[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

වචන මාත්‍රයෙන් පමණක් සරණාගමනය සිදු නොවේ

වචන මාත්‍රයෙන් පමණක් සරණාගමනය සිදු නොවේ

පුද්ගලයෙක් බුද්ධ ශාසනයට ඇතුළත් වන්නා වූ ප්‍රධානතම දොරටුව තිසරණය වෙයි. ‘සර්වඥ වූ, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ මම සරණ යමි, බුදු රජාණන් වහන්සේ සරණ යාම මට ආරක්ෂාව පිණිස ද, නිර්භයතාව පිණිස ද වන්නේ ය ’ යනාදීන් ත්‍රිවිධ රත්නය සරණ කොට ගැනීමෙන් තිසරණය පිහිටන්නේ ය.

ලෞකික සරණාගමනය, ලෝකෝත්තර සරණාගමනය යැ’යි ප්‍රධාන වශයෙන් සරණාගමනය දෙවැදෑරුම් වේ. නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කොට ගත් සෝවාන් ආදී මාර්ගඵල ලැබූ ආර්‍ය ශ්‍රාවකයන්ගේ එම මාර්ගය ලබන මොහොතෙහි හෙවත් මාර්ගක්‍ෂණයෙහි ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ම එක් සිතක පහළ වේ. එම මොහොතෙහි ඔවුන්ගේ චිත්ත සන්තානයෙහි ඇති වන නිවන අරමුණු කරගත් ස්ථිරභාවය ලෝකෝත්තර සරණාගමනය යි.

මහමෙර මෙන් අචල වූත්, ස්ථිර වූත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය හා එක් ව යෙදෙන බැවින් එම සරණාගමනය ස්ථිර වෙයි. එහි වෙනත් ප්‍රභේදයක් ද නැත. ස්ථිර බැවින් ආර්‍ය ශ්‍රාවකයකු නැවත නැවත සමාදන් වීමක් හෝ සරණ යාමක් අවශ්‍ය නොවේ.

ආත්ම සන්නිර්යාත සරණාගමනය

තත්පරායණ සරණාගමනය

ශිෂ්‍යභාවෝපගමන සරණාගමනය

ප්‍රණීත සරණාගමනය

යනුවෙන් සතරාකාර වේ. අද පටන් කොට මාගේ ජීවිතය ත්‍රිවිධ රත්නයට පූජා කරමි. මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ, ධර්මයට, සඟුන්ට පූජා වේවා යනුවෙන් කියා තෙරුවන් සරණ යාම ආත්ම සන්නිර්යාන්ත සරණාගමනය යි. බුදුරදුන් දවස සුමන මල්කරු මේ ආත්ම සන්නිර්යාන්ත සරණාගමනයෙන් තෙරුවන් සරණ ගියේ ය.

අද පටන් මම රත්නත්‍රය පිහිට කොට ගනිමි යනුවෙන් සරණ ගැනීම තත්පරායණ සරණාගමනය යි. අපේ රටෙහි ද කලක් ආත්ම සන්නිර්යාන්ත සරණාගමනය පැවතිය ද, දැන් එය අභාවයට ගොස් ඇත. එහෙයින් මෙකල බොහෝ බෞද්ධයන් තෙරුවන් සරණ යන්නේ තත්පරායණ සරණාගමනයෙන් බව පෙනේ.

‘අද පටන් මාගේ සියලු වැඳීිම් පිදීම් හා ගරු බුහුමන් බුද්ධාදී ත්‍රිවිධ රත්නයට පමණක් ම කරමි’

යනුවෙන් සරණ ගත වීම ප්‍රණිපාත සරණාගමනය යි. උපාලි ගෘහපතිතුමා, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වැන්නවුන් එසේ ප්‍රණිපාත සරණාගමනයෙන් තෙරුවන් සරණ ගියෝ ය.

අද පටන් මම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද, ධර්මය කෙරෙහි ද, සංඝයා කෙරෙහි ද ශිෂ්‍යයකු වෙමි. ත්‍රිවිධ රත්නයේ අතවැසියකු වෙමි යනුවෙන් සරණ ගත වීම ශිෂ්‍යභාවෝපගමන සරණාගමනයයි. පිප්ඵලී මානවක උතුමා සරණ ගියේ මේ සරණාගමනයෙනි.

ලොවුතුරා බුදු කෙනෙකුන් වහන්සේගේ පහළ වීමෙන් ම ධර්ම රත්නය ලෝකයට පහළ වේ. එසේ ම ධර්ම රත්නය අවබෝධ නොකළේ නම් ලොවුතුරා බුදු කෙනකුන්ගේ පහළ වීම නොවන්නේ ය. බුදු කෙනෙකුන් පහළ ව. ධර්මය දේශනා කිරීමෙන් පමණක් ම සංඝ රත්නය ද පහළ වේ. බුදුරදුන්ගේ අනුශාසනය වූ ධර්මය ද, සංඝයා වහන්සේ නොමැති ව කල් පවත්නේ නොවේ. එ බැවින් මේ ත්‍රිවිධ රත්නය ම වෙන් නොකළ හැකි සේ ඒකාබද්ධ ව පවතී.

ලොවුතුරා ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදු බවට පැමිණ පනස් වැනි දින උදෑසන මධ්‍ය මණ්ඩලයට යමින් සිට ලොවුතුරා බුදුන්ට විළඳ හා මී පිඬු පූජා කිරීමෙන් පසු බුදුන් දහම් යන ද්විවිධ රත්නය සරණ ගිය තපුස්සක හා භල්ලික යන දෙදෙනාගෙන් ද්වේවාචික සරණාගමනය ආරම්භ වී ය.

බුදු රජාණන් වහන්සේ බරණැස ඉසිපතනයේ දී ධම්මචක්කප්පවත්තන සූත්‍රය වදාළ ගමනේ දී සෝවාන් ඵලයට පත් වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තවුසාණන්ට ද ලැබුණේ ද්වේවාචික සරණාගමනය යි. එතුමාණන් ඒහි භික්‍ෂුභාවයෙන් මහණ උපසම්පදාව ලැබූ කල්හි ප්‍රථම බුද්ධ ශ්‍රාවකයා පහළ වූවා මිස, ඒ වන විටත් සංඝයා පහළ වී තිබුණේ නැත. එයින් පසු පිළිවෙළින් වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන තවුසන්ගේ මහණ වීමෙන් හා රහත් වීමෙන් සංඝ රත්නය ලෝකයෙහි පහළ වූයේ ය. උන් වහන්සේලා උතුම් නිර්වාණය අවබෝධ කළ බැවින් සරණාගමනයක් අවශ්‍ය නොවූයේ ය. මාර්ගයෙන් සරණාගමනය ද සිද්ධ වූ බැවිනි.

ගෞතම බුද්ධ ශාසනයෙහි ප්‍රථමයෙන් තෙරුවන් සරණ ගිය උපාසකයා නම් යස කුලපුත්‍රයාගේ පියාණන් වූ සුජාත සිටුවරයා ය. යස කුලපුත්‍රයා ගිහි ගෙයි කලකිරී නිවසින් පිටත් ව ගමන් කරන අතර බරණැස ඉසිපතනයට පැමිණ බුදුරදුන් මුණ ගැසීමෙන් පසු බණ අසා සෝවාන් ව නිවන් දැක්කේ ය. එසේ ඔහු ද ආර්‍ය ශ්‍රාවකයකු වූ බැවින් සරණාගමනය අවශ්‍ය නොවී ය.

ඔහුගේ පියා වූ සුජාත සිටුවරයා පුත්‍රයා සොයමින් යන අතරතුර බුදු රජාණන් වහන්සේ දැක, උන් වහන්සේගෙන් බණ අසා බුදුන්, දහම්, සඟුන් සරණ ගොස් සෝවාන් ව උපාසකභාවය ප්‍රතිඥා කෙළේ ය. එබැවින් සුජාත සිටුවරයා ම ගෞතම බුදු සසුනේ ප්‍රථම තෙරුවන් සරණ ගිය නියත බෞද්ධ උපාසකයා වේ.

කලින් සෝවාන් ව සිටි යස කුලපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සුජාත සිටුවරයාට වදාළ ධර්මය කෙරෙහි නුවණ මෙහෙයවා උතුම් රහත් ඵලයට පත් වූයේ ය. ඉක්බිත්තෙන් බුදුන් හමුවෙහි මහණ උපසම්පදාව ලදින් තම පියා වූ සුජාත සිටුවරයාගේ ආරාධනාවෙන් පසු දෙවැනි දින බුදුරදුන් සමඟ නිවසට වැඩම කිරීමෙන් පසු උන් වහන්සේ වදාළ බණ අසා යස කුලපුත්‍රයාගේ මෑණියන් වූ සුජාතා සිටු දේවිය ද, පුරාණ භාර්‍යාව ද තෙරුවන් සරණ ගිය හ. ඒ දෙදෙන ගෞතම බුදු සසුනෙහි තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසිකාවෝ ය.

තෙරුවන් සරණ යන ක්‍රමය කෙටියෙන් මෙසේ ය.

‘ නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ’ යනුවෙන් සරණාගමනයට පෙර තුන් වරක් කියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ යුතු ය. මෙහි දී විශේෂ කරුණක් සිහිපත් කිරීම වටින්නේ යැ’යි සිතමි.

මේ නමස්කාර පාඨය බ්‍රහ්මායු, සෝණදණ්ඩ බ්‍රාහ්මණාදීන් විසින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම පිණිස භාවිත කරන ලද වාක්‍යයක් මිස, එය බුද්ධ භාෂිතයක් නොවේ. මේ පාඨය පදයෙන් පදයට සාතාගිර, හේමවත ආදී යක්‍ෂයින් පස් දෙනකු විසින් කියන ලද්දකැ’යි බලි තොවිල් ආදිය කරන්නවුන් අතරෙහි දුර්මතයක් පවතී. එය සම්පූර්ණයෙන් ම වැරැදි මතයකි.

නමස්කාර පාඨය තුන් වරක් කියා බුදු රජාණන් වහන්සේට වැඳීමෙන් පසු තමන්ට හැකි පමණට බුදු ගුණ මෙනෙහි කරමින් සියලු ගුණයන්ගේ කෙළ පැමිණි, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ අවබෝධ කර ගත් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මය අවබෝධ කර ගැනීම පිණිස උන්වහන්සේ දිවි හිමියෙන් සරණ යමි, උන්වහන්සේ පිහිට කොට ගනිමි, උන්වහන්සේ හැර වෙනත් සරණක් මට නැත, මෙතැන් පටන් මම ද උන් වහන්සේ අනුගමනය කළ ප්‍රතිපදාව අනුගමනය කරමි, බුදුන් වහන්සේ සරණ යමි ’ යනාදීන් බුදුන් සරණ යා යුතු ය.

තව ද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිවේධ කළා වූ, නව ලොවුතුරා ශ්‍රී සද්ධර්‍මය දිවි හිමියෙන් සරණ යමි, ඒ ධර්‍මය හැර අන් සරණක් ප්‍රාර්‍ථනා නොකරමි. නිර්වාණාවබෝධය කොට මේ අනන්ත දුක් ඇති සංසාරයෙන් එතෙර වීම පිණිස ධර්‍මය පිහිට කොට ගනිමි යනාදීන් දහම් සරණ යා යුතු ය.

තව ද ඒ භාග්‍යවත් ලොවුතුරා බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් සද්ධර්‍මය අවබෝධ කොට ගෙන ආර්‍ය පුද්ගල බවට පැමිණියා වූ අෂ්ටාර්‍ය පුද්ගල මහා සංඝ රත්නය දිවි හිමියෙන් සරණ යමි. උන් වහන්සේලා ගත් මඟ අද පටන් මම ද ගනිමි, උන්වහන්සේලා හැර අන් සරණක් නොපතමි යනාදීන් සඟ සරණ යා යුතු ය.

මේ වූ කලි තෙරුවන් සරණ යන ඉතා ම කෙටි ක්‍රමය යි. මෙහි දී විශේෂයෙන් කිව යුත්තක් නම් අවංක සිතින් ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කරමින් මුළු සිතින් ම කරන සරණ යාමෙන් පමණක් තෙරුවන් සරණ යාම සිද්ධ වන බව මුත් මෙකල බොහෝ දෙනෙක් මෙන් බුද්ධාදී ගුණ මෙනෙහි නොකරමින් වටපිට බලමින් අවංක නොවූ සිතින් ‘ බුද්ධං සරණං ගචඡාමි ආදීන් කියන වචන මාත්‍රයෙන් පමණක් සරණාගමනය සිදු නොවන බව ය.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]