[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගුණ දම් ජීවිතයේ දියුණුව සදයි

ගුණ දම් ජීවිතයේ දියුණුව සදයි

චරිතවත් ජීවිතයක් සකස්කර ගැනීම සමාජයේ හැම දෙනාගේ ම ආදරයට, ගෞරවයට පාත්‍රවීමට හේතු වේ. ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා. පොදුවේ හැම දෙනාගේ ම චරිතවත් බව සමාජ යහපතට ද මූලික වේ. එකී චරිතවත් බව සමස්ත සමාජයටම ලබා දෙන ආදර්ශයකි. පාසල් දරුවන්ට, තරුණ ප්‍රජාවට මෙන්ම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට ඒ සඳහා උපකාරි වන ගුණාංග දහයක් පෙන්වා දිය හැක.

අපේ ජීවිතය හැඩ ගැසීමට දක්ෂතා ඇති කර ගැනීම වැදගත් වේ. “සක්කෝ” යනුවෙන් එය ධර්මයේ සඳහන් වේ. ඉගෙනීම් කටයුතුවල දී, විෂයය කරුණු පිළිබඳ දැනුම ඇති කර ගැනීමත්, දක්ෂතාවකි. එම දක්ෂතා මතුකර ගැනීමට පාසලේ දී ශිෂ්‍ය සමිතිය, බිත්ති පුවත්පත, සඟරාව, ප්‍රයෝජනවත් වේ.

පාසලේ දී පමණක් නොව නිවසේදීත්, සමාජයේදීත් තමන් වෙත පැවරෙන නිවැරැදි කටයුතු හොඳින් කළ හැකි නම් ඔහු දක්ෂයෙකි. අප හැම කෙනකුට ම දක්ෂතා තිබේ. බොහෝ විට එය හඳුනා නොගැනීමෙන් ඇතැම්හු උදාසීන අදහස් ඇතිව කටයුතු කරති.

දක්ෂතා මතුකර ගැනීමට උත්සාහය, අධිෂ්ඨානය, හා කැපවීම වැනි ගුණාංගයන් ද තිබිය යුතු ය. එවැනි ගුණාංගයන්ගෙන් දක්ෂතා මතු කර ගත් විට “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන කියමන ද සැබෑ කරමින් දක්ෂයකු විය හැකි ය.

ඍජු ගුණය හෙවත් අවංකබව (උජු) කෙනකු පිළිබඳ විශ්වාසය ගොඩනැඟීමට වැදගත් වෙයි. අවංක පුද්ගලයාගේ වචනයත්, ක්‍රියාත් අතරෙහි වෙනසක් නැත. කළ හැකි දෙය කීමටත්, කියන දෙය ම කිරීමටත් ඇද නැති පුද්ගලයා සමත් වෙයි. හෙතෙම අන්‍යයන් රැවටීමට කිසිවක් නොකරයි. එබඳු ඍජු ගුණ ඇති තැනැත්තා කිසිවකුටත් බිය නොවී ක්‍රියා කරයි. සමාජයෙන් චෝදනා නොලබයි. නිති පැසසුම් ලබයි.

තමා තමාට අවංක වීම වැදගත් ගුණාංගයකි. සිතෙහි ඇති අදහස් සඟවා ගෙන වචනයෙන් හෝ ක්‍රියාවෙන් වෙන යමක් කීම හෝ කිරීම වංචාවකි. එය අන්‍යයන් මෙන් ම, තමා ද රවටා ගැනීමකි. ඍජු ගුණයෙන් යුත් පුද්ගලයා තමාගේ සිත කිසිදු ලාභ අපේක්ෂාවක් වෙනුවෙන් අයහපතට යොමු වීමට ඉඩ නොදෙයි. එබඳු පුද්ගලයා හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කරයි.

සුවච බව හෙවත් කීකරුකම ද චරිතයක් හැඩගස්වා ගැනීමට උපකාර වන ගුණයකි. යමෙකුට අඩුපාඩුවක් පෙන්වා දීමට පහසු සහ එම පෙන්වා දුන් වරද නිවැරැදි කර ගැනීම තුළ සුවච බව රඳා පවතී. සෑම කෙනකු අතින්ම කිසියම් ප්‍රමාදයක් සිදුවිය හැකි අවස්ථා තිබේ. එවැනි අවස්ථාවක කාරුණිකව එය පෙන්වා දෙන කෙනකුට ඇහුම්කන් දීමට තරම් ඉවසිලිවත්වීම යහපත් ලක්ෂණයකි.

මොළොක් බව හෙවත් මෘදු ගුණය කීකරු බව ඇති වීමට බෙහෙවින් වැදගත් වේ. මෘදු ගුණය ඇති තැනැත්තා දැඩි ලෙස ක්‍රියා නොකරයි. හිතුවක්කාර ලෙස නො හැසිරෙයි. වියළි දණ්ඩක් නැමිය නොහැකි ය. එය බිඳී යයි. එසේ මෘදු ගුණය නැති තැනැත්තා අනුවණකම් කොට පිරිහීමට පත් වෙයි. රනින් නිම කළ සියුම් කැටයම් සහිත ආභරණ කෙතරම් වටී ද? එසේ වටිනා ආභරණ තැනිය හැක්කේ රත්‍රන් මෘදු බවට පත් කිරීමෙනි. අසත්පුරුෂයන්ගේ වංචාවන්ට හසු නොවී, සත්පුරුෂයන් ඉදිරියෙහි මොළොක් වී උසස් ජීවිතයක් ගොඩනඟා ගැනීම උතුම් වේ.

උඩඟු නොවීම, අතිමානයෙන් තොරවීම පුරුදු කළ යුතු ගුණයකි. මනස, බලය හා පවුලේ තත්ත්වය ආදී කරුණු අනුව පුද්ගලයෝ අතිමානයට පත් වෙති. එය යහපත් චරිත ලක්ෂණයක් නොවේ. එවැනි පුද්ගලයෝ පොදු කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය නොලබති.

අනතිමානී පුද්ගලයා ගුණවතුන්ගේත්, නැණවතුන්ගේත් ප්‍රසාදයට පත් වෙයි. එවැනි උදාර පුද්ගලයන් ඇසුරින් ජීවිතය ආලෝකවත් කර ගැනීමට අනතිමානීව කටයුතු කරමු.

ලද දෙයින් සතුටුවීම හැඩ ගැසෙන චරිතයක තවත් ගුණයකි. අපගේ කෑම බීම, ඇඳුම්, පැළඳුම්, පොත්පත් ආදිය සඳහා මවුපියන්, වැඩිහිටියන්, දායකයන්, විශාල මුදලක් වැය කරති. අප කුඩා අවධියේ මේ පිළිබඳ එතරම් අවබෝධයක් නොවූයෙන් තව තවත් කෙළි බඩු ආදිය ඉල්ලා මවුපියන්ට කරදර කළෙමු.

දැන් අපි එසේ නොකරමු. ශිෂ්‍ය ජීවිතය ගත කරන, රැකියාවක් නොකරන, අපි තවමත් මවුපියන්ගෙන් යැපෙන්නෝ වෙමු. අපගේ අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සපයා දුන් පසුවත් ඉන් සෑහීමකට පත් නොවීම මවුපියන්ට කරදරයක්, පීඩාවක් ඇති කිරීමකි. ලද දෙයින් සතුටු නොවීම අනාගත ජීවිතය සැපවත් කර ගැනීමට ද බාධාවකි.

පහසුවෙන් පෝෂණය කළ හැකි වීම තවත් හොඳ ගුණයකි. අපගේ ජීවිතය හැඩ ගසා ගත යුතු වන්නේ පවුලේ ආදායමට අනුවය. විසිතුරු විලාසිතා වැනි බාහිර කටයුතු සඳහා උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ නම්, එය පෝෂණයට අපහසු තත්ත්වයකි. එමඟින් ණයකරුවකු ලෙස ජීවිතය ගෙවීමට ද සිදු වෙයි. එනිසා කාටවත් කරදරයක් නැති පහසුවෙන් ජීවිතය ගෙන යා හැකි අයුරින් ජීවිතය සකස් කර ගත යුතු ය.

කටයුතු අඩු බව හෙවත් කාර්යබහුල නොවීම ද හැඩ ගැසෙන චරිතයක ලක්ෂණයකි. තම කටයුතු සංවිධානය නොවීමෙන් කාර්යබහුල වෙයි. නිකරුණේ කාලය ගෙවීම, අනවශ්‍ය දේ සඳහා කාලය කැප කිරීම, වැනි දෙයින් ඉවත්ව සිටීම තම කටයුතු සඳහා කාලය ඉතිරි කර ගැනීමකි.

එසේම අපට අයත් කටයුතු මොනවාද යන්න තීරණය කොට එය හොඳින් සංවිධානය කර ගැනීමෙන් අනවශ්‍ය කරදර ඇති නොවෙයි. ජීවිතය දින චරියාවකට, කාලසටහනකට හුරු කරවීම තම කටයුතු පහසු කරවයි. නිවසේ දී ද තමන්ගේ කටයුතු කලට වේලාවට කිරීමට පුරුදු වීමෙන් කාර්යබහුල නොවී පහසු ජීවිතයක් ගත කිරීමට පුරුදු විය හැකි ය.

චාම් ජීවිතයකට පුරුදු වීම ද හොඳ ගුණයකි. ජීවත්වීමේ දී ද අපගේ මූලික අවශ්‍යතා අනුව කටයුතු කරමින් බාහිර වියදම් අවම කර ගැනීම ජීවිතය පහසු කරවන්නකි. ඇඳුම් – පැළඳුම්, ආදිය තෝරා ගැනීම, නිවසට විසිතුරු භාණ්ඩ ගෙන ඒම වැනි කාර්යයන්හි දී අන්‍යයන් අබිබවා තරගකාරී ලෙස කටයුතු නොකළ යුතු ය. එය අනුවණ ක්‍රියාවකි.

තමාගේ ආදායම තේරුම් ගෙන කටයුතු කිරීම මඟින් චාම් ගති පැවතුම් වියදම් අඩු සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට පුරුදු වෙමු. ඉහත ගුණාංගවලින් යුතු චරිත ලක්ෂණ මඟින් අපිත් අපේ ජීවිත සංවර්ධනය කර ගැනීමට උනන්දු වෙමු.

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]