[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 ඓතිහාසික මිහින්තලා පුදබිම

අභිමානවත් දේශයක ඇරඹුම සනිටුහන් කළ මහා පුදබිම ඓතිහාසික මිස්සක පව්ව

මිහින්තලාව වූ කලි මිහිඳු මා හිමියන් ප්‍රමුඛ මහ රහතන් වහන්සේ අපමණ සංඛ්‍යාවක් වැඩ විසූ පුණ්‍ය භූමියකි. පුරාණ අනුරාධපුර යුගයේ දී මෙම ප්‍රදේශය මිස්සක ලෙස හඳුන්වා ඇත්තේ පියකරු වන රොදක් වූ බැවිනි. මේ අසල වූ ගම්මානය එකල දොරමඬලාගම ලෙස හඳුන්වා ඇත. බෞද්ධයන් අතර මිහින්තලා පුණ්‍ය භූමිය මිහින්තලා කන්ද ලෙස ප්‍රචළිත වූව ද එය කඳු ශිඛර සතරකින් සමන්විත වේ. ඒවා නම් මිහින්තලා කන්ද, ඇත්වෙහෙර කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා රාජගිරි ලෙන කන්දයි. ආරම්භයේ මේ කඳු පන්ති ඇතුළත් මහා වනරොද මිහිඳු මා හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මහා ආරාමයක් බවට පත්ව ඇත. අනතුරුව රජ පැමිණි බොහෝ රාජකීයයන් මේ පුදබිම සංවර්ධනය කර තිබේ. දෙවනපෑතිස් රජුගේ පළමු රාජ අනුග්‍රහයෙන් ගොඩනැඟුණු මේ මහා පුදබිමේ උත්තිය රජු (ක්‍රි.පූ. 210-200) මිහිඳු මා හිමියන්ගේ පිරිනිවණින් පසු උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත්කර මිහිඳු සෑය ගොඩනඟා තිබේ. ලජ්ජතිස්ස රජු (ක්‍රි.පූ. 119-109) කණ්ඨක චේතිය සඳහා කළුගලින් වටදාගෙයක් කරවා ඇත. ඒ සඳහා කහවනු ලක්‍ෂයක් වැය කර තිබේ. කූටකණ්ණතිස්ස රජු (ක්‍රි.පූ. 44-22) මේ පුදබිමේ මහා උපෝස්ථාගාරයක් කරවා තිබේ. භාතිකාභය රජු (ක්‍රි.පූ. 22-ක්‍රි.ව.7) මිහින්තලා සෑගිරි විහාරයේ සංඝයා වහන්සේ දහසකට සලාක බත් නිතිපතා ලබාදී තිබේ. මහා දාඨික මහා නාග රජු (ක්‍රි.ව. 7-19) මෙම පුදබිමේ අම්බස්ථල චෛත්‍ය කරවා ඇත. එසේම ගිරිබණ්ඩ නම් මහා පූජාවක් ද සිදුකර තිබේ. කනිරජානුතිස්ස රජු (ආමණ්ඩ ගාමිණී අගය රජුගේ බාල සොහොයුරු)(ක්‍රි.ව. 29-32) චේතියගිරි විහාරයෙහි උපෝස්ථාගාරයෙහි අධිකරණය විනිශ්චය කර ඇත. එම කාර්යයට භික්‍ෂූන් විරුද්ධත්වය ද ප්‍රකාශකර තිබේ. වසභ රජු (ක්‍රි.ව. 67-111) චේතියගිරි විහාරය ඇතුළු ස්ථාන හතරක දහසක් පහන් දැල්වූ බව සඳහන් වේ. කණ්ඨතිස්ස රජු (ක්‍රි.ව. 167-186) අම්බස්ථලයෙහි චේතියඝරය කරවා ඇති බව සඳහන් වූව ද බොහෝ දුරට මෙහිදී සිදුවී ඇත්තේ පූර්වයේ එහි තිබූ චේතියඝරය ප්‍රතිසංස්කරණයක් බව පෙනේ. ගෝඨාභය රජු (ක්‍රි.ව.249-262) අම්බස්ථලයෙහි දාගෙය පිළිසකර කර තිබේ. ජෙට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 263-273) කාලමත්තික වැව සෑගිරියට පූජාකර මහා වෙසක් උළෙලක් ද පවත්වා ඇත. මේ ආදි වශයෙන් මිහින්තලා පුදබිමේ ආරම්භයේ සිට ම බොහෝ රාජකීයන් බොහෝ පුද පූජාවන් සිදුකර ඇති බව හඳුනා ගත හැකිවේ.


පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]