[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

යුරෝපයේ විශාල බර්මින්හැම් බෞද්ධ විහාරස්ථානයේ නිර්මාතෘන් වහන්සේ

යුරෝපයේ විශාල බර්මින්හැම් බෞද්ධ විහාරස්ථානයේ නිර්මාතෘන් වහන්සේ

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර වැඩම කරනු ලබන්නේ එක්සත් රාජධානියේ බර්මින්හැමි බෞද්ධ මහාවිහාරය, ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරය, ස්ටොක් ඔන් ට්‍රෙන්ටි බෞද්ධ විහාරය යන විහාරත්‍රයාධිපති ජාත්‍යන්තර සහන පදනමේ සභාපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක ආචාර්ය විතාරන්දෙණියේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ

විදේශ ධර්මදූත සේවය සඳහා සිය ජීවිතය කැප කළ ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේ අතර, සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර මෙන්ම අන්තර්ජාතික කීර්තියට ද පත්ව සිටින එක්සත් රාජධානියේ බර්මින්හැමි බෞද්ධ මහාවිහාරය, ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරය, ස්ටොක් ඔන් ට්‍රෙන්ටි බෞද්ධ විහාරය යන විහාරත්‍රයාධිපති ජාත්‍යන්තර සහන පදනමේ සභාපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක ආචාර්ය විතාරන්දෙණියේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිර්මල ථෙරවාදී බුදුදහම ලොව පුරා ප්‍රචළිත කිරීමට සුවිශේෂී ශාසනික කාර්ය භාරයක නියැළී සිටින මහතෙරුන් වහන්සේ නමක් වශයෙන් හැඳින්විය හැකි ය.

යො හොති විසාරදොච - බහුස්සතො ධම්මධරොච හොති

ධම්මස්ස හොති අනුධම්මචාරී - ස තාදිසො වුච්චති සංඝ සොහනො

යමෙක් ව්‍යක්ත ද, විශාර ද, බහුශ්‍රැත ද ධර්මධර ද, ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වේ ද හෙතෙම සංඝ ශාසනය බබුළුවන්නෙක් වේ. යන බුදු වදන වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම පූජ්‍ය විතාරන්දෙණියේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවන චරිතය හා ගැළපේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. උන්වහන්සේ අතිශය දුර්ලභ ගති ලක්ෂණ රැසකින් සමන්විත සංඝ පීතෘන් වහන්සේ නමකි. නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කරමින් සුපේශල ශික්ෂාකාමී අර්ථචර්යාවෙහි පිළිපන් ධර්මවිනධර ශ්‍රද්ධා සම්පන්න චිරරාත්‍රඥ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් භික්ෂුත්වය ශෝභමාන කරන ගුණාංග රාශියකින් උන්වහන්සේගේ චරිතය සමන්විත වෙයි.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ විතාරන්දෙණිය නම් සොඳුරු ගම්පියසෙහි ජන්ම ලාභය ලබා සංසාරයේ පුරණ ලද පාරමිතා බලයත්, සැදැහැති මව්පියන්ගෙන් ලද ශාසනික උරුමයත් මත 1968 වර්ෂයේ මාර්තු 01 වැනි දින විතාරන්දෙණියේ කස්සප යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පුණ්‍යවන්ත පැවිදි දිවියට පත්වීමට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. පූජ්‍යපාද දෙවුන්දර වාචිස්සර නායක හිමිපාණන් වහන්සේ හා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ යන ප්‍රතිබලසම්පන්න ව්‍යක්ත විශාරද යතිවරු උන්වහන්සේගේ ආචාර්යවරුන් බවට පත්විය.

උතුම් පැවිදි බිමට පත්වීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම පිරිවෙනේ වැඩ සිටි සාර්වභෞම වියත් ඇදුරු මඬුල්ලක් හමුවේ ධර්ම ශාස්ත්‍රිය ශික්ෂණය ලබා කැලණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය දිනාගත් කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශික්ෂාකාමී සඟ පරපුරක් සම්බුද්ධ ශාසනයට දායාද කිරීමේ උදාර අරමුණ පෙරදැරිව 1981 වර්ෂයේ දී ගංගාරාම පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් ගුරුසේවය ආරම්භ කළහ. එම කාල පරිච්ඡේදයේදී ම උන්වහන්සේ වෙත ලැබුණු ආරාධනාවකට අනුව 1983 වර්ෂයේ දී අපි‍්‍රකාවේ ටැන්සානියාවේ විහාරස්ථානයකට වැඩම කිරීමට ද සිදුවිය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කැප වී සිටින ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමිපාණන් වහන්සේ අපි‍්‍රකාවට වැඩම කිරීමත් සමඟ විදේශ ධර්ම දූත සේවයෙහි නියැළුණ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් වර්තමානය දක්වාම භික්ෂුවට උරුම වූ කටයුත්තක් ලෙස නිර්මල ථෙරවාදී බුදුදහම ලොව පුරා ප්‍රචළිත කිරීමේ චිරාගත සම්ප්‍රදාය අනුගමනය කරමින් වැඩ සිටිති. එවකට ටැන්සානියා ජනාධිපති ජුලියස් නියරේරේගේ පුතණුවන් වූ ඇන්ඩෲ නියරේරේ බුදු දහම හැදෑරීමට පි‍්‍රයකළ බැවින් ඇන්ඩෲ නියරේ ශ්‍රී ලංකාවට කැඳවාගෙනවිත් වසර 2ක් බුදුදහම ඉගැන්වීමට කටයුතු කළ උන්වහන්සේ අනතුරුව නැවතත් එංගලන්තය බලා වැඩම කරමින් ජාත්‍යන්තර ධර්මදූත කටයුතු සේම සමාජසේවා කටයුතු ද ආරම්භ කළහ. එකම විහාරස්ථානයක් පමණක් පැවැති එංගලන්තය තුළ සෑම නගරයකටම වැඩම කරමින් එංගලන්තය පුරාම බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට සංවිධානාත්මක වැඩ පිළිවෙළක් උන්වහන්සේ විසින් දියත් කර ඇත.

ලෙස්ටර් නගරයේ ධර්මාශෝක බෞද්ධ විහාරයත්, ස්ටොක් ඔන් ට්‍රෙන්ටි බෞද්ධ විහාරයත් ආරම්භ කළ විතාරන්දෙණියේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ International buddhist relief organization සංවිධානය ද ආරම්භ කළහ. එම IBRO ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ද විශේෂ පිළිගැනීමට භාජනය වී ඇත. ශ්‍රී ලංකාවට අමතරව රටවල් රැසක ශාඛාවන් පිහිටුවා ඇති අතර එම සංවිධානය තුළින් ලොව වටා බෞද්ධ ආගම සහ සංස්කෘතිය ප්‍රචළිත කිරීමට කටයුතු කර ඇත. තවද 1992 වර්ෂයේ දී බර්මින්හැමි මහා විහාරය නමින් විහාරස්ථානයක් midland international buddhist association යටතේ ආරම්භ කර ඇත. තවද ආගමික කටයුත්තක් සඳහා ස්වාමීන් වහන්සේ නමක් සොයා ගැනීමට නොහැකිව පැවැති ඉතාලියේ මිලාන් නගරය තුළ ශ්‍රී ලංකාරාමය නමින් විහාරස්ථානයක් ආරම්භ කළ උන්වහන්සේ වර්තමානය වන විට සමස්ත ඉතාලිය පුරාම බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට කටයුතු කර ඇත. විතාරන්දෙණියේ කස්සප නාහිමිපාණන් වහන්සේ 1988 වර්ෂයේ දී සෝවියට් ඇන්ග්ලෝ මිත්‍ර සංගමය සයිබීරියාවේ දී ආරම්භ කර ඇති අතර midiands buddhist communit association නමින් බෞද්ධ හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සංගමයක් ද ආරම්භ කළහ.

තවද, ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහ බ්‍රිතාන්‍ය සංඝ සභාවේ උප සභාපති සහ ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානයේ සභාපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් 46 වැනි ජිනීවා සැසිවාරය අමතමින් මාතෘ භූමිය වෙනුවෙන් කළ හැකි තම යුතුකම මැනවින් ඉටු කළහ.

1986 වර්ෂයේ සිට ලෝකය වටා සිදුකෙරෙන සමාජ සත්කාරයන් ඇගයීමට ලක්කළ බ්‍රිතාන්‍ය හිටපු එළිසබෙත් මහරැජින විසින් ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2008 වර්ෂයේ දී OBE ගෞරව නාමයෙන් ද සම්භාවනාවට පාත්‍ර කළහ. එපමණක් නොව සියලුම රටවල අධ්‍යාත්මික සුබසාධනය වෙනුවෙන් සිදුකළ විදේශ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකාවේ රුහුණු විශ්ව විද්‍යාල Senate ශාඛාව සහ Supreme Sangha Souncil මඟින් 2003 වර්ෂයේ දී ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට ද කටයුතු කර ඇත. මේ වන විට එක්සත් රාජධානියේ බර්මින්හැම්හි ඉදිවෙමින් පවතින යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකේය බෞද්ධ විහාරස්ථානය වන බර්මින්හැමි බෞද්ධ විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන්නේ ද ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේම ය.

ලාභාපේක්ෂාවෙන් තොරව ආගමික, සමාජීය කටයුතුවලට දීර්ඝ සේවාවක් සිදුකෙරන, එමෙන්ම විදෙස් රටවලට වැඩම කරමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ප්‍රචාරණ කටයුතු සිදුකරන ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමිපාණන් වහන්සේට තුණුරුවන් සතු අනන්ත සූවිසි ගුණ බලයෙන් චිරාත් කාලයක් ශ්‍රී ලංකාවටත්, ලෝකවාසී සැමටත් ශාසනික සේවාවන් ඉටුකිරීමට ශක්තිය ධෛර්යය හා චිර ජීවනය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.

නවම් අමාවක

පෙබරවාරි 19 ඉරිදා අ.භා. 04.20 න් අමාවක ලබා 20 සඳුදා
අ.භා. 12.39 න් ගෙවේ.
19 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]