[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙවිනුවර : දේව නගරය පිළිබඳ ඓතිහාසික විමර්ශනයක්

දෙවිනුවර : දේව නගරය පිළිබඳ ඓතිහාසික විමර්ශනයක්

ලක්දිව දකුණු කෙළවර වශයෙන් හඳුනාගෙන තිබෙන දෙවුන්දර පුරවරය ශාසනාරක්ෂක උපුල්වන් දෙවිඳුන්ගේ පුරවරය යන අදහසින් දෙවිනුවර වශයෙන් හඳුන්වනු ලැබේ.

මහින්දාගමනයෙන් පසු අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් පිහිට වූ ස්ථානයක් වශයෙන් සලකනු ලබන දෙවිනුවර පුදබිම ආදි අනුරාධපුර යුගයේ පටන් ලක් ඉතිහාසයේ සෑම යුගයක දී ම සම්භාවනාවට පත් වී තිබේ. ග්‍රීක ජාතික ටොලමි නිර්මාණය කළ ප්‍රථම ලෝක සිතියමට ද මෙම නගරය ඇතුළත් වීමෙන් එවක ජාත්‍යන්තරයේ ද ප්‍රසිද්ධියට පත් වී තිබූ නගරයක් බව විද්‍යාමාන වෙයි.

දාපුළුසෙන් නිරිඳුන් කළ ඛදිරාලි විහාරය හෙවත් කිහිරැලි විහාරය දෙවිනුවර මහා විහාරය බව ඉතිහාසඥයන්ගේ මතයයි. පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ,

පතිට්ඨිස්සති දේවින්ද - ලංකායං මම සාසනං
තස්මා සපරිවාරන්තං - රක්ඛ ලංකඤ්ච සාධුකං

යනුවෙන් මතු කාලයේ තමන්වහන්සේගේ ශාසනය ස්ථායීව පවත්නා ලංකාද්වීපයට ගොඩබසින විජය කුමරුන් වෙත ආරක්ෂාව සලසන මෙන් සක් දෙවිඳුන් වෙත පැවරූ බවත්, සක් දෙවිඳුන් වෙතින් එම වගකීම් පැවරුණු උපුල්වන් දෙවිඳුන් කිහිරි කඳක වෙසින් මුහුදේ සිට පැමිණ දෙවුන්දරට ගොඩ බට බවත් කියැවේ.

දෙවුන්දර විහාරය ආශ්‍රිත උත්පලවණ්ණ දේවාලයේ ආරම්භය වශයෙන් සලකන්නේ මෙම පුවත යි. විවිධ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පුද පූජා ලබමින් සකලාංග පරිපූර්ණ විහාර සංකීර්ණයක් වශයෙන් පැවතුණු දෙවිනුවර විහාරය ආශ්‍රිතව පුරාණ අෂ්ටායතන අතුරින් එකක් වූ ගලතුරුමූලය පැවතුණු බව පිළිගෙන තිබේ.

දඹදෙණි යුගයේ සුවිසල් දියුණුවට පත් මෙම පුද බිම කෝට්ටේ යුගයේ කෙතරම් විචිත්‍රවත් අන්දමින් දෙස් විදෙස් බැතිමතුන් අතර වන්දනීයත්වයට පත් වූයේ දැයි සන්දේශ කාව්‍ය තුළින් පැහැදිලි වෙයි.

පෘතුගීසි ආක්‍රමණ හමුවේ මුළුමනින් ම විනාශයට පත් දෙවිනුවර පුදබිම පසුකාලීනව නවීකරණය වුව ද මෙම පුරවරයේ විසිරී ඇති නටබුන් අනුව පෙර පැවති ශ්‍රී විභූතිය හඳුනා ගැනීමට එය බාධාවක් නොවෙයි.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක ජෛව වෛද්‍ය විද්‍යාව හදාරන අවසන් වසර විද්‍යාර්ථියකු වන අභිෂේක් යසස්ථි රන්දෙණිය තරුණ ලේඛකයා දශකයකට ආසන්න කාලයක් සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම කෘතිය එළිදක්වා තිබේ. දෙවිනුවර පුරවරයේ භූගෝලීය පිහිටීම, ඉතිහාසය, විහාරස්ථානයේ සහ දේවාලයේ ආරම්භය හා විකාශනය, දේවාලය හා පුරවරය සමඟ බැඳුණු පුද සිරිත් සහ සංස්කෘතිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් පාඨකයා වෙත පිරිනැමීමට කතුවරයා දරා ඇති උත්සාහය සෑම අතින් ම සාර්ථක වී ඇති බව සඳහන් කළ යුතු ය.

විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබන විද්‍යාර්ථියකු තම අධ්‍යයන විෂයය ක්ෂේත්‍රයෙන් බැහැරව සිදු කළ මෙම පර්යේෂණය සැබැවින් ම අගය කළ යුත්තකි.

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]