[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සුපේශල ශික්ෂාකාමී බහුශ්‍රැත වැලමිටියාවේ ඤාණරතන නාහිමි

සුපේශල ශික්ෂාකාමී බහුශ්‍රැත වැලමිටියාවේ ඤාණරතන නාහිමි

1875 නොවැම්බර් මස පළමු වන දින බෝධිසත්ව ගුණෝපේත අතිගරු රත්මලානේ ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවන දෙස් විදෙස් වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වුණ පෙරදිග අධ්‍යාපනයේ මහා තක්‍ෂිලාවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

අර්ධ ශතවර්ෂ තුනකට ආසන්න කාලයක් ජාතික ආගමික ශාසනික සාමාජික හා ශබ්ද ශාස්ත්‍ර වශයෙන් මෙම ශාස්ත්‍ර නිකේතනය මගින් සිදු වී ඇති මෙහෙවර අතිශයින් ම ප්‍රශංසා කටයුතු ය. එදා මෙදාතුර විද්‍යාලංකාර පිරුවනෙහි ඉතිහාසය විමසා බැලීමේ දී එහි නායකත්වයට පත් වූවෝ ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම ගෞරවාදරයට පාත්‍ර වූ සුපේශල ශික්‍ෂාකාමී බහුශ්‍රැත ධර්මධර විනයධර පැවිදි උතුමෝ ය.

එකී සුධීමත්හු සාංසාරික පුණ්‍ය බල මහිමය ම හේතු කොට ගෙන විද්‍යාලංකාර ගමන් මගට නායකත්වය ලබාදීමට සංසාරයෙහි එයට අවශ්‍ය පාරමිතා සම්පූර්ණ කළ යුතු බව අපගේ විශ්වාසයයි. මෙවැනි පෙරවදනක් මෙහිලා පළමුවෙන් ම සඳහන් කළේ සුවිශේෂ කරුණක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට ය.

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති හා අධ්‍යක්‍ෂ වැලමිටියාවේ ඤාණරතන නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ වෙත ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වය මගින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

අපේ වැලමිටියාවේ ඤාණරතන නාහිමියෝ ඓතිහාසික සත්කෝරලයේ වැලමිටියාව නම් ග්‍රාමයේ අති සම්භාවනීය ප්‍රවේණියක 1974 - 06 - 29 වන දින ජන්ම ලාභය ලැබූහ. අනතුරුව 1987 - 03 - 01 වැනි දින පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති මහෝපාධ්‍යාය අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ සාහිත්‍ය චක්‍රවර්තී ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්ව 1996 - 06 - 22 වැනි දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්හ.

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ වර්ග පටිපාටියෙන් අධ්‍යාපනය ලබමින් විද්‍යාලංකාර අවසාන පරීක්‍ෂණයෙන් සමත්ව 2007 වර්ෂයේ සිට එහි කීර්තිමත් ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරමින් සිටිති. 2021 සිට උප පරිවේනාධිපති පදවිය උසුලමින් සිදු කරන ආගමික ජාතික ශාසනික සාමාජික මෙහවර ද මෙහිලා සිහිපත් කළ යුතු ය. වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව ඤාණරතන නාහිමියන් වෙත පරිවේනාධිපති හා අධ්‍යක්‍ෂ තනතුර විද්‍යාලංකාර සභාව මගින් පිරිනමා ඇත.

අතීත විද්‍යාලංකාර පරිවේනාධිපතීන් වහන්සේ අනුගමනය කළ වත් පිළිවෙත් මෙන්ම ධර්ම ශාස්ත්‍ර ශබ්ද ශාස්ත්‍ර සේවය එලෙස ම පවත්වාගෙන යමින් අධිෂ්ඨානශීලීව කැපවීමෙන් හා දුරදක්නා ඥානයෙන් උන්වහන්සේ කටයුතු කිරීම නිසා ම ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනැමීම මේ මස 07 වැනි දින සිදු කිරීමට නියමිත ය.

වැලමිටියාවේ ඤාණරතන නාහිමියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]