[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමවතී සෑ රදුන් වහන්සේ

දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමවතී සෑ රදුන් වහන්සේ

දේවානම් පියතිස්ස රජතුමාගේ සහෝදර මහානාග කුමාරයා රාජ්‍ය පිළිබඳ ඇති වූ ආරවුලක් නිසා ස්වකීය පිරිස හා භික්‍ෂුන් වහන්සේ කොටසක් ද සමඟ මහවැලි ගඟෙන් එගොඩ වී රුහුණු රටට ඇතුල් විය.

එම අවස්ථාවෙහි මහවැලි ගඟ සමීපයෙහි නාගාරාමය නමින් විහාරයක් කරවා භික්‍ෂූන් වඩා හිඳුවා තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් යටාලතිස්ස ගමේදී බිහිවූ යටාලතිස්ස කුමාරයාගේ නමින් යටාලතිස්ස විහාරය ඉදි කළේය. යටාලතිස්ස රජතුමාගේ පුතා වන ගෝඨාභය රජතුමාගේ පුතණුවන් වූයේ කාවන්තිස්ස රජතුමාත්, දියණිය වූයේ සෝමවතී කුමාරිකාව යි.

ඒ වන විට මුළු උතුරුකරයම එළාරයන්ගේ ද්‍රවිඩ පාලනයට යටත් වී තිබුණි. මහ මුහුද ගොඩගැලින, කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාරමහා දේවී මුහුදට බිලිකරන ලදි. ඇය කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්විය. දුටුගැමුණු නම් පුත් රුවනක් ඇති විය. කැලණිතිස්ස රජුගේ බෑණා වූ අභය කුමාරයාට කාවන්තිස්ස රජුගේ නැගෙණිය වූ සෝමවතී දේවිය විවාහ කර දී ගිරිරට හෙවත් කන්ද උඩරට ප්‍රදේශය භාර කරන ලදි.

දුටුගැමුණු කුමරු යුද්ධයට යන මොහොතේ දී සෝමවතී දේවිය ස්වකීය ස්වර්ණමාලී නම් දියණිය දුටුගැමුණු කුමාරයාට සරණපාවාදී රහසිගතව එම රාජ්‍යය ද භාරකොට ආරාජිකව පැවති මහවැලි ගඟ අසබඩ සෝම රාජ්‍ය පිහිටුවා ගත්තා ය.

දුටුගැමුණු කුමරු විජයග්‍රහණය ලබා සෝමවතී දේවියගේ දියණිය වන ස්වර්ණ මාලී නමින් ස්වර්ණමාලී චෛත්‍ය ඉදිකරන ලදී. සෝමවතී දේවියත්, අභය කුමරුත් සෝම නගරය ඉදිකරවන විට නාගාරාමයේ භික්‍ෂූන් වහන්සේ 60 නමක් වැඩ සිටින විහාරස්ථානය හමු විය. දා ගැබැක් නැති නිසා එම දාගැබ ඉදිකරන මොහොතේ දී නිදන් කිරීමට ධාතූන් වහන්සේලා නොමැති බව එම නාගාරාම විහාරයේ වැඩ සිටි දෙවැනි මිහිඳු හිමියන්ට දැන්වීය. උන්වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටියහ.

“ඒකා නාගපුරේ අහූ ” යනුවෙන් එක දළදා වහන්සේ නමක් නාගපුරයෙහි වැඩවසන බව සඳහන් වේ. එය නාගපුරය ද නාගලෝකය දැයි මතයක් පවත්නා අවස්ථාවක නාග්පූර්වල සැදැහැවතුන් පැමිණ එම ප්‍රදේශයෙහි වැඩසිටිය දකුණු දළදා වහන්සේ බව ප්‍රකාශ කොට කරන ලද ආරාධනය අනුව අප සමඟම බුද්ධගයා විහාරාධිපති පැලවත්තේ ශ්‍රී සීවලී නාහිමියන් ද ගොස් පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් තොරතුරු විමසීමේ දී වසර 2500 ට වඩා ඉපැරැණි විහාරස්ථානයක් බවත්, ධර්මාශෝක රජතුමා විසින් ප්‍රතිසංස්කරණ කළ බවත්, ඊට වසර 200ට පමණ පසු හින්දු බෞද්ධ කෝලාහලයක් ඇති වූ මොහොතේ දී ලංකාවෙන් වැඩිය භික්‍ෂූන් වහන්සේ නමකට එම ධාතූන් වහන්සේ භාරදී පලා ගිය බවත් ප්‍රකාශ කළ අතර, එම ස්ථානය අද සුවිශාල හින්දු කෝවිලක් ඉදිකොට ඇත.

කෙසේ හෝ දකුණු දළදා වහන්සේ 2වන මිහිඳු හිමියන් ළඟ වැඩසිටි අතර, සෝමවතී දේවියට පරිත්‍යාග කරන මොහොතේ දී බුද්ධ රශ්මි මාලාවන් ඇතුළු නොයෙක් ආශ්චර්යවත් සිද්ධීන් සිදු වූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වන අතර, අද දක්වාම එවන් ආශ්චර්යයමත් සිද්ධීන් සිදුවීම සකල ලෝකවාසී ජනතාවට සියැසින් දැක බලා ගැනීමේ භාග්‍යය වාසනාව උදාවී ඇත.

එම දළදා වහන්සේ තැම්පත්කොට ඉදිකරන ලද සෝමවතී චෛත්‍යරාජයා අද වන විට මහා ඝණ කැලයක් මැද සුදෝ සුදුවට බබළමින් බුද්ධ රශ්මි මාලාවන් විහිදුවමින් විරාජමානව වැඩවසති.

සෝමවතී දේවියගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන් මෙවන් ආශ්චර්යවත් සිද්ධීන් සියැසින් දැක මෙම ස්ථානය වැඩි දියුණු කළ ආකාරය චෛත්‍ය රාජයා අවට තිබෙන නටබුන්වලින් මෙන්ම ශිලා ලේඛන 14 ක් තුළින් ඓතිහාසික හා ආගමික කරුණු මැනවින් පැහැදිලි වේ.

මෙම ලිපියේ ඉතිරි කොටස පොසොන් අව අටවක පෝදා (10) අන්තර්ජාල කලාපයේ පළවේ

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]