[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සියල්ලන්ට ම උරුම වන දායාදය

සියල්ලන්ට ම උරුම වන දායාදය

තරගකාරී මිනිස් සමාජය දෙස විමසිලිමත්ව බලන විට, මිනිසුන් අතර නොයෙක් තරාතිරමේ උස් පහත්කම්, වෙනස්කම් දක්නට ලැබෙන බව ඔබට පෙනෙනවා. එසේම සමහර අය බොහෝ කල් ජීවත් වෙනවා. සමහර අය අඩු වයසින් මැරෙනවා. සමහර අය බොහොම නිරෝගිව ඉන්නවා. සමහර අය රූප සොබාවෙන් ඉතාමත් ලස්සනයි. සමහර අය උසස් කුලවල මහේශාක්‍යව උපදිනවා. සමහර අය පහත් කුලවල අන්ත දුක්ඛිතව උපදිනවා. සමහර අය ප්‍රඥාවන්තයි. තවත් අය දුෂ්්ප්‍රාඥයි. මේ ආකාරයේ මිනිසුන් තුළ විවිධත්වයක් ඇති වන්නේ ඇයි ද? යන ප්‍රශ්නය ඔබට ද නිරන්තරව ඇති වන්නට ඇත.

මෙවැනි ප්‍රශ්න රාශියක්, බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසෙන කාලයේ දවසක් තෝදෙය්‍ය කියන බ්‍රාහ්මයණයාගේ පුතා වන සුබ නමැති තරුණයාටත් ඇතිවූවා.

ඔහු බුදුරජාණන් වහන්සේ මුණගැහිලා සුහද පිළිසඳරකින් පසුව බුදුරජාණන් වහන්සේගෙන් “පින්වත් ගෞතමයාණන් වහන්ස, මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන් අතර නොයෙක් උස් - පහත්කම්, වෙනස්කම් දකින්න ලැබෙනවා. සමහරු බොහෝ කල් ජීවත් වෙනවා. සමහරු අඩු වයසින් මැරෙනවා.” යනාදී වශයෙන් උන්වහන්සේගෙන් අහන අතර “මේ වගේ විශාල වෙනස්කම් ඇති වන්නට හේතු වන කරුණු මොනවාද?” කියා අසනවා.

හැබැයි සුබ තරුණයා ඒ වන විටත් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා හිටියේ නැහැ.

බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. “පින්වත් තරුණය, සියලු සත්ත්වයෝ තමාගේ දේ කර ගෙන සිටින්නේ කර්මයයි. කර්මය උප්පත්ති ස්ථානය කර ගෙන කර්මය දායාද කර ගෙනයි, ඉන්නේ. කර්මය තමයි හැමෝගෙම නෑදෑයා. කර්මය පිළිසරණ කර ගෙනයි මේ සියලු දෙනා ජීවත් වෙන්නේ. අන්න ඒ කර්මය විසින් තමයි මේ සත්ත්වයින් අතර දැන උගත්කම් ඇති කරලා තියෙන්නේ.”

සුබ තරුණයාට මෙය එතරම් තේරුම් ගියේ නැහැ. සුබ තරුණයා කියනවා

“අනේ පින්වත් ගෞතමයන් වහන්ස, කෙටියෙන් කියන ලද එම කාරණය මට හරියට තේරුණේ නැහැ. ඒ නිසා විස්තර වශයෙන් කියලා දෙනවා නම් මම හරි කැමතියි.”

එවිට බුදුරජාණන් වහන්සේ “එසේ නම් පින්වත් සුබ, අහන්න, මම ඒ කාරණය විස්තර වශයෙන් කියලා දෙන්නම්” කියලා සුබ තරුණයා ඇතුළු සැම අරභයා මේ දේශනාව වදාළා.

“පින්වතුනි, මේ ලෝකයේ ඇතැම් මිනිස්සු ඉන්නවා රුදුරු අය, අත්වල ලේ ගාගෙන, නොයෙක් ආයුධ ඇතිව සතුන් මරනවා, සතුන් ගැන අනුකම්පාවක් නැහැ. ඔය විදිහට ජීවත් වෙන මිනිස්සු ඒ කර්මය හේතුවෙන් මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකයේ ඉපදුණොත් අඩු වයසින් මරණයට පත් වෙනවා.

මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා, සතුන් මැරීමෙන් වැලකිලා අවි ආයුධ අත ඇරලා සියලු සතුන් කෙරේ අනුකම්පාවෙන් ඉන්න. සතුන් මරන්න ලජ්ජයි. ඔය විදියට ජීවත්වෙලා ඒ කර්මය හේතුවෙන් මරණින් මතු සැප සහිතව දෙව්ලොව උපදිනවා. යම්කිසි හේතුවකින් මිනිස් ලෝකයේ ඉපදුණොත් දීර්ඝායුෂ ලබනවා.

මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා අත පයින්, ගල් මුගුරුවලින් ආදියෙන් සතුන්ට හිංසා පීඩා කිරීමෙන් ජීවත් වෙනවා. ඒ විදියට ඔවුන් රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මතු දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකයේ ඉපදුණොත් නිතරම නොයෙක් ලෙඩ රෝගවලින් පීඩා විඳිමින් ජීවත් වන්නට සිදු වෙනවා. කොයි මොහොතේ බැලුවත් මොකක් හරි අසනීපයකින් පීඩා විඳිනවා.

මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා අත පයින් හෝ ගල් මුගුරුවලින් ආයුධ ආදියෙන් හෝ සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකී ජීවත් වෙනවා. එසේ රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ සැප විපාක සහිත වූ සුගතිය නම් වූ දිව්‍ය ලෝකයේ උපදිනවා. මිනිස් ලෝකයේ ඉපදුණොත් ඉතාම නිරෝගී ජීවිතයක් ලබනවා.

මේ ලෝකයේ සමහර මිනිස්සු නිතරම ඉන්නේ තරහ ගිහින්. ඉතා පොඩි දේකටත් ගොඩක් තරහ ගන්න බලාගෙන ඉන්නේ. වෛරයෙන්, තරහින්, තදගතියෙන් පිරිලා ඉන්නේ.

ඒ අය නිතර සිත් තැවුලෙන් ජීවත් වෙනවා. ඔවුන් ඒ විදියට රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලොව ඉපදුණොත් දුර්වර්ණ වූ කැත රූපයක් තමයි ලැබෙන්නේ.

මේ ලොව සමහර මිනිස්සු ඉන්නවා. වෛරයෙන් පිරිලා නෑ. සුළු දේකටත්, ලොකුª දේකටත් තරහ ගන්නේ නැහැ. නොසතුටු බවක් දක්වන්නෙත් නැහැ. අන් අයගේ වැරැදිවලට සමාව දෙමින් සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් වාසය කරනවා. එසේ රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ සැප විපාක සහිත වූ සුගතියේ උපදිනවා. බැරි වෙලවත් මිනිස් ලෝකයේ ඉපදුණොත් ඉතා ලස්සන, සිත් ඇද ගන්නා සුළු රූපයක් ලබනවා.

මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සු අනිත් අයගේ යහපතට ඊර්ෂ්‍යා කරනවා. විශේෂයෙන් ම තමන් අකැමැති අය හොඳ ජීවිත ගත කරනවාට ඒ අය කැමති නැහැ. එමෙන්ම ඔවුන් තමන්ට නැති ගෞරව ලාභ සත්කාර, වැඳුම්, පිදුම්, කීර්ති, ප්‍රශංසා ලැබීම ගැන නොසතුටෙන් ඉන්නවා.

මේ ආකාරයට රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ දුක් විපාක සහිත වූ අපායේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකයේ ඉපදුණොත්, හරියට කෑමක් බීමක් නැතිව දුගී දුප්පත් පවුල්වල උපත ලබලා ජීවිතය ගෙවන්න සිද්ධ වෙනවා.

මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු දන් දෙන්න සැදී පැහැදී ඉන්නවා. ලෝභකමින් තොරව තියෙන පොඩි දෙයක් හරි හිතේ පැහැදීමෙන් දෙනවා. තමන්ගේ දේ අනුන්ට දීමෙන් සතුටු වෙනවා. මෙසේ රැස් කරන කර්ම හේතු කොට ගෙන මරණින් මතු ඔවුන් දිව්‍ය ලෝකයේ ඉපදුණොත් යාන, වාහන, සේවකයන්, සුව පහසු නිවාස, මිල මුදල් බොහෝ තිබෙන පොහොසත් තැන්වල උපත ලබලා ජීවත් වෙනවා.

මේ ලෝකයේ සමහර මිනිස්සු ගරු කළ යුත්තට ගරු කරන්නේ නෑ. හිතට අරන් දැඩි මාන්නයෙන් ඉන්නවා. පිදිය යුත්තේ, පුදන්නේ නෑ. ඒ විදියට රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ ඔවුන් දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකයේ ඉපදුණොත් හීන කුලයේ උපත ලබනවා.

මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා ගරු කළ යුත්තට ගරු කරනවා. සත්කාර කරනවා. නිහතමානීව ඉන්නවා. පිදිය යුත්තන් පුදනවා. එසේ රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ ඔවුන් සුගතියේ උපදිනවා. බැරි වෙලාවත් මනුෂ්‍ය ලෝකයේ ඉපදුණොත් උසස් කුලයේ උපත ලබනවා.

මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ දැනගත යුතු දේ සේරම මම දන්නවා. තවත් දැන ගන්නට දෙයක් නෑ කියලයි. ආර්ය මහා සංඝරත්නය මුණ ගැහිලා කුසල් අකුසල් පිළිබඳ, හොඳ නරක ගැන, යහපත අයහපත ගැන, තමා නොදන්නා දේ ගැන දැන ගන්න උනන්දු වෙන්නේ නෑ. තමන් නොදන්නා බවත් දන්නේ නෑ. ඔය විදියට රැස් කරන කර්ම මරණින් මත්තේ දුක් විපාක ඇති අපායේ උපදින්න හේතු වෙනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකයේ ඉපදුණොත් කියන දේ නොතේරෙන දුෂ්ප්‍රාඥ මෝඩ කෙනෙක් වෙනවා.

මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා. පින්වත් ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා තමා නොදන්නා දේ අසා දැනගෙන තමාගේ යහපත පිණිස පවතින දේ මෙන් ම තමාගේ අයහපත පිණිස පවතින දේත් කුසල් මෙන් ම අකුසල් ගැනත් අසා දැනගෙන ඒ අනුව කටුතු කරනවා. ඒ ආකාරයෙන් රැස් කරන කර්ම හේතුවෙන් මරණින් මත්තේ ඔවුන් සැප විපාක ඇති සුගතියේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලොව ඉපදුණොත් වහා වැටහෙන නුවණ ඇති, අදාළ දේ සුදුසු වෙලාවේ දී තේරුම් යන ප්‍රඥාවන්ත අය ලෙස උපදිනවා.

“පින්වත් සුබ, ඔය ආකාරයෙන් සියලු සත්වයෝ තමාගේ දේ කර ගෙන සිටින්නේ කර්මයයි. කර්මය උප්පත්ති ස්ථානය කර ගෙන කර්මය දායාදය කර ගෙනයි ඉන්නේ. කර්මය තමයි හැමෝගෙම නෑදෑයා. කර්මය පිළිසරණ කර ගෙනයි මේ සියලු දෙනා ජීවත් වෙන්නේ. අන්න ඒ කර්මය විසින් තමයි මේ සත්වයින් අතර උස් පහත්කම් වූ විවිධ වෙනස්කම් ඇති කරන්නේ.

මෙය අසා සිටි සුබ මානවක“

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඉතා පුදුමයි, හරිම ආශ්චර්යයි. යටිකුරුව තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ, වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගේ, අතරමං වෙලා හිටපු කෙනකුට පාර පෙන්නුවා වගේ, කළුවරේ සිටින ඇත්තෝ රූප දකිත්වා කියලා තෙල් පහනක් පත්තු කළා වගේ, මම අද පටන් බුදුරජාණන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් දිවි හිමියෙන් සරණ යනවා යැයි තෙරුවන් සරණ ගියා.

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]