියලු

ශ්‍රේෂ්ඨ මිනිසුන් ප්‍රංශ ජාතිකයන් ය,” යන ප්‍රකාශය කරන සමයෙහි නැපෝලියන්ට මෙම මානසිකත්වය උත්සන්ව තිබෙන්නට ඇත. “මානව සංහතියේ ඉහළ ම තැන සිටිනුයේ ජර්මානු ජාතික ආර්යයන් ය,” යන ප්‍රකාශනය කරන සමයෙහි ඇඩොල්ෆ් හිට්ලර්ට තිබෙන්නට ඇත්තේ ද මෙම මානසිකත්වය ය.​

කෙසේ නමුත්, බුදුන් වහන්සේ ශ්‍රී ලාංකිකයකු ය යන අදහස හානිකර රැවටිල්ලකට, පෞරුෂ ඌනතාමය ගැටලුවක් හෝ හුළං පිරවූ මමත්ව හැඟීමකට වඩා වැඩිමනත්, අතිශය හානිදායක දෙයකි. අද එය කිහිප දෙනෙකු අතර තිබෙන අදහසක් වුවත් එයට මහා වියවුලක්, සැකයක් සහ භේදයක් ලොවපුරා පතළ කරවිය හැකි ය. එය ධර්මයේ යහපතට කිසිසේත් හේතු නොවනු ඇත. “සත්‍ය මේව ජයතේ,” සත්‍ය ජයගනු ඇතැ’යි අශෝක අධිරාජයාණන් පවසා තිබෙන්නේ බොහෝ කලකට පෙර ය. මේ පිළිබඳ ව ද එය ම සැබෑ වනු ඇත.​

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]