[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ජාති ආගම් භේද නොසලකන ආකල්පමය වෙනසකට යා යුතු කාලය එළැඹිලා - වනවාසී රාහුල හිමි

ජාති ආගම් භේද නොසලකන ආකල්පමය වෙනසකට යා යුතු කාලය එළැඹිලා - වනවාසී රාහුල හිමි

ජාතික නාමල් උයනේ 32 වැනි සංවත්සරය නිමිත්තෙනි

ජාතික නාමල් උයන ව්‍යාපෘතිය ලෝකයේ ම අවධානය දිනා ගත් ලෝක උරුමයක් බවට පත් වීමට ඉතා සුදුසුම මහා සුන්දර වනස්පතියකි.

ජෛව විවිධත්වයෙන් පිරිපුන් ජාතික නාමල් උයන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ සෞඛ්‍ය සම්පන්න වාතාශ්‍රයත්, සිසිලසත් කැටිකොට ගෙන සැදුම්ලත් සුවදායක පරිසරයකි. මෙම පරිසර පද්ධතිය ආගමික, පාරසරික, හා භූගෝලීය වශයෙන් වටිනාකමින් ඉහළ අගයකින් යුක්ත වූ අපේ ජාතික සම්පතකි. මෙහි භූමි ප්‍රමාණය අක්කර 2000කින් සමන්විත ය. මේ සුන්දර වන පියසේ රෝස තිරුවාණා කඳුවැටිය අක්කර 300 - 700 අතර භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. වසර මිලියන 500 ක ඉතිහාසයකට උරුමකම් කියන රෝස තිරුවාණා කඳුවැටිය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ. මෙය සොබා දහමේ විස්මිත නිර්මාණයකි. ක්‍රිස්තු පූර්ව 02 වැනි සියවසේ දී අනුරාධපුර මුල් යුගයේ රජකම් කළ දේවානම්පියතිස්ස රජු සමයට අයිති බෞද්ධ සිද්ධස්ථානයකි. බොහෝ රජවරුන් මෙම සිද්ධස්ථානය වැඩිදියුණු කොට රැකවරණය ලබා දී ඇත.

අප රට මොනතරම් ගස්වැල්වලින් පිරිපුන් වනාන්තරවලින් සශ්‍රීක රටක් වුව ද 21 වැනි සියවසය වන විට මිනිස්සු බොහෝ මහන්සි වූයේ කොන්ක්‍රීට් වනාන්තර බිහි කිරීමට ය. රටේ බහුතරය එසේ කටයුතු කරමින් සිටියදී මේ මහා නා ගස්වලින් පිරුණු ඓතිහාසික වනස්පතිය බේරා ගැනීමට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙක් වගේම උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වන වනවාසී රාහුල හිමියෝ ඉදිරිපත් වූහ. එවකට මිනිස් වාසයෙන් තොර වූ ඒ මහා මූකලාන බේරා ගැනීමේ සටන සුළුපටු නොවීය. උන්වහන්සේ තම රට ජාතිය වෙනුවෙන් ඒ භාරධූර කටයුත්ත මහත් අභිමානයෙන් තමන් වහන්සේගේ කරට ගත්හ. ඒ පිළිබඳ උන්වහන්සේ තමන් වහන්සේගේ මතකය අවදි කළහ.

“1991 මාර්තු 28 වැනි දින මම මෙම ඓතිහාසික මෙහෙයුම ආරම්භ කළා. ඒ වන විට මිනිස් වාසයට සුදුසු පරිසරයක් මෙහි තිබුණේ නැහැ. දැව ජාවාරම්කරුවෝ, නිධන් හොරු මේවා විනාශ කරලා තිබුණේ. මොර ගහක් උඩ පැලක් අටවාගෙන රටක් වශයෙන් ජාතියක් වශයෙන්, මම මේ මෙහෙයුම ජය ගන්නවා කියන අධිෂ්ඨානය ඇතිව පටන් ගත්තා. වසර 2000ක පැරැණි ඉතිහාසයක් නාමල් උයන සතු වන අතර, කියන්න බොහොම සතුටුයි, 2023 මාර්තු මස ජාතික නාමල් උයනේ 32 වැනි සංවත්සරය යෙදිල තිබුණා.

රෝස තිරුවාණාවල ඇති ශක්තිය මොනතරම් ද කිව්වොත් මේ විශ්ව ශක්තිය, ගබඩා කොට තිබෙන ස්ථානවලින් එකක් වනවා. අර්ධ මැණික් වර්ගයක් වීම අති විශේෂ කාරණාවක්.. ඒ වගේම මෙම මැණික් වර්ගය මානසික සුවය ලබා දෙනවා වගේම කායික සුවයක් ලබා දෙනවා. රෝග රැසකට ඖෂධයක් වෙනවා. ලෝකයේ විවිධ රටවලින් සංචාරකයන් පැමිණියත් ජපන් ජාතිකයින් රෝස තිරුවාණාවල ශක්තිය ලබා ගැනීමට වැඩි වශයෙන් මෙහි පැමිණීම සුවිශේෂී වෙනවා. ජෛව විවිධත්වය සහ පාෂාණ පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන පර්යේෂණ පවත්වන අයට, එවැනි දෑ ගැන අධ්‍යයනය කරන අයට වගේම කඳු තරණය කරන්නන්ට මම ආරාධනා කර සිටිනවා මෙහි පැමිණෙන්න, මෙහි දී ඔබට අධ්‍යාපන වටිනාකමක් වගේම හොඳ අත්දැකීමක් ලැබේවී.”

මේ සම්පත ජාතික උරුමයක්. අපි මෙය අපේම දෙයක් ලෙස රැකගත යුතුයි. අපි වැඩි වැඩියෙන් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත යුතු වනවා. මක්නිසාද අප රටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට නම් මේවා ආරක්ෂා කොට වැඩිදියුණු කළ යුතුයි.

ජාතික නාමල් උයනේ ආරම්භයේ සිට අද දක්වාම පැවැති සියලු රජයන්ගේ සහාය ජාතික නාමල් උයන සඳහා ලැබී තියෙනවා. මම කා සමඟවත් කිසිදු ගැටලුවක් ඇති කරගෙන නැහැ. මක්නිසාද මම දේශපාලනය කරන භික්ෂුවක් නොවේ. මම බොහෝම සත්භාවයෙන් මේ කර්තව්‍යයට සෘජු නායකත්වය ලබා දුන්නා පමණයි. ආරම්භක අවස්ථාවේ සිට 2018 වර්ෂය දක්වා මෙහි සියලුම පරිපාලන කටයුතු කළේ මම. ඉන්පසුව මම ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලිඛිතව භාරදුන්නා. දැන් මෙහි සියලුම මෙහෙයුම් කටයුතු ඒ හරහා සිදුවෙනවා. මම බෞද්ධ භික්ෂුවක් හැටියට අත්හැරීම කියන වචනයට නියම අර්ථය වටහාගෙන කටයුතු කළා. මෙය සියල්ලන්ට ම උතුම් ආදර්ශයක් වෙනවා. මක්නිසාද කොයි කවුරුත් කැමති පාලන බලයක් තමන් සතුව තියෙනවා නම්. මා මෙහි අයිතිකරුවා නොවේ, මුරකරුවා පමණයි.

සියලු සත්වයාගේ හිත සුව පිණිසයි මා මේ මෙහෙවර ආරම්භ කළේ. ඒ වගේම මෙහි අයිතිය සියලුම ජාතීන්ට හිමි වෙනවා. බෞද්ධයන් පමණයි කියන ලේබලය කොහෙවත්ම වලංගු වන්නේ නෑ. ජාතික නාමල් උයන නැරඹීම සඳහා ලංකාවේ සියලුම පළාත්වල සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික පාසල්වල සිසුන් පැමිණෙනවා. ඒ වගේම දෙස් විදෙස් උගතුන්, බුද්ධිමතුන් ඇතුළු සියලුම සංචාරකයන් මෙහි පැමිණෙනවා. මෙහි ඇති අධ්‍යාපනික දැනුම ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීමට වගකිවයුතු බලධාරින්ගේ අවධානය යොමු විය යුතුයි.

භූ විද්‍යාව, පරිසර විද්‍යාව හා පුරාවිද්‍යාව පිළිබඳ පරීක්ෂණ කිරීමට මෙය හොඳම තෝතැන්නක්.

වනවාසී රාහුල හිමියන් සියලු ජාතීන්ගේ ගරු බුහුමන් ලබන තම රට ජාතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරන උතුම් හිමිනමකි. 2004 වසරේ ජනාධිපති පරිසර සම්මානයෙන් වනවාසී රාහුල හිමියන් පිදුම් ලබන ලදී.

ජාතික නාමල් උයන ව්‍යාපෘතියෙන් තවත් ජාතික මෙහෙවරක් ඉටු වන බව රාහුල හිමියෝ පැවසූහ.

එනම් නිවාස අහිමි අයට නිවාස ලබාදීම, අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදීම, රෝගීන් සඳහා ආධාර උපකාර ලබා දීම වැනි බොහෝ ප්‍රජාසත්කාර වගේම මේ ප්‍රදේශයේ කිවුල් වතුර වෙනුවට පිරිසුදු පානීය ජලය පවුල් 5000ක් වෙත ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ද සෘජු දායකත්වයක් ලබා දී තිබෙනවා.

ජාතික නාමල් උයන වසර 32ක් සපිරෙන මේ මොහොතේ වනවාසී රාහුල හිමියන්ගේ පණිවිඩය වන්නේ “බෙදී වෙන්වලා හිටපු කාලය අවසන් කොට ජාතිවාදය, ආගම්වාදය තවදුරටත් මාතෘකාවක් කොට නොගෙන, අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් විදිහට ජාතික නාමල් උයනේ දී, අත්වැල් බැඳගෙන ආකල්පමය වෙනසක් ඇති කරමු.” යන්නයි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]