[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තරග කළ යුතු අනුන් සමඟ නොව තමන් සමඟ යි

තරග කළ යුතු අනුන් සමඟ නොව තමන් සමඟ යි

වෛර කරන්නා රෝගියකු ලෙස සිතන්න. රෝගියකු සුවපත් කිරීමේ අදහසින් ඔහු දෙස බලන්න පුරුදුවන්න. කාරුණික සිතින් සුවතාවකට මඟ පෙන්විය හැකි නම් තමන් ගුණවන්තයෙකි.

ආදරය,පේ‍්‍රමය, ක්‍රෝධය, වෛරය වැනි හැඟීම් මිනිසාට මෙන්ම තිරිසනාටත් ඇත. නමුත් මිනිසාගේ හැඟීම් ආත්ම දමනය, ආත්ම ගෞරවය, ශීලාචාරකම, භය හා ලජ්ජාව වැනි උතුම් ගුණධර්මයන් තුළින් කිසියම් පාලනයකට යටත්ව ඇත.

මිනිසා ආලයෙන් අන්ධව ,ක්‍රෝධයෙන්, වියරු වැටී හොඳ – නරක පිළිබඳ හැඟීමකින් තොරව කටයුතු කළහොත් මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් දැක ගත නොහැකි ය.

නිමල් ඉගෙන ගන්නේ පස්වන පන්තියේ ය. නිමල්ගේ අම්මයි – තාත්තයි දෙදෙනා ම රැකියාවට යනවා. පාන්දරින් ම පිටත්වන ඔවුන් ගෙදර එන්නේ රෑ බෝවුනාට පසුවයි. නිමල් පාසලෙන් පසුව අමතර පන්තිවලටත් සහභාගි වී ගෙදර ඇවිත් නින්දට වැටෙනවා. මේ තුන් දෙනාම කතාබහට එක්වන්නේ රාත්‍රි කෑම වෙලාවටයි. මේ අය මොනවද කතා කරන්නෙ, ගෙදර අඩුපාඩු ගැන ද? පවුලේ දියුණුව ගැන ද? නිමල්ගේ අධ්‍යාපන කටයුතු ගැනද? නැහැ. මේව ගැන නොවෙයි කතා කරන්නේ, අහල පහළ අයගේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන, අනුන්ගේ ඇඳුම්, පැළඳුම් , අසල්වැසි දරුවන් ඉගෙන ගන්න හැටි මේවා ගැනමයි ඔවුන් කතා බහ කළේ.

මේ අයගේ නිවෙස අසලම ඉඩමක් මිලදී ගත් අය අලුතෙන් නිවෙසක් ඉදිකරන්නට පටන් අරගෙන. නිමල්ගෙ අම්මට හරිම ගැටලුවක්. අල්ලපු ගෙදර අයටත් මේ ගැන කියනවා.

බලන්නකෝ අර ඉඩමේ හදන්නට යන්නෙ තට්ටු තුනේ ගෙයක්ලු. ඔය තරම් විශාල ගෙවල් මොනවට ද?. මම හිතුවේ මේ පළාතෙ තියෙන විශාලම ගෙදර අපේ කියලයි. දැන් ඉතින් ඒ අයගේ ආඩම්බරකම් බලන්න තමයි අපට වෙන්නේ. ඇය ඊර්ෂ්‍යා සහගත සිතින් කියවනවා.

මේ ප්‍රකාශ දෙස බලන්න. තමන්ගේ නිවෙසට වඩා විශාල ගෙයක් අහල පහළ අය හදනවට සමහරු අකැමැතියි. ගෙයක් පමණක් නොවෙයි. ළඟපාත කෙනෙක් තමන්ගේ වාහනයට වඩා වටිනා වාහනයක් ගන්නවා නම් එයටත් අකැමැතියි. වටිනා ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා නම්, එයත් ප්‍රශ්නයක්. අසල්වැසි නිවෙසේ ළමයා තමන්ගේ දරුවා යන පාසලට වඩා උසස් පාසලකට යනවා නම් තරහ සිත් ඇතිකර ගන්නවා. හොඳින් ඉගෙන ගන්නවා නම් වපර ඇහින් බලනවා. මොනවා හෝ ඇදක් පලුද්දක් හොයනවා.

මේ අයුරින් අනුන් දෙස බලා ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, දොස් කීම, අඩුපාඩු පෙන්වීම යහපත් දෙයක් ද? එහි ප්‍රතිඵලය කුමක් වේ ද? මෙවැනි පුද්ගලයින් කායික හා මානසික රෝගීන් වනු ඇත. මානසික වේදනාවට අසහනයට පත්වනු ඇත. තමන්ගේ විවේචනයට, ඊර්ෂ්‍යාවට ලක් වන පුද්ගලයාට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවනු ඇත.

ඔහු තම කාර්යයන් හොඳින් කරගෙන යයි. කොපමණ ඊර්ෂ්‍යා කළත් අසල්වැසි නිවෙසේ ළමයා ඉගෙන ගනියි. එම හැකියාව අඩුවන්නේ නැත. වැරැදි චින්තනයේ ප්‍රතිඵලය භුක්ති විඳින්නට සිදු වන්නේ ඊර්ෂ්‍යා කළ පුද්ගලයාට ම ය.

වර්තමාන සමාජයේ අපගේ බොහෝ කාර්යයන් මහා තරගකාරි ස්වභාවයක් ගෙන ඇත. හරියට යුද්ධයක් වගෙයි. බොහෝ දෙනා උත්සාහ ගන්නේ අනිත් අයට වඩා ඉහළින් සිටීමට යි. මේ තරගය තුළ වර්ධනය වන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වෛරය පළිගැනීම බව ඉතා පැහැදිලියි. තරගයක් නැතිව අපට අවශ්‍ය දෑ ඉටුකර ගත නොහැකි ද? සිතා බලන්න. අනෙක් අයගේ නිවෙස්වලට වඩා පෙනුම ඇති ගෙයක් හදනවාට වඩා අප කළ යුතු වන්නේ පවුලට ප්‍රමාණවත් පහසුකම් ඇති කරදරයක් නැතිව ජීවත් විය හැකි, පහසුවෙන් නඩත්තු කළ හැකි නිවෙසක් සාදා ගැනීමයි. එය ලස්සන නිර්මාණයක් වීම වරදක් නොවේ. අනෙක් අය පරදවන්නට රටට ණය වී ගෙයක් සෑදීම නිසා පසුවට මොනතරම් ප්‍රශ්න, කරදර ගොඩකට මැදිවෙන්නට වනවා දැයි සිතා බලන්න. මේ තරගය නැති කරන්නේ අපගේ සැනසීමයි.

ජීවිතයේ මූලිකම පරමාර්ථය විය යුත්තේ සතුටින් ජීවත්වීමයි. ඒ සතුට තුළ සාධාරණය, අවංක බව තිබිය යුතු ය. සමහර අය සතුටින් සිටින බව පෙන්නුම් කළත් හදවතින් හඬා වැළපෙයි. අනුන්ට වඩා ඉහළින් ඉන්නට උත්සාහ කළත් ඒ පසුපස ඇත්තේ මහා ණය බරකි.

ප්‍රමාණවත් ආදායමක් නොමැති ව ගත් ණය ගෙවීමේ දී අප මොනතරම් ප්‍රශ්නවලට මුහුණ දිය යුතු ද? එදිනෙදා අත්‍යවශ්‍ය දෑ සපුරා ගැනීමට නොහැකිව මොනතරම් පීඩනයකට පත් වෙනවා ද? වාහනයක් අවශ්‍ය වන්නට පුළුවන. එය තම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වනු මිස ප්‍රදර්ශන භාණ්ඩයක් නොවිය යුතු ය.

අප මේ යන්නේ අතෘප්තිකර ගමනකි. බලාපොරොත්තු ඉටු කර ගැනීමෙන් සතුටක් ලැබීම අරමුණයි. එය ඉටු වුව ද ටික දවසකින් ඒ සතුට පලා යයි. අනුන් පරයා යන තරගය තුළින් කිසිදාක බලාපොරොත්තු වන සතුට නොලැබෙයි. එය හරියට ජලය සොයා ගෙන මිරිඟුව පසුපස යන මුවාට සිදු වන ඉරණම හා සමාන ය.

අද ලෝකය කටයුතු කරන්නේ අනුසෝතගාමී ක්‍රමයටයි. ගඟ ගලා බසින්නේ පහළට. එය උඩු අතට ගලා යන්නේ නැහැ. අප සිතන්නේත්, ලෝකයා කටයුතු කරන්නේත් ස්වභාවිකව පහළට ගලා යන වතුර මෙනි. මෙය සිතේ සාමාන්‍ය ස්වභාවයයි. ලස්සන රූපයක් දුටුවොත් ඒ දෙස නැවත බලන්නට අප බොහෝ කැමැතියි. මිහිරි හඬට කැමැතියි. ආකර්ෂණීය සුවඳට කැමැතියි. ශරීරයට සුව දෙන වින්දනයට කැමැතියි. ඒවාගේම එකිනෙකාගේ ඕපාදූප අහන්නට කැමැතියි.

මේ සෑම දෙයකින් ම අප යම් තෘප්තියක්, සතුටක් ලබනවා. එය අනුසෝතගාමී ක්‍රමයයි. පටිසෝතගාමී යනු මේ සතුට ලබන ක්‍රමයට විරුද්ධව ක්‍රියාත්මක වීමයි. අනුසෝතගාමී ක්‍රමයෙන් ආශාව, රාගය, තරහ, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වර්ධනය වෙනවා. අනුසෝතගාමී ක්‍රමයෙන් නිදහස් වන්නට උත්සාහ කරන්න. සතුරාට වුව ද කරුණාව, දක්වන්න. අන්‍යයන් තමන්ට වෛර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ මෙහි විපාකය පිළිබඳ ඔවුන් තුළ ඇති අනවබෝධය නිසා ය. එනම් අවිද්‍යාව නිසා ය. නින්දා අපහාස ගැන සිත සිතා ඔවුන් විවේචනය කරන්නට සූදානම් වන්න එපා. ඒ තුළින් සිත තුළ ද වෛරය වැඩෙනු ඇත. එය දුක්ඛදායක බව,වේදනාත්මක බව තේරුම් ගන්න.

වෛර කරන්නා රෝගියකු ලෙස සිතන්න. රෝගියකු සුවපත් කිරීමේ අදහසින් ඔහු දෙස බලන්න පුරුදුවන්න. කාරුණික සිතින් සුවතාවකට මඟ පෙන්විය හැකි නම් තමන් ගුණවන්තයෙකි.

තමන්ගේත් අනුන්ගේත් සතුට, සොම්නස සුරැකීම සමාජයට සැනසිල්ලකි. ජීවිතයේ සතුටට හා දුකට මුල් වන්නේ සිතයි. හිමිදිරි උදයේත්,රාත්‍රි නින්දට යන්නට පෙරත් තමන්ගේ සිත දෙස බලන්නට මොහොතක් වෙන් කර ගන්න.

ගෙවුණු දිනයේ නරක සිතිවිලි, වෛරී අදහස් මතුවූ අවස්ථා විමසන්න. පාලනයකින් තොරව වචනයෙන්, හැසිරීමෙන් ඒවා ක්‍රියාවට නැඟුණු සැටි දකින්නට උත්සාහ ගන්න.

ඉන් ඇතිවූ අවැඩදායක ප්‍රතිඵල ගැන සිතන්න. උදාවූ දවස, හෙට දවස මෙබඳු දුක්ඛදායක සිතිවිලිවලින් ඉවත් ව කටයුතු කරන්නට අධිෂ්ඨාන කර ගන්න.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]