[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ආර්ථික අර්බුදය විසඳීමට වියහියදම් සිහිනුවණින් කළමණාකරණය කරන්න

ආර්ථික අර්බුදය විසඳීමට වියහියදම් සිහිනුවණින් කළමණාකරණය කරන්න

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් සෑම අයකුම අඩු වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටී. ඇතමකුට තම මූලික අවශ්‍යතා වන ආහාර, ඖෂධ ආදිය පවා සම්පූර්ණ කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබේ.

එහෙත් අප අතර ඇතැමෙක් කොතරම් අපහසුතා පැවතිය ද විනෝදකාමී, එමෙන් ම අධිපරිභෝජනවාදී ජීවිතයක් පවත්වා ගෙන යන අයුරු දක්නට ලැබේ. අර්බුද සමයෙහි සිහි නුවණින් යුතුව තම වියදම් නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් සැහැල්ලුවෙන් කටයුතු කරන්නේ ඉතාමත් අල්ප පිරිසකි.

පවතින ආර්ථික අර්බුදයට සාපේක්‍ෂව තාක්‍ෂණය විසින් නිර්මාණය කරන ලද ඇතැම් දෑ පුද්ගලයාගේ ආර්ථිකයට මෙන් ම සමාජ ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ලකර තිබේ. මේ යටතේ බුදුරදුන් වදාළ සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන භෝග විනාශ මුඛ හයෙහි නූතන අදාළත්වය විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

ගිහි විනය වශයෙන් හැඳීන්වෙන සිඟාලෝවාද සූත්‍රයෙහි කෙනකු උපයන ධනය විනාශ වන අවස්ථා ලෙස මත්පැන් පානය, අවේලාවේ වීථි සංචාරය, නිතර උත්සව හා විනෝද ක්‍රියාවල නිරත වීම, සූදු ක්‍රිඩාවෙහි නිරත වීම, පාප මිත්‍ර සේවනය හා අලසව කටයුතු කිරීම දක්වා තිබේ.

බුද්ධ කාලීන සමාජයේ සුරා පානය විවිධ අයුරින් පැවති අතර, වර්තමානයේ දී එය සුරාවට පමණක් සීමා නොවී ලොව සෑම අයෙක්ම පීඩාවට පත්කෙරෙන විවිධ නම්වලින් හැඳීන්වෙන මත් ද්‍රව්‍ය භාවිතය දක්වා විකාශනය වී තිබේ. සාපේක්‍ෂ වශයෙන් ගත්විට අතීතයට වඩා වර්තමානයේ දී ඒවා සංකීර්ණ වී තිබෙන අතර, සිදුවන හානිය ද ඉතා විශාල ය.

අතීතයේ යම් පමණකට පුද්ගල බද්ධව සිදු වූ හානිය වර්තමානයේ සුරාව හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා පුද්ගලත්වය ඉක්මවා ගොස් ගෝලීය සමාජ අර්බුදයක් බවට පත්ව තිබේ. ඒවා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකළහොත් ආර්ථිකයට හා ලෝක සාමයට එයින් එල්ලවෙන බලපෑම තක්සේරු කළ නොහැකි තරමට ම විශාල ය.

ඇතැම් විට සුරා පානයටත් වඩා මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදු වී තිබෙන පුද්ගල හා සමාජ හානිය ගණනය කළ නොහැකි පමණට විශාල ය. එහෙත් සමාජයේ බොහෝ දෙනකු සුරාපානය ගැන පමණක් නිතර අවධාරණය කරන අතර, ගම් මට්ටමින් තරුණ ජීවිත විනාශ කෙරෙන මත්ද්‍රව්‍ය භාවිතය හා අළෙවිය වැළැක්වීම සඳහා ගන්නේ අල්ප උත්සාහයකි. ඉතා රහසිගතව සිදුවන මෙම අපරාධය දිනකට තරුණ ජීවිත සිය ගණනක් ගොදුරු කර ගනිමින් තිබේ.

සෙසු කරුණු අතුරින් අවේලාවේ වීථි සංචාරය හා විනෝදාස්වාදය හා සූදුව ඒකායන අරමුණ බවට පත් කර ගනිමින් එය සැපිරෙන ආයතන ඇසුරු කිරීමෙහිලා තත්පර වීම හා ඒවා භාවිතය කෙරෙහි දැඩි ලෙස ආසක්ත වීම යන කරුණු දෙක වර්තමානය හා සම්බන්ධ කිරීමේ දී ඉතා පුළුල් ව සිතා බැලිය යුතු වේ.

මෙම අවස්ථා දෙක වර්තමානයේ සමාජ ශාලා ඇසුරෙන් ඉතා පුළුල්ව සිදු වේ. වර්තමාන අර්ථයෙන් ගත්විට නූතන සමාජශාලා යනු අතීතයේ මෙම අවස්ථා තුනටම අදාළ අවශ්‍යතා සපයා ගැනීමට තිබෙන පොදු ආයතනය ලෙස සැලකීම වරදක් නොවේ.

නූතන සමාජ පරිවර්තන හමුවේ මෙවැනි දෑ සම්පූර්ණයෙන් ම වැළැක්වීමට නොහැකි ය. වෙළඳ ආර්ථිකය විසින් ඒවාට විවිධ අර්ථකථන දක්වා සාධාරණීකරනය කරනු ලැබේ. මේ පසුබිම යටතේ අවබෝධයෙන් යුතුව තම ධනය හා සෞඛ්‍ය පිරිහෙන එබඳු ආයතන ඇසුරෙන් වැළකී සිටීම හැර වෙනත් විකල්පයක් නොමැත. අනුගමනය කළ හැකි නුවණැති පිළිවෙත වන්නේ ද ආත්ම දමනය ඇති කර ගැනීමයි. එහෙත් අනුවණ පුද්ගලයා එහි ගොදුරක් බවට පත්වීම වැළැක්වීම අසීරු ය.

වර්තමාන සමාජ මාධ්‍ය යටතේ එන ඇතැම් අංශ දෙවන තෙවන හා සිව්වවන භෝග විනාශ මුඛ ගණයට ඇතුළත් කළ හැකි ය. අතීතයේ මෙන් විනෝදාස්වාදය සපයන දෑ සොයමින් මහමඟ ඇවිද යාම නොකළත් තමා අතට පත් විවිධ විද්‍යුත් උපකරණ පාලනයකින් තොරව එම අවශ්‍යතා සඳහා භාවිත කිරීමෙන් සිදුවන හානිය එකක් ම වේ.

අනවශ්‍ය ලෙස සමාජ මාධ්‍ය ඇසුර සඳහා කාලය හා ධනය වැය කිරීමෙන් සිදුවන්නේ බුදුරදුන් භෝග විනාශ මුඛ යටතේ දෙවැනි තෙවැනි හා සිව්වැනි කරුණෙන් අවධාරණය කළ දේ ම ය. ඒ සඳහා ජංගම දුරකථනය හෝ පරිඝණකය භාවිත කෙරෙන අතර, එයින් ධනය මෙන් ම අධ්‍යාපනය, සෞඛ්‍යය විනාශ කර ගත් කෙතෙක් නම් පිරිසක් අප අතර වෙසේ ද යන්න සිතා බැලීම වැදගත් වේ.

මෙහි බලපෑමක් ලෙස සමාජ අපරාධ මෙන් ම අපචාර ක්‍රියා සිදුකරන පුද්ගලයන්ගේ ගොදුරක් බවට පත් වූ දරුවන් කොතෙකුත් දැකිය හැකි ය. තම ජීවිතය අර්ථවත්ව පවත්වා ගෙන යාමට යොදාගත හැකි මෙවලම් හා තාක්‍ෂණය අවභාවිත කිරීමෙන් කාලය හා ධනය විනාශ වන අයුරු බොහෝ දෙනකුට වටහා ගැනීමට අසීරු ය. ඇතැම් විටෙක ඔවුන්ට එය වැටහෙන විට තම දෙමාපියන්, දරුවන්, සමාජ තත්ත්වය, රැකියාව, කීර්තිය, අධ්‍යාපනය හා සෞඛ්‍ය යන සියල්ල අහිමි වී තිබිය හැකි ය.

සමාජ සදාචාරය ගොඩනඟන ගාමක බලවේගය වන ආගම නියෝජනය කරන පුද්ගලයන් එහි ගොදුරක් වීම ඛේදනීය කරුණකි.

වර්තමාන මිනිසා ජීවත් වන්නේ ඩිජිටල් ලෝකයක ය. කොතැන හෝ තැනක තමන් සිදුකරන අයහපත් දෑ වාර්තා වීම නොවැළක්විය හැකි ය. ඒවායේ අතුරු ප්‍රතිඵල දීර්ඝ කාලීන ය.

ඒ අනුව බුදුරදුන් වදාළ භෝග විනාශ මුඛ අතුරෙන් දෙවැනි තෙවැනි හා සිව්වැනි අංග පෙරටත් වඩා අද සමාජයට අදාළ වේ. නූතන තාක්‍ෂණයේ පිහිටෙන් සිදුවෙන එම ක්‍රියා නිසා දිනපතා වන හානිය ද බුදුරදුන් වදාළ ආදීනව හා සමාන ය. වර්තමානයේ එම භෝග විනාශ මුඛ තුන සිදුවන ආකාරයේ යම් වෙනසක් පැවතිය ද එයින් වන නරක ආදීනව එක හා සමාන වේ.

පාප මිත්‍ර සේවනය පෙරටත් වඩා පහසුවෙන් සිදුවන්නේ තාක්‍ෂණයේ පිහිටාධාරයෙන් ය. එය කොතරම් ප්‍රබල ද යත් පාප මිත්‍රයන් සඳහා ම සකස් වූ විවිධ නම්වලින් හැඳීන්වෙන අන්තර්ජාල වෙබ් පිටු සියදහස් ගණනක් දක්නට ලැබේ. මේවායේ සැරි සරන්නන් එක් අතකින් තම ධනය හා කාලය විනාශ කර ගන්නා අතරම, මානසික වශයෙන් අවුල් සහගත ජීවිතයක් උරුම කර ගෙන ඇති අයුරු දක්නට ලැබේ. එවැනි වෙබ් අඩවිවල සහයෝගය නිසා ළමා අපචාර, පවුල් ආරවුල්, සමාජ අපරාධ ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. අන්තර්ජාලය හරහා එවන් ආයතනවල ඇසුර ලබන කුඩා දරුවන් තරුණ තරුණියන් නිවසේ දී ම අපයෝජනයට ලක්වන අවස්ථා එමට ය. තාක්‍ෂණය විසින් ඇතිකෙරෙන වැරැදි උත්තේජනයන් නිසා කාලයත් සමග දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මානසික වශයෙන් විවිධ රෝගවලට ගොදුරු වෙමින් තිබේ.

බුදුරදුන් වදාළ පරිදි පාප මිත්‍ර සේවනයෙන් ලැබෙන ආදීනව ඒ අයුරින්ම වර්තමානයට ද අදාළ වේ.

අවසන් භෝග විනාශ මුඛය වන අලසකම සාකල්‍යයෙන් ම පුද්ගලයා මත තීරණය වේ. ඒ සම්බන්ධයෙන් සමාජයට දොස් පැවරිය නොහැකි ය. නිවසේ මෙන් ම තමාට අදාළ රාජකාරිය අතපසු කොට කල්දමා අලසව කටයුතු කරන පුද්ගලයාගේ පුද්ගලික දියුණුවක් මෙන්ම ඔහු නියෝජනය කරන සමාජය මෙන් ම රටේ ද දියුණුවක් අපේක්‍ෂා කළ නොහැකි ය. එබැවින් මෙම අර්ථික අර්බුද සමයේ බුදුරදුන් වදාළ භෝග විනාශ මුඛ පිළිබඳ ගැඹුරින් සිතා බැලීම අත්‍යවශ්‍ය වේ.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]