[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සංඝ සෝභිත ගුණ පූජිත ඇල්ලේ ඉන්දසෝභන නා හිමි

සංඝ සෝභිත ගුණ පූජිත ඇල්ලේ ඉන්දසෝභන නා හිමි

හබරාදුව තලාතුඩුව ආරණ්‍ය සේනාසනාධිපති, කොග්ගල ගුණදස්සනාරාමාධිපති තලාතුඩුව තෝමස් අමරසූරිය පරිවේනාධ්‍යක්‍ෂ ඇල්ලේ ඉන්ද්‍රසෝභන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගාලු සංඝ සභාවේ අනුවිජ්ජ (අධිකරණ නායක) පදවිය සමඟ ශ්‍රී වනරතන ඉන්දෝභාස වංසාලංකාර ශාසන සේවා කීර්ති සංඝ සෝභන ගෞරව නාම දේහෝපලක්‍ෂිතව ගාලු දිසාවේ අධිකරණ නායක පදවිය පිරිනමා ඇත.

ඇල්ලේ ඉන්දසෝභන නාහිමි 1968 අප්‍රේල් 08 වන දින උපත ලබා ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් තලාතුඩුව ආරණ්‍ය සේනාසනාධිපති දොරපේ ඉන්දෝභාෂ නායක සාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ඇල්ලේ ඉන්දසෝභන සාමණේර නමින් පැවිදි විය.

තෝමස් අමරසූරිය පරිවේනස්ථානයෙන් මූලික ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කර වැඩි දුර අධ්‍යාපනය සඳහා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත් ව මැනවින් ශබ්ද ශාස්ත්‍රාදිය ප්‍රගුණ කර බණදහම් උගෙන විසි වයස් සම්පූර්ණ ව භද්‍ර යෞවන වියේ දී භික්‍ෂුවකට ලද හැකි භාග්‍ය සම්පන්න වූ අධිශීල සංඛ්‍යාන උපසම්පදා ශීලයෙහි පිහිටියේ දියවන්නාවේ උදකුක්ඛේප සීමා මාලකයේ දී 1995 ජූලි 02 වන දින දී ය.

ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු තලාතුඩුව ආරණ්‍ය සේනාසනයේ ආධිපත්‍යයට පත් ව එහි දියුණුවටත් අභිවෘද්ධියටත් ජීවිත පරිත්‍යාගයෙන් ඇප කැප වී නීතිමය වශයෙන් ඇති සියලු අභියෝගයන් ජයග්‍රහණය කර අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙම සුන්දර වන අරණ පූජා භූමියක් බවට පත්කර ලන්නට ඉන්දසෝභන නායක සාමින්ද්‍රයන් වහන්සේ දිවා රාත්‍රී නොබලා කාලය ධනය ජීවිතය ගැන පවා නොසලකා මිල මුදලට යටත් නොවී සෘජුව අවංකව එඩිතර ව තම වගකීම අනාගත ශාසනාභිවෘද්ධිය පිණිස සිදුකරන ලදී.

දෙස් විදෙස් ජනතාවගේ ගෞරවාදරයට පත්වන ලෙස මෙම ආරණ්‍ය සේනාසනය පත් කිරීමේ දී ඉන්දසෝභන නාහිමියන් කළ මෙහෙය ප්‍රමාණ කළ නොහැකි ය. උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගාලු සංඝ සභාවේ ලේඛකාධිකාරී ධූරය දශකයකට වැඩි කලක් සිදුකරමින් සංඝ සභාවේ ද අභිවෘද්ධියට ක්‍රියා කළහ. තෝමස් අමරසූරිය පිරිවෙනේ ද කෘත්‍යාධිකාරී ධුරය දරමින් පරිවේනස්ථානය තුළින් අතිවිශාල මෙහෙයක් ද ඉටු කරති.

ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, එංගලන්තය වැනි රටවල ද සංචාරය කරමින් ධර්ම දූත මෙහෙවරෙහි ද ඇල්ලේ ඉන්දසෝභන නාහිමියන් ක්‍රියා කළහ.

උන්වහන්සේගේ මේ ලෝක ශාසනික සේවය අගය කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින්, ශ්‍රී වනරතන ඉන්දෝභාෂ වංසාලංකාර ශාසන සේවා කීර්ති සංඝ ශෝභන යන ගෞරව නාම සහිතව මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගාලු සංඝ සභාවේ අනුවිජ්ජ (අධිකරණ) නායක පදවියට පත් කරන ලදී.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය නිමිති කර ගනිමින් අභිනව නා හිමියන් පිළිගැනීමේ පෙළහර 2023.04.08 දින සවස 2.00 හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ කරනු ලබයි.

09 වැනි දින ශතාදික මහා සංඝරත්නය විෂයයෙහි දන් පූජා කර අභිනව නාහිමියන්ට සෙත් ප්‍රාර්ථනය කරනු ලබන අතර, පස්වරුවේ තුන් නිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සංඝ සෝභිත ගුණ පූජිත ඇල්ලේ ඉන්දසෝභන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තුණුරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ශත වර්ෂාදී කාලයක් සසුන් කෙත වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා'යි ප්‍රාර්ථනය කරමි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]