[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නේක වර්ණ පිපි කුසුමන් සිරිපා පා යුග මත පූජා වේවා!

නේක වර්ණ පිපි කුසුමන් බුදු සිරිපා අබියස පූජා වේවා!

බුදුසසුනත්, සුපිපි කුසුමත් අතර ඇත්තේ එකිනෙකට වෙන් කළ නොහැකි අන්‍යොන්‍ය සැබැඳියාවකි. අප බුදු පුදට සැරසෙද්දී අපට මුලින්ම සිහි වන්නේ මල් පූජාව යි. ඒ සමීප සබඳතාවය නිසයි. සුපිපුණ මලින් තොර බුද්ධ වන්දනාව විශාල අඩුවක් ලෙස අප හදවත්වලට දැනෙනවා. එවැන්නක් ගැන සිතීම පවා අපට ඇති කරවන්නේ හිස් ස්වභාවයක්. සියුම් කණස්සල්ලක්.

සුපිපුණ මල් ලොව ඇති සුන්දරම දෙයක්. නේක පැහැයෙන් මෙන්ම නේක හැඩයෙන් ද ලොව සුන්දර කරන මල් අප සෑම දෙනාගේ ම සිත් සතුටු කිරීමට, ආකර්ෂණය කිරීමට සමත් වෙනවා. දුටු විගස ඕනෑම සිතක් සනසාලීමට විකසිත කුසුමකට හැකියාව තිබෙනවා. කෙ තරම් ඒ දෙස බලා සිටියත් මල්වල සුන්දරත්වය අත්විඳීමේ තෘප්තිය එපා නො වන්නේ විකසිත කුසුමේ තිබෙන ස්වභාව සෞන්දර්ය නිසායි.

නමුත් විකසිත කුසුම කෙ තරම් සුවඳ වුවත්, විකසිත වුවත් දෙතිස් මහා පුරුෂ ලකුණින් ශෝභමාන වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අභියස දෙවැනි වෙනවා. සම්බදු සිරුර දකින ඕනෑම කෙනකුට තම සිත තුළ ඇති දුක, වේදනාව, සංතාපය, පහව ගොස් කුසුමක් මෙන් පිපෙන්නේ බුදුගුණවල ඇති ආනුභාවය නිසාම යි. එනිසා මුලු සක්වලම තිබෙන කුසුමන් ගෙනැවිත් බුදුරදුන් පිදුවත් අපගේ සිත්වලට ප්‍රමාණවත් නෑ.

භාග්‍යවතුන් වහන්සේගේ අචින්ත වූ, අපිරිමිත ගුණ සමුදාය හමුවේ ඒ පිදෙන මල් කුසුමන් ඉතා ස්වල්පයක්. එතරම් ගුණ සමුදායක් ඇති දෙතිස් මහ පුරුෂ ලකුණෙන් ශෝභමාන වූ අපගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් එකම මලක් පිදුවත් මහත් වූ පිනක් රැස් වෙන්නේ උන්වහන්සේගේ අනන්ත ගුණ නිසායි.

එකල වැඩ සිටි සිද්ධාර්ථ නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නිධන් කොට ඉදි වූ ඒ මහා ස්ථූපයට එක දුගී මිනිහෙක් මහත් වූ ශ්‍රද්ධාව පෙරටු කොට අපමණ ගුණකඳ මෙනෙහි කරමින් එකම එක දියබෙරලිය මලක් නෙළා බුදුගුණ මෙනෙහි කරමින් ස්ථූපයට පූජා කළා. පසුකලෙක ඔහු මිය ගියා. ඔහු කරගත් පින කෙතරම් බලවත් ද යත් ඔහු අසූපස් වතාවක් සක්විති රජකම කළා. දුගති ලෝකය ඉක්මවා ගොස් සුගති ලෝකයේ පමණයි ඉපදුණේ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි මනු ලොව ඉපිද පැවිදි වී උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක. සුන්දර දෙයක් වූ ඒ කුසුම විසින් සුන්දර වූ අමා මහා නිවන කරා යාමට උපකාරි වූ අන්දම ආශ්චර්ය නොවේ ද?

ශෝභමාන වූ බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ අසිරිමත් බුදුගුණ සිහි කර ගෙන කොසොල් රජුගේ අගමෙහෙසියගේ කුසේ පිළිසිඳ ගත්තා. ඇය උපන් දවසේ ම සමන්මල් වර්ෂාවක් ඇඳ හැලුණා. ඒ නිසාම කොසොල් රජු ඇයට ‘සුමනා’ නම යෙදුවා.

මල්වල ඇති සුන්දරත්වය නිසාම ඒ මල් නෙත ගැටෙන විට සිත සුපහන් බවටත්, සුන්දර වූ හැඟීම් සමුදායකින් ප්‍රමුදිත බවටත් පත් වෙනවා. අපමණ ගුණ දරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් කෙනෙක් ශ්‍රද්ධා සිතින් මලක් පුදයි ද, ඒ පුණ්‍ය බලයට සියලු සැපත ගෙන දෙනවා.

අපගේ උප්පලවන්නා තෙරණිය ද එක් ජීවිතයක දී පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපුල් මල් පුදා සෑම ජීවිතයක දී ම මාගේ සිරුර උපුල්මල් පැහැයෙන් යුක්ත වේවා! කියා පැතුවා. ඒ අදහස එලෙසම මල්ඵල ගැන්වූවා. ඇය උපුල්මල් පැහැයෙන් යුතුව ඉපදුණු නිසා ඇය උප්පලවන්නා ලෙස ප්‍රසිද්ධ වූවා.

මල් යනු සුගති ලොවට අපව ගෙන යන සොඳුරු යානාවක් වගේ දෙයක්. යම් කෙනෙක් ඉතාමත් ශ්‍රද්ධා සිතින් එක මලක් හෝ තථාගතයන් වහන්සේ වෙත පුදයි ද, ඒ පිනම සැප ගෙන දීමට උපකාරි වෙනවා. එසේ තෙරුවන ගැන පැහැදීමෙන් සතුටු සිතින් විකසිත කුසුමක් පිදූ බොහෝ දෙනා දෙව්ලොව සැප විඳින ආකාර විමාන වත්ථූවෙහි සඳහන් වෙනවා.

එකල එක් ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් විසුවා. ඇය දිනක් වැටකොළු වැළකින් මල් හතරක් නෙළා ගෙන බුදුරදුන්ගේ ස්ථූපය වන්දනා කරන්නට පිටත් වූණා. ඇය ශාස්තෘන් වහන්සේගේ උතුම් ගුණකඳ සිහි කරමින් අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියකින් යුතුව ගමන් කරමින් සිටිද්දී සිදු වූයේ අනපේක්ෂිත දෙයක්. ස්ථූප වන්දනාවට යන අතර මඟදී ම කුලප්පු වූ ගව දෙනක් ඇනීම නිසා ඇය මිය ගියා. එසේ අවාසනාවන්ත ලෙස මිය ගිය ඇය නිදා පිබිදියා වගේ තව්තිසා දෙව්ලොව එක් සුන්දර දිව්‍ය විමානයක අපමණ දිව්‍ය සැප සහිතව සුන්දර දෙවඟනක් ලෙස ඕපපාතික උපතක් ලැබුවා. දිනක් සක් දෙවිඳුන් ඇය දැක ඇය කළ පින කුමක්ද? කියා විමසා සිටියා. ඒ දෙවඟන මෙසේ කියා සිටියා.

“ස්වාමීනි. මම ඒ වැටකොළු මල්හතර රැගෙන ගියේ ස්ථූපයට පූජා කර ගන්නට යි. නමුත් මට එය කර ගන්නට නොහැකි වූවා. ගව දෙනක් ඇනලා මම මරණයට පත් වුණා. මම මේ හැම සැපක් ම ලැබුවේ ඒ වැටකොළු මල් පූජා කිරීමේ චේතනාව නිසයි. මට පුළුවන් වුණා නම් ඒ මල් භාග්‍යවතුන් වහන්සේගේ ස්ථූපයට පූජා කර ගන්න මට මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.

මෙයින් අපට පැහැදිලියි හැම දෙයට ම බලවත් වන්නේ අපගේ සිතේ ඇතිවන ශ්‍රද්ධාව යි. මලක සුවඳ, පාට, වර්ණය එතරම් බලවත් වන්නේ නැහැ. පුණ්‍ය විපාකයට අපට අවශ්‍ය වන්නේ බලවත් පී‍්‍රතිය යි. ශ්‍රද්ධාව යි. කැමැත්ත යි. අපගේ ශ්‍රද්ධාව බලවත් නම් එක මල වුව ද වරදක් නැහැ බුදු පුදට එය කැපයි. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී හෝ උන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව හෝ යම් කෙනෙක් සම සිතින් මලක් පූජා කරන්නේ නම් විපාකය ද සම ලෙස ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ තරම් තුන් ලෝ වැසියන්ගේ පූජා ලබන්නට සුදුසු වූ වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් නැති තරම්. එනිසා ගාථා කියා හෝ නො කියා හෝ කුමණ මලක් වුව ද ශ්‍රද්ධා සිතින් කර්මඵලය විශ්වාසයෙන් පුදයි ද ඒ පින ඇතැම් විට නිවන කරාම අපව ගෙන යාමට තරම් බලවත් වෙනවා.

එලෙසම අප සිහි කළ යුතුයි මල් කෙතරම් සුන්දර වුව ද, පි‍්‍රයකරු වුව ද නෙළා ගෙන ඉතා කෙටි වේලාවකින් මැළවී, පරවී යනවා. ලොව ඇති සුන්දර සැම දෙයට ම අවසානයේ ඉතිරි වන්නේ අසුන්දර දෙයක්. සෑම දෙයක ම ඇති අනිත්‍යතාවය ලොවට පසක් වෙනවා. එනිසා කිසියම් ප්‍රයෝජනයකට නො ගෙන පර වී යන මලක් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිදුවොත් භව ගණනාවක් සුගති සැප මෙන්ම සසරින් නිදහස් වීමට උපකාරි වෙන බව නිතර අප සිහි කළ යුතුයි.

එනිසා ගෙවී යන සැම මොහොතක දීම ජීවිතයට පිනක් රැස්කර ගැනීමට සිත පහළ වේවා! පිපී පරවී යන සැම කුසුමක් ම භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා වේවා! දුක්ඛිත මේ භව සසරින් එතෙර වීමට වාසනාව උදාවේවා!

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]