[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පොසොන් පණිවුඩ

පොසොන් පණිවුඩ

ලාංකේය සමාජ විඤ්ඤාණයේ අක්මුල් පිළිබඳ නැවත සිහිපත් කළ යුතුයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සිහිපත් කරන පොසොන් පොහෝ දිනය සමස්ත ලංකාවාසීන්ගේ සදානුස්මරණීය දිනය යි. ශ්‍රී ලංකාද්වීපය ධර්මාලෝකයෙන් ප්‍රභාවිත කළ මෙම ඓතිහාසික සංසිද්ධිය ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික, දේශපාලනික වටිනාකම් නවමු දාර්ශනික මං පෙතකට යොමු කිරීමට හේතු විය. මෙම සංස්කෘතික පරිවර්තනයේ අග්‍ර ප්‍රතිඵලය වූයේ ධර්මාචර්ථ චර්යාවෙන් පිරිපුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සංස්ථාපනය යි.

වර්තමානය වන විට රට තුළ උද්ගතව ඇති විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රවණතා හේතුවෙන් අද්‍යතන සමාජයේ තරුණ මෙන් ම වැඩිහිටි පාර්ශවය ද බෞද්ධ දාර්ශනික හරපද්ධතින්ගේ වටිනාකම වටහා ගැනීමට අපොහොසත්ව ඇත. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව තුළ ප්‍රථමයෙන්ම දේශනා කරන්නට යෙදුණු චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ අන්තර්ගත සුවිශේෂි ධර්මමය ප්‍රස්තුතයන්ගේ වටිනාකම මෙවන් මොහොතක අධි අවධාරණයකට ලක් කිරීම කාලීනව අවශ්‍යතාවක් ව පවතී.

මහින්දාගමනය අනුස්මරණය කිරීම යනු ඓතිහාසික සංසිද්ධියක් සිහිපත් කිරීමෙන් ඔබ්බට ගිය ලාංකේය සමාජ විඤ්ඤාණයේ අක්මුල් පිළිබඳ නැවත නැවත සිහිපත් කරලීමක් මෙන් ම බෞද්ධ ආචාර ධර්මයන්ගෙන් ශික්ෂිත උතුම් මානව ගුණධර්මයන්ගෙන් සුපෝෂිත සමාජයක් බිහිකරලීමේ අභිලාෂය නැවත නැවත තහවුරු කරන්නක් බව මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමු.

එහෙයින් “අකුසලං පජහති කුසලං භාවෙති, සාවජ්ජං පජහති,, අනවජ්ජං භාවෙති සුද්ධං අත්තානං පරිහරති” යන උතුම් සම්බුද්ධෝපදේශය මත පිහිටා අකුසලයෙන් දුරුව කුසලයෙහි යෙදෙමින්, අර්ථ - අනර්ථ පිළිබඳ මනා අවබෝධයෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය විෂයයෙහිලා ආමිස - ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් කටයුතු කිරීමට සියල්ලෝම අධිෂ්ඨානයෙන් යුක්ත විය යුතු බවත්, තථාගත දහමට අනුව යථාර්ථවාදී නුවණින් යුතුව සියලු සත්ත්වයා වෙත මෙත් සිත් පෙරටුව කටයුතු කිරීම මහින්දාගමනය අර්ථාන්විතව ස්මරණය කිරීම බවත් මෙහිලා ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

රත්නත්‍රයේ ආශීර්වාදයෙන් ලෝ වැසි සැමට නිදුක් නීරෝගි සම්පත්තිය උදාවේවා’ යි ආශිංසනය කරම්හ.


ඉදිරි ජීවන රටාව ප්‍රඥා සම්පන්නව හසුරුවා ගත යුතුයි

සම්බුදු දහමේ පණිවුඩය රැගෙන දඹදිව් තලයේ සිට මෙහි වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක් වැසියන් වෙනුවෙන් කළ ශාසනික මෙහෙවර සදානුස්මරණීය වේ. ඈත අතීතයේ පටන් තම යුතුකම් ඉටු කිරීම සහ කළගුණ සැලකීම වැනි උතුම් ගුණ දම්වලින් පිරි ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව උන්වහන්සේ ලක්දිවට වැඩම කළ දිනය වන පොසොන් පොහෝ දිනය අනුස්මරණය කිරීම සිරිතක් ලෙසින් පවත්වාගෙන එති.

උන්වහන්සේගේ වැඩම කිරීමත් සමඟ අපේ රට තුළ බෞද්ධ ප්‍රතිපත්ති ස්ථාපිත වූවා පමණක් නොව සම්මා සම්බුදුරජාණන් වහන්සේ තිලොව යහපත සඳහා දේශනා කළ ශ්‍රී ධර්මය ස්ථාපිත වන්නට විය. එදා මෙදා තුර වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් අප ලොව පවතින උතුම්ම බෞද්ධ රාජ්‍යයක් ලෙස ලොව පතළ විය.

මේ නිසා ම පොසොන් පුන් පොහෝ දින බෞද්ධයින් වශයෙනුත්, ශ්‍රී ලාංකිකයින් වශයෙනුත් අපට ඉතා වැදගත් දිනයෙකි. රජරට ප්‍රධාන කොට නොයෙකුත් සැරසිලි, පෙරහර මෙන් ම දාන, සීල, භාවනා ආදී පුණ්‍ය කටයුතුවල යෙදෙන ලක්ෂ සංඛ්‍යාත පින්වත්හු පොසොන් පොහෝ දින උත්කර්ෂවත් ලෙස සමරති.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අනුව ප්‍රතිපත්ති පූජාවන් හි නිරත වෙමින්, ආමිෂ පූජාවන් හි යෙදෙමින් ශ්‍රද්ධා ගුණ වර්ධනය කරමින් යහපත් බෞද්ධයින් ලෙස පොසොන් උත්සවය සැමරීමට එකාවන්ව පෙළගැසීමට අලස නොවිය යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුව අපගේ ඉදිරි ජීවන රටාවන් ප්‍රඥා සම්පන්නව සිතා බලා හැඩගැස්විය යුතු අතර, ඒ පිළිබඳව අනාගත මිනිස් වර්ගයාට විශාල වගකීම් සම්භාරයක් පැවරෙනු ඇත.

පොසොන් පොහෝ දින නිමිතිකොටගෙන පවත්වන්නා වූ සියලු පුණ්‍ය කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක කර ගැනීමට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා’යි ආශිංසනය කරම්හ.


අතීත ශ්‍රී විභූතිය යළි ගොඩනැංවීමට අධිෂ්ඨානශීලි වෙමු

සිංහල ජාතියේ ගමන් මඟ වෙනස් කෙරුණු, නව මාවතකට යොමු කළ ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් පොසොන් පොහොය දින බෞද්ධයින් හට අතිශය වැදගත් දිනයක් බවට පත්විය.

අප රටට බුදු දහම ලැබීම නිසා ජාතික, ආගමික, අධ්‍යාපනික මෙන්ම සංස්කෘතික වශයෙන් ද සිංහල ජාතිය නව මාවතකට යොමු විය. මිථ්‍යා ඇදහිලිවලට පුරුදු වී සිටි ලාංකික ජනතාව මහින්දාගමනය නිසා පන්සිල් සුරකින දැහැමි සමාජයක් බවට පත් විය. සතර බ්‍රහ්ම විහරණයෙන් හික්මුණ ජනතාව සමඟියෙන්, සමාදානයෙන් ජිවත්වීමට, බුද්ධ දේශනාවන් උපයෝගි කර ගත්හ. මිහිඳු මාහිමි ලක්දිවට වැඩම කළ මුල්ම දිනවල දී දේශනා කළ ගැඹුරු ධර්ම කොට්ඨාස අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් බොහෝ දෙනෙක් තුළ පැවැති බව පෙනේ. එසේම පේතවත්ථු, විමානවත්ථු දේශනා තුළින් පවට බිය වී පිනට ලැදිවීමට ජනතාව පෙළඹුණහ. පසුව සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන භික්ෂූණී පිරිස වැඩමවා ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රෝපණය කිරීමෙන් ද, භික්ෂුණී ශාසනය පිහිටුවීමෙන් ද පැමිණි විවිධ ශිල්පීන්ගේ දැනුම උපයෝගි කර ගනිමින් විවිධ කලා ශිල්ප අප රට තුළ බිහිවීම නිසා, ශාසන ව්‍යාප්තිය ඇති වූවා සේ ම සංස්කෘතික අංග වඩාත් දියුණුවට පත්වීම ද මහින්දාගමනයෙන් සිදු වූ වැදගත් සිද්ධීන් ලෙස පෙන්වා දිය හැක.

මෙසේ ලක් බුදු සසුනේ ආරම්භයත්, ජාතික සංස්කෘතික අංගයන් පෝෂණය වීමට මඟ හෙළි වූ දිනයක් හැටියටත් සැලකෙන පොසොන් පුර පොහෝ දින මිහිඳු මාහිමි ගුණ සමරන අතර, දෙසූ දහම් සිහිගන්වාගෙන ලෞකික, ලෝකෝත්තර දියුණුව ඇති කර ගැනීම සඳහා සුදුසුම දිනයක් ලෙස සලකා ගිහි පැවිදි අප සැම දෙනා විසින් ම අප රට තුළ පැවැති අතීත ශ්‍රී විභූතිය යළි ගොඩනංවා ගැනීමට උත්සාහවන්ත වෙමු. අධිෂ්ඨාන පූර්වකව ක්‍රියා කරමු.

ලක්වැසි සැමට තෙරුවන් සරණින් යහපතක්ම වේවා’යි මෙම පොසොන් පොහොය දින ආශීර්වාද කරම්හ.


ශ්‍රී සද්ධර්මයේ දායාදය ලක් දෙරණට හිමි වූ දිනයයි

ගෞතම සම්බුදුපියාණන් වහන්සේ ලෝක සත්වයා වෙත අපරිමිත මහා කරුණාවෙන් පන්සාළිස් වසරක් දේශනාකොට වදාළ අමිල ශ්‍රී සද්ධර්මයේ දායාදය ලක්දිවට හිමි වූයේ පොසොන් පුරපසළොස්වක පොහොය දිනක දී ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසියතිස්හය වැන්නේ දී මහා මහින්ද මහරහතන් වහන්සේ මිහින්තලාවේ මිස්සක පව්වට වැඩම කොට දේවානම්පියතිස්ස මහරජු ඇතුළු පිරිසට ධර්මය දේශනා කොට ඔවුන් තිසරණයෙහි පිහිටුවා බොදුනුවන් බවට පත් කිරීමෙන් අනතුරුව මෙරට ආගමික හා සංස්කෘතික වශයෙන් නව මානයකට යොමු විය.

මහා මහින්ද අනුබුදුහිමියන් රැගෙන ආ ධර්මයේ පණිවුඩය නිසාවෙන් කාය, වාග්, දුෂ්චරිතවලින් මිදී කාය, වාග් සුචරිතයට පිළිපන් සිල්වත් ආධ්‍යාත්මික ගුණවගාවකින් හෙබි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බිහිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වෙහෙර විහාර, දාගැබ්, පෙති පිළිම ඉදිකරමින් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වීමට බොදුනුවන් හුරුවිය. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සංකල්පය මොනතරම් ජනහදවත් තුළට කා වැදී තිබුණ ද, යන්න අදටත් අනුරාධපුර පූජා නගරය දෙස බලනවිට වටහා ගත හැකි ය.

මේ උතුම් පොසොන් පුරපසළොස්වක පොහොය දිනය ආධ්‍යාත්මික ගුණවගාවෙන් යුක්තව ගත කිරීමට හා තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාවක් කර ගන්නා මෙන් මෙත් සිතින් සිහිපත් කරමි.

 

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]