[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තමන්ගේ ගෞරවය රැකෙන්න අනුන්ගේ ගරුත්වය රකින්න

තමන්ගේ ගෞරවය රැකෙන්න අනුන්ගේ ගරුත්වය රකින්න

සිරුරත්, මනසත් ලද පමණින් පුද්ගලයෙක් මිනිසෙක් බවට පත් නොවේ. ක්‍රියාවත්, වචනයත් යමකුගේ මිනිසත් බව ප්‍රදර්ශනය කරන වේදිකා දෙකකි. මේ වේදිකා දෙකේ රඟ දක්වන ආකාරය මත ඕනැම පුද්ගලයෙක් මිනිසෙක්, දෙවියෙක්, තිරිසනෙක්, යකෙක්, භූතයෙක් හෝ ප්‍රේතයෙක් ආදි වශයෙන් ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාව හා වචනය මත තමා කවරෙක් දැයි තීරණය වනු ඇත.

ක්‍රියාවත්, වචනයත් යහපත් හෝ අයහපත් වීමට මූලික වන්නේ මිනිසා සතු මනස හෙවත් සිතයි. ‘මනෝ පුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමයා’ යනුවෙන් සියල්ල මනස පෙරටුකොට ඇත, මනස ශ්‍රේෂ්ට කොට ඇත සහ මනස ප්‍රධාන කොට ඇත යනුවෙන් ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක. එනිසා අයහපත් මනසින් පිටවන වචනය නරකට නපුරට යොමුවූ දුෂ්ඨ කුරිරු පාපී වචනයක් ම වේ. එම වචනය තමාටත් අන්‍යයන්ටත් හානිය පිණිස, විනාශය පිණිස ඒකාන්තයෙන් ම පවතී.

නරක නපුරු දුෂ්ට කුරිරු සිතකින් යුත් ක්‍රියාව ද යහපත පිණිස පවතින්නේ නැත. එවැනි ක්‍රියා තමාගේත්, අන්‍යයන්ගේත් විනාශය පිණිස ම හේතුවේ. මේ අනුව අයහපත් මනසින් පිටවන වචනයත්, අයහපත් මනසින් සිදුකරන ක්‍රියාවත් කරත්තය ඇදගෙන යන ගොනා පසුපස පැමිණෙන කරත්ත රෝදය මෙන් තමා පසුපස විපාක දෙමින් පැමිණෙන බව ‘තතො නං දුක්ඛමන්වෙති චක්කංව වහතෝ පදං’ යන බුද්ධ භාෂිතයෙන් මොනවට පසක් වේ.

තෘප්තියට පත්නොවන අසීමිත ආශාවන්ගෙන් තොර, අනිවාර්ය අවශ්‍යතා පමණක් සපුරා ගන්නා, සරල, චාම්, පරිසර හිතකාමි දිවිපෙවෙතක් පිළිබඳ බුදුදහම නිර්දේශ කරන්නේ මිනිසා සොබාදහම අතික්‍රමණය නොකළ යුතු හෙයිනි. උපාසක උපාසිකා උදෙසා නිර්දිශ්ට නිත්‍ය ශීලය වූ පංච ශීලයෙන් ද මේ බව මනාව තහවුරු වේ. මිනිසාගේ ක්‍රියාවත්, වචනයත් පංච ශීලය තුළ සොබාදහමට හිතකාමි ලෙස හික්මවන්නට ගෙන ඇති ප්‍රයත්නය අතිවිශිෂ්ට ය.

පළමු ශික්ෂා පදයෙන් අනෙක් ජීවීන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන අතර එකී ජීවින් ආරක්ෂා කිරීම නැමැති උතුම් යුතුකම මනාව ඉෂ්ට සිද්ධ කරනු ලැබේ. අන්‍යයන් සතු දෑ පැහැර ගන්නේ නැති බැරිකම හා දැඩි ආශාව හේතුවෙනි. නැති බැරිකම හොරකමක් කිරීමට සාධාරණ හේතුවක් නොවේ. යහපත් මනසින් යුත් යම් තැනැත්තෙක් වේ නම්, ඔහු උත්සාහයෙන් හා කැපවීමෙන් සිය අවශ්‍යතා සාධාරණව සපුරා ගනී. එබැවින් හොරකමට බුදුදහමේ කිසිදු ඉඩක් නැත

බුදු දහමට අනුව හොරකම් නොකිරීමටත්, අන්සතු වස්තුන් සුරක්ෂිත කිරීමටත් පැහැදිලි යුතුකමක් හා වගකීමක් මිනිසාට ඇත.

පසිඳුරන් අසීමිතව පිනවීම පුද්ගලයකුගේ අභිවෘද්ධිය හීනවීමට ඉවහල් වේ. තවද පසිඳුරන් අසීමිතව පිනවන්නා අන්‍යයන්ගේ ගෞරවය කෙළෙසන්නෙකි. අන්‍ය ගෞරවය ආරක්ෂා කිරීම සැමගේ යුතුකමක් හා වගකීමක් වේ. එය පංච ශීලයෙහි තුන්වැනි ශික්ෂා පදයෙන් ආරක්ෂා කෙරේ. එය ද සොබාදහමට ම අනුකූල වූ පැනවීමක් බව පැහැදිලි ය. කෙසේ වුව ද සමස්ත පංච ශීලයම යුතුකම් හා වගකීම් පිළිබඳ සොබාදහමට අනුකූල වූ නියමයන් පද්ධතියකි. එකී යුතුකම්වලින් හා වගකීම්වලින් මිනිසා මුක්තනොවීම පංච ශීලයෙහි ඇති විශේෂත්වයයි. මේ අන්දමින් පංචශිල ප්‍රතිපදාව සොබාදහමේ අභිමතයට අනුකූලව එය අබිබවා නොයමින්, ජීව අජීව සියලු වස්තූන්ගේ උන්නතිය වෙනුවෙන් කැපවීම කොතරම් නම් චමත්කාරජනක ද?

එසේම තමාටත් අන්‍යයන්ටත් යහපත පිණිස ඉවහල් වන සාර්ථකවූත් සරලවූත් දිවිපෙවෙතකට පංච ශීල ප්‍රතිපත්තිය පමණක් වුව ද ප්‍රමාණවත් ය.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]