[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෙළ සංස්කෘතියේ හරපද්ධතීන් රැක ගැනීම සියල්ලන්ගේම වගකීමයි

හෙළ සංස්කෘතියේ හර පද්ධතීන් රැක ගැනීම සියල්ලන්ගේම වගකීමයි

සංස්කෘතිය යනු දැනුම, විශ්වාස, කලාව, සාරධර්ම, නීති, සිරිත් විරිත්, හැදියාවන්, පුරුදු, චාරිත්‍ර - වාරිත්‍ර ආදිය ලෙස වියතුන් විග්‍රහ කර ඇත. එය පරම්පරාවට දායාදයක් වශයෙන් යන ජිවන රටා සමුදාය ලෙස රුල්ප් ලින්ටන් සඳහන් කර ඇත.

මිහිඳු මහරහතන් වහන්සේ එදා තිස්ස රජුගෙන් විමසූ අඹ ප්‍රශ්නය, ඥාති ප්‍රශ්නය තුළින් රජු ඥානාන්විත, බුද්ධිමත්, දුර දක්නා නුවණින් යුතු පාලකයකු බව පෙනෙයි. එය චින්තන විප්ලවයකට මඟ පාදයි. ප්‍රශ්න විචාරාත්මක, බුද්ධි කලම්බන අධ්‍යාපනික වැඩසටහනේ ආරම්භය ලෙස ද එය දැක්විය හැකි ය.

විනය නීති රැකීම තුළ සියල්ලන්ගේ ම ආරක්ෂාව ඇති වේ. එය විනාශ කළොත් රටෙත්, ජනතාවගේත් සසුනේත් පිරිහීම සිදුවේ. මිහිඳු සංස්කෘතිය තුළ විනයට මුල් තැන දී ඇත්තේ එබැවිනි.

මහින්දාගමනයත් සමඟ ජාතියේ මුර දේවතාවුන් වහන්සේ ලෙස ලාංකීය භික්ෂුව පත්විය. භාෂා ශාස්ත්‍රයේ සිට ජීවිතයේ උපතේ පටන් මරණය දක්වා සෑම දෙයක් ම ලාංකීය භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු විය. රජුන් තනන්නේත්, රජුන් පිටමං කරන්නේත් භික්ෂුවයි යන්න ව්‍යවහාරයට එන්නේ ද ඒ අනුව ය.

මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කර රජු ඇතුළු සතළිස් දහසක් පිරිස සමඟ තිසරණ පන්සිල්හි පිහිටුවීමෙන් මෙරට සංස්කෘතියට අවිහිංසාව දයාව, කරුණා, මෛත්‍රිය වැනි ශ්‍රේෂ්ඨ ගුණාංග එක් කළහ.

රජ මැදුරේ දී මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ පේතවත්ථු, විමාන වත්ථු, සච්චසංයුක්ත දේශනා මඟින් පරලොව ගැන, දෙවියන් ගැන, ඥානයන් ගැන, පින පව පිළිබඳ, විස්තර කරන්නට යෙදුණහ. ඒ සදහම් ඇසූ අනුලා දේවිය ඇතුළු රාජකීය කුල කාන්තාවෝ සෝවාන් වූහ.

දේවදූත සූත්‍ර දේශනාව ඇසීමෙන් දහසක් දෙනා සෝවාන් වූහ. බාල පණ්ඩිත සූත්‍රයෙන් අනුවණයා පව් කොට දෙලොව පරිහානියට යන අයුරු පැහැදිලි කළහ.

මේ සෑම දෙසුමකින් ම ගුණගරුක, වාසනාවන්ත ජීවිතයක් ගත කර දෙලොව ජයග්‍රහණය කරා යන අයුරු විග්‍රහ කර ඇත. ඒ සංස්කෘතික පෙළහරට නැමී ගිය ලාංකේය ජනයා බණ කියන, බණ අසන, පිරිත් කියන, පිරිත් අසන, පන්සිල් සුරකින ජනතාවක් බවට පත් විය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරවූ අවස්ථාවේ දහඅට ශිල්ප ශ්‍රේණින්ගේ ආගමනයත් සමඟම කලාව, භාෂාව, සාහිත්‍ය තුළින් නව චින්තනයක් ඇතිවිය. නවමු සංස්කෘතියක් නිර්මාණය විය. ගස් ගල් වන්දනා කළ අය බෝධි පූජා, චෛත්‍ය පූජා කළේ බුද්ධිය මුල් කරගෙන ය.

අනුලා දේවිය ඇතුළු පන්සියයක් රාජකීය කුල කතුන් සංඝමිත්තා රහත් තෙරණියගේ වැඩම වීමත් සමඟ පැවිදි වීමෙන් භික්ෂුණී සසුන ඇරඹුණි. ඒ සමඟම ලාංකේය වනිතා පරපුරේ ගමන් මඟ වෙනස් විය. අලුත් විය. විහාර මහා දේවිය වැනි වීරෝදාර මාතාවන්, සෝමා දේවිය වැනි පති භක්තියෙන් දේශාමාමකත්වයෙන් යුත් වීරවරියන් පහළ වන්නේ මේ මිහිඳු සංස්කෘතික පෙළහර නිසා ය.

බෞද්ධ සමාජය කෘෂි කර්මාන්තය පදනම් කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරයි. වැව පොදු බව කියයි. වැවේ කැපුණු පසෙන් අහස උසට ගොඩ නැඟුණු දාගැබ් විමුක්තියේ සංකේතයයි.

ලෞකික ජීවිතය වැවෙන් පෝෂණය වන්නා සේ ම ලාංකිකයන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ද පෝෂණය වූයේ වැව මුල් කරගෙන ය. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි අතර ඇත්තේ දෘඪතර අවියෝජනීය සබඳතාවකි.

එදා හෙළදිව කෘතිය තුළින් රොබට් නොක්ස් පෙන්වා ඇත්තේ අඬදබර නොකර ගත් සාමකාමී පරහිතකාමී ජනතාවක් මෙහි ජීවත් වූ බවයි. ඔවුන් අනුන්ගේ දේ ඉදිරුවේ නැත. ගිනි තැබුවේ නැත. ඔවුහු දානය අගය කළහ. අනෙකාගේ ජීවිතයට ගරුත්වයක් දුන්හ. වැඩිහිටියන්ට මව් පියන්ට සැලකූහ.

එපමණක් ද නොව සෑම ගමක ම විහාරයක්, දේවාලයක්, කෝවිලක් තිබූ බවත්, හඳුන්කූරු සුවඳින් හා සිල් සුවඳින් මල් සුවඳින් මුළු මහත් සමාජය සුවඳවත් වූ බවත් පෙන්වා දී ඇත.

සුනාමි මහා විපතේ දී ලොව මිනිසුන් පුදුමයට පත්කරමින් පීඩාවට පත් ජනතාවට උපකාර කළහ. පරිත්‍යාග කළහ.

ගෝලීය විපත්තියේ දී ද ලාංකිකයන් සෙසු අයට උපකාර කරනු ලැබුවේ ආගන්තුකයන්ට සැලකීම උසස් කොට සැලකූ නිසා ය. මේ සියල්ල මිහිඳු සංස්කෘතියෙන් දායාද වූ වටිනාකම් ය.

මේ වටිනාකම් දුරස් වෙත්ම සමාජයේ හිස් බවක් පෙන්නුම් කරයි. එකිනෙකාට පවතින ගෞරවය නැති වෙයි.

ගරුකළ යුත්තන්, පිදිය යුත්තන් හඳුනා නොගනියි. අම්මා තාත්තා මහ මඟට ඇද දමයි. වර්තමානයේ මේවා සුලබ දසුන් වී ඇත. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සූසැට අබරණින් සැරසුණු කතකට ගමන් කළ හැකිව පැවති රටකි මේ. එහෙත් ඒ මහා සංස්කෘතියේ කඩා වැටීමක් දැන් දකින්නට ලැබෙන්නේ, එහි වගකීම ද අප වෙත ම බැර කරමිනි.

ඛේදවාචක රැසකට අපට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ මිහිඳු සංස්කෘතියෙන් දුරස් වීම නිසා ය.

සමාජ නායකයන්, පාලකයන් වගවිය යුත්තන් වහා අවදිව පෙළ ගැසී මේ මිහිඳු සංස්කෘතික පෙළහර නැවත ආරම්භ කළ යුතු ය. එම සිරිත්, විරිත්, හරපද්ධතීන් මුළු සමාජ පද්ධතිය තුළ යාවත්කාලීන කළ යුතු ය.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]