[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනතිමානී ගුණ සුපූජිත ධර්ම විනයධර දොඩම්පහල චන්දසිරි උත්තරීතර මහා නාහිමිපාණන් වහන්සේ

අනතිමානී ගුණ සුපූජිත ධර්ම විනයධර දොඩම්පහල චන්දසිරි උත්තරීතර මහා නාහිමිපාණන් වහන්සේ

පොසොන් සඳීන් ආලෝකවත් වූ සිරිලක, මිහිඳු මහා රහතන් වහන්සේගේ ආගමනයෙන් ධර්මාලෝකයෙන් ප්‍රභාවත් විය.

සිරිලක බුදු සසුන වඩාත් ශක්තිමත් ලෙස චිරස්ථායි කරනු වස් උන්වහන්සේ අනුගමනය කළ වැඩපිළිවෙළෙහි සුවිශේෂිතම කාර්යය වනුයේ ලක්දිව උපන් මවුපියන්ගේ දරුවකු සසුන්ගත වී උපසම්පදාව ලබා විනය පිටකය සජ්ඣායනය කිරීමෙන් සසුන මුල්බැස ගන්නා බවට දේවානම්පියතිස්ස රජු දැනුවත් කිරීමයි. ඒ අනුව සසුන්ගත වීමේ අභිප්‍රායෙන් සිටි අරිට්ඨ ඇමැති පැවිදි උපසම්පදාව ලැබීමෙන් ශ්‍රී ලාංකික භික්ෂු වංශයේ උදාව සනිටුහන් විය. මෙසේ සමාරම්භ වූ ශාසනය විවිධ උන්නතීන්ට හා අවනතීන්ට ලක්වෙමින් සහශ්‍ර දෙකකට අධික කාලයක් මුළුල්ලේ ඉදිරියට ඇදී ආහ.

මෙම දිගු ගමන් මඟෙහි, ඒ ඒ යුගයන්හි පහළ වූ යති ශ්‍රේෂ්ඨයන්ගේ ශීල ප්‍රතිපදාවෙන් හා ගුණ පූර්ණ චරිතයන් තුළින් සසුන් කෙත වඩ වඩාත් ශෝභමාන විය. එවන් උතුම් භික්ෂු පරපුර වත්මන්හි නියෝජනය කළ අනතිමානී ගුණයෙන් හා සුපේශල ශික්ෂාකාමීත්වයෙන් ද, මිතභානි ගුණයෙන් ද සමන්විත වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය හොබවා වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම මෙරට ශාසන වංශයේ සිදු වූ තවත් බරපතළ පාඩුවකි.

උන්වහන්සේගේ 1950 නොවැම්බර් මස 25 වැනි දින කුඩාවැල්ල වාලුකාරාමයේ දී උතුම් පැවිදි බිමට පත් වන්නේ විද්‍යා විශාරද අතිගෞරවාර්හ මාතර ශ්‍රී මේධානන්ද මහානායක මාහිමියන් වහන්සේ හා ගෞරවාර්හ මාතර සද්ධාරාම නායක මාහිමියන් වහන්සේ ගුරු දේවයන්වහන්සේ කොට ගෙන ය. මාතර වීරබා පිරිවෙන හා ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන යන විද්‍යාස්ථානයන්ගෙන් අධ්‍යාපනය ලද උන්වහන්සේ 1962 ජුනි මස 17 වැනි දින මාතර නිල්වලා උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත් වූහ.

උන්වහන්සේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර ගෞරවාර්හ කුඩාවැල්ලේ වංගීස මාහිමියන්ගේ ආරාධනාව මත උන්වහන්සේ එකල වැඩ සිටි ජර්මන් ධර්මදූතාශ්‍රමයට වැඩම කළ චන්දසිරි නාහිමියෝ වංගීස නාහිමියන්ගේ මඟ පෙන්වීම මත භාවනා ක්‍රම පුහුණු වූහ.

උන්වහන්සේගේ ශාසනික සේවාවේ වැදගත්ම අවස්ථාව ලෙස වංගීස නාහිමියන් විසින් ආරම්භ කරන ලද රාජගිරිය තපෝවනයට වැඩම කිරීම සඳහන් කළ හැකි ය. මාතික මාතා සමිතියේ මූලිකත්වයෙන් 1963 ජූනි මස 30 වන දින භාවනා කුටි 10කින් සමන්විතව ආරම්භ කළ තපෝවන සෙනසුන මේ වන විට ශාඛා ප්‍රශාඛා ගණනාවක් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නිර්මාණය වී පවතී.

කුඩාවැල්ලේ වංගීස නායක මාහිමියන් වහන්සේ 1982 ජූලි මස 25 වන දින හදිසියේ අපවත් වීම එම අයතන සමූහයට මෙන්ම චන්දසිරි නාහිමියන් ඇතුළු ශිෂ්‍ය ප්‍රජාවටත් උන්වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කළ ගිහි ප්‍රජාවටත් මහත් පාඩුවක් විය. ඒ අවස්ථාවේ දී හිස් වූ ඒ ආධ්‍යාත්මික නායකත්වය චන්දසිරි මහා නාහිමියන්ට පැවරීමට ගිහි පැවිදි කවුරුත් එක හා සමානව එකඟ වූහ.

වංගීස නායක මාහිමියන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව 1983 දී අමරපුර කල්‍යාණිවංශ නිකායේ කාරක සභික ධුරයකට හා තපෝවන සංඝනායක පදවියට පත් වූ උන්වහන්සේ එතැන් පටන් පියවරෙන් පියවර ස්වකීය සීලාදී අනේක ගුණාංගයන්ගේ මහිමයත්, වගකීම් මැනවින් ඉටු කිරීමේ ශක්තියත් සංඝ පෞරුෂයේ තේජසත් විසින් අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය දක්වා රැගෙන ආහ.

ඒ අනුව උන්වහන්සේ 1985 දී අධිකරණ නායක පදවියටත්, 1989 දී අනුනායක පදවියටත්, 1996 දී උතුම් මහානායක පදවියටත් පත් කර ගැනීමට කල්‍යාණිවංශ පාර්ශ්වය ක්‍රියා කළ අතර උන්වහන්සේ විසිහත් වසක් උතුම් මහානායක පදවිය ශෝභාවත් කළහ. කාලයක් මුළුල්ලේ කොටස් තුනකට බෙදී මහානාහිමිවරුන් තිදෙනකු යටතේ පාලනය වූ කල්‍යාණිවංශ මහා නිකාය විශාල ප්‍රයත්නයක් දරා එකම නිකායක් බවට පත් කිරීමට උන්වහන්සේ නායකත්වය දෙමින් ඉටු කළ මෙහෙවර සුවිශේෂ ය.

මෙරට වැඩ සිටි ගිහි පැවිදි කා අතරත් අප්‍රමාණ ගෞරවාදරයට ලක් වුණු ශීලයෙන් ද, දේශනයෙන් ද, පාණ්ඩිත්වයෙන් ද, අගතැන්පත් වූ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමි, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහානාහිමි, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමි යන උතුමන් හෙබ වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියට උන්වහන්සේ 2021.07.20 දින පත්වීම ගිහි පැවිදි බෞද්ධ ලෝකයාගේ මහත් සතුටට හේතු වූහ.

ලාභාපේක්ෂාවකින් තොරව කරුණාබර හදවතින්, ශිලාදී ගුණෝපලක්ෂිතව උන්වහන්සේ සිදුකළ විශිෂ්ට ශාසනික හා සාමාජික සේවාවන් කෙරෙහි ප්‍රසාදවත් වූ විවිධ ආයතන හා සංවිධාන ද උන්වහන්සේට විවිධ ගෞරව නාම ප්‍රදානය කිරීමෙන් උන්වහන්සේ ඇගයීමට ලක් කළහ.

ඒ අනුව අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකාය මඟින් කල්‍යාණිකීර්ති ශ්‍රී වංගීසාලංකාර ගෞරව නාමයෙනුත්, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම මඟින් මහාවිහාර වංශාලංකාර ශාසන විභූෂණ ගෞරව නාමයෙනුත්, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය මඟින් අමරපුර ගණපාමොක්ඛාචරිය ගෞරව නාමයෙනුත්, පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙන මඟින් ස්ථවිරවංශාලංකාර ශාසනකීර්ති ශ්‍රී ගෞරව නාමයෙනුත්, පිදුම් ලැබූ උන්වහන්සේ බුරුම රජය මඟින් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් ද, බුරුම රජය මඟින් ප්‍රදානය කරනු ලබන උසස්තම ගෞරව නාම ප්‍රදානය වන අභිධජ මහාරට්ඨගුරු ගෞරවාභිධානයෙන් ද සම්මානිත වූහ.

මෙසේ අපමණ ගුණ කදම්භයකින් සමන්විත වූ උන්වහන්සේ කිසිවකු නොසිතූ අවස්ථාවක 2023 මැයි මස 16 වැනි දින අපවත් වූහ. නවක මධ්‍යම ස්ථවිර සියලු භික්ෂූන්ට හා ගිහි ප්‍රජාවට ස්වකීය චරිතයෙන් මහා ආදර්ශ සැපයූ මෙවන් මහා යතිවරුන්ගේ විශාල හිඩැසක් පවතින මෙවන් යුගයක උන්වහන්සේගේ අපවත් වීම අමරපුර කල්‍යාණිවංශ මහා නිකායට හෝ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට හෝ, ගෝතම තපෝවනය ඇතුළු තදීය ශාඛාවන්ට හෝ පමණක් සිදු වූ පාඩුවක් නොව සමස්ත බෞද්ධ ලෝකයට ම සිදු වූ මහත් පාඩුවක් බව මෙහිලා සංවේගයෙන් සඳහන් කරමි.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්ධරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත, අභිධජ මහාරට්ඨගුරු අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ම වේවා'යි පතමි. 

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]