[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැහැල්ලු බව රැකගන්න

සැහැල්ලු බව රැකගන්න

සැවැත්නුවර එක්තරා තරුණයෙක් දහම් අසා බුදුසසුනේ පැවිදි වුණා. උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යවරු නිතරම උන්වහන්සේට ශීලය හඳුන්වා දුන්නා.

ඒකාකාර ශීලය, දෙයාකාර ශීලය, තෙයාකාර ශීලය, සිව්, පස්, සය, සත්, අට,නව, දසාකාර ශීලය වශයෙන් ශීලද බොහෝයි.

ඒ වගේම මේ චුල්ල ශීලයයි. මේ මජ්ක්‍ධිම ශීලයයි. මේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයයි. මේ ඉන්ද්‍රිය සංවර ශීලයයි. මේ ආජීව පාරිශුද්ධ ශීලයයි. මේ ආදී ලෙස ශීලය කියා දුන්නා.

ඒ නවක තෙරුන් වහන්සේට මෙහෙම සිතුණා. මේ සිල්පද ඉතා වැඩියි. මේවා රකින්නට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මම මෙතරම් සිල්පද රකින්නට සමත් වෙන එකක් නැහැ. සීලය පිරීම ඉතාම අපහසු කාර්යයක්. මම ගිහි වෙලා දානාදි පින්කම් කරගෙන අඹුදරුවන් පෝෂණය කරගෙන ඉන්නවා කියලා සිතක් ඇති කර ගත්තා.

ඉන්පසු ගුරු හිමි වෙත ගොස්

“ස්වාමීනි මට මෙතරම් සිල්පද රකින්නට නො හැකියි. සිල්පද රකින්නට බැරිව මේ පැවිද්දෙන් කවර ප්‍රයෝජනයක් ද? එනිසා මම ගිහි වෙනවා. දානාදි පින් කරමින් ජීවත් වෙනවා.

එසේ නම් භික්ෂුව ඔබ බුදුරජාණන් වහන්සේ වන්දනා කරල පිටත් වෙන්න” කියා උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවා ගෙන ගියා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ භික්ෂුවට සිල් රැකීමට නොහැකි නිසා සිවුරු හැර යන්නට අදහස් කරලා.”

“මහණ, ඔබ මේ භික්ෂුවට බොහෝ සිල්පද කියා දුන්නා ද? යම් පමණක ද සිල්පද රකින්නට හැක්කේ එපමණක් පමණක් රකීවි. ඔබ මෙතැන් පටන් අවවාද නො කරන්න. මේ භික්ෂුවට කළ යුතු දේ මම කියන්නම්. භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“පින්වත් භික්ෂුව මෙහි එන්න. ඔබට කියාදුන් බොහෝ සිල්පද ප්‍රමාණයක් ඔබ රැකිය යුතු නැහැ. ඔබට පුළුවන් ද සිල්පද තුනක් පමණක් රකින්න.

“භාග්‍යවතුන් වහන්ස, සිල්පද තුනක් නම් මට ආරක්ෂා කර ගන්නට පුළුවන්.”

“එසේනම් ඔබ අද පටන් කය, වචනය, මනස කියන ද්වාර තුන පමණක් හොඳින් රැක ගන්න. කයින් පව් නොකරන්න. වචනයෙන් පව් නොකරන්න. මනසින් පව් නොකරන්න. දැන් ඔබට සිවුරු හැර යාමට අවශ්‍ය නැහැ. සුව සේ මහණ දම් පුරන්න” කියා අවවාද කළා.

ඒ තෙර නම ඉතාමත් සිත සතුටින්, “එසේය ස්වාමීනි, සිල්පද තුන මම රකිමි.” කියා බුදුරජාණන් වහන්සේ වන්දනා කර දෙව්රම් වෙහෙරින් පිටත්ව වැඩියා.

එදා පටන් ඒ තෙරනම සිත, කය, වචනය හොඳින් සංවර කර ගනිමින් ධර්මය පුරුදු කළා. ශීලය ටිකෙන් ටික පිරෙන විට උන්වහන්සේට තමාගේ ගුරුවරයාත් මේ ශීලයමයි කියා දුන්නේ කියා අවබෝධ වුණා. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා, සියල්ල දකිනා නිසා මා කෙරෙහි අනුකම්පාවෙන් මේ ශීලය කියා දුන් බව තේරුම් ගත්තා. එසේ දිගින් දිගට ම ධර්මය පුරුදු කරමින් සිටිද්දී දිනක් සියලු කෙලෙස් නසා උතුම් අරහත් භාවයට පත් වුණා.

මේ පුවත දැකගත් භික්ෂූන් දම්සභා මණ්ඩපයේ දී ඒ ගැන භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා. එදින භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

පින්වත් මහණෙනි, විශාල ම බරක් වුවද කොටස් වශයෙන් බෙදා දුන් විට සැහැල්ලු ව මෙන් දැනෙනවා. පෙර කාලයේ නුවණැත්තෝ මහා රන් කඳක් ඔසවා ගෙන යාමට නොහැකිව එය කොටස් කර පහසුවෙන් ඔසවා ගෙන ගිය බව වදාරමින් පෙර සිදුවූ පුවතක් මෙසේ වදාළා.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කාලයේ දිනක් බෝසතාණන් වහන්සේ කුඩා ගමක අතහැර තිබූ එක්තරා කුඹුරක සීසෑමට පටන් ගත්තා. ඊට බොහෝ කලකට පෙර ඒ ගමෙහි විසූ එක්තරා සිටුවරයෙක් මහත් වූ ධනයක් ඒ කුඹුරෙහි නිදන් කොට තිබියදී එතුමා කලුරිය කර තිබුණා. ඒ රන්කඳ සී සාමින් සිටි ගොවියාගේ නඟුලෙහි පැටලුනා. ගොවියා ඉතා දිග මුල් ගොඩක් යැයි සිතා පස් ඉවත් කරන්නට පටන් ගත්තා. පස් ඇතුලේ තිබූ මේ මහා නිධානය දැක ඔහු පුදුමයට පත් වුණා.

සවස් කාලය වනතුරු කුඹුරේම සිටි ඔහු මෙසේ සිතුවා. “මම මේ ගොනා, නඟුල ආදිය පසුව ගෙන යනවා. දැන් මම මේ රන්කඳ ගෙන යන්නෙමි” සිතා එය එසවීමට තැත් කළ ද එය සිතූ තරම් ලෙහෙසි වුයේ නැහැ. එනිසා එතැන ම හිඳ බෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. “මේ මුළු රන්කඳ මම හතරකට බෙදනවා. නිධන්කොට තැබීමට ද, මේ කොටස කර්මාන්ත සඳහා යොදවමි ඉතිරි කොටස දානාදී පින්කම් කරමින් ජීවත් වන්නෙමි’යි තීරණය කළා. ඉන්පසුව මේ තරුණයා සැහැල්ලුවෙන් මේ රන් කඳ හතරට බෙදීමට තීරණය කළ පසු එය ඔසවාගෙන යාමට පහසු වූවා. පසුව ඔහු ඒවා විකුණා බොහෝ පින්කම් කරමින් සුව සේ ජීවත් වුණා.

එකල රන්කඳ ලැබූ පින්වත් තරුණයා වූයේ අප මහා බෝසතාණන් වහන්සේ බව කඤ්චනක්ඛන්ධ ජාතක කතාවේ සඳහන් වෙනවා.

පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]