[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සතුට ධනයට සම නොවේ

සතුට ධනයට සම නොවේ

ආශාවන් සපුරා ගැනීමෙන් සතුටට පත්වීමට සිතනතාක්, පුද්ගලයකුට සතුට අත්පත් කර ගැනීම සිහිනයක් පමණි. සියල්ල අනිත්‍යය, තණ්හාවත් එසේ ම ය. තණ්හාවත් වරින් වර වෙනස් වේ. එකල්හි කෙසේ නම් පුද්ගලයකු ඔහු බලාපොරොත්තු වන සියලු දේ තමන් සතු කර ගන්න ද?

සදාචාරය, අවංක බව, විශ්වාසය යන ගුණාංග සමාජයේ වියැකී යන්නේ ද ආශාවන් පසුපසම හඹා යෑම නිසා ය. භෞතික බලවේගයන්ගේ බලපෑමට ගොදුරු වී ඇති මනුෂ්‍යයා සත්‍ය නොදැකීමට තරම් අන්ධ වී ඇත. යමෙක් ධනය උපයනුයේ ධාර්මිකව නම් එසේ ලබන ධනයෙන් ධනවත් වීම වරදක් නොවේ. අධාර්මිකව ලබන ධනය හේතුකොට නොයෙක් ප්‍රශ්න, කරදර, පීඩා ඇතිවනවා පමණක් ම නොව තමන් වරදක් සිදු කළා යන හැඟීම මත සිතේ කුකුසක් හටගනී.

අද, ධනය ඉපයීම කෙතරම් වැදගත් වී ඇද්දැයි කිවහොත්, මුදල් යනු තමන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එක් මාර්ගයක් පමණක් බව මිනිසාට අමතක වී ඇත. ධනය යනු කුමක්ද? එයින් ඇති ඵල ප්‍රයෝජනය මොනවාද? ආදිය පිළිබඳ නිසි අවබෝධයක් ලැබීමට ඔහු අසමත්ව ඇත.

මිනිසාගේ එකම අරමුණ වශයෙන් පවතින්නේ කෙසේ හෝ ධනය රැස් කිරීමයි. මේ නිසා ඔහු නියම සතුටක් ලබන්නේ නැත.

යමෙක් දුප්පත්ව සිටිය දී ලැබූ සතුටට වඩා වැඩි සතුටක් පොහොසතෙක් වූ කලදී වූව ද ලැබිය නොහැකි ය. ඒ ධනය නිසාම ඔහු අවුල් වියවුල් තත්ත්වයකට පත්ව සිටීම නිසයි. බලාපොරොත්තු බිඳ වැටීම නිසයි. ඔහු මහා ආගාධයකට ප්‍රපාතයකට ඇද වැටුණ ස්වභාවයට පත්වේ. බොහෝ ධනවත් අය දුකින් තැවෙන්නේ මේ අසීමාන්තික අවශ්‍යතා නිසයි. මුදලින් ආශාවන් සපුරා ගත හැකි වුවද කිසි විටෙකත් සැබෑ සතුට ලද නොහැකි ය.

මුදල් රැස් කිරීම මඟින් කිසියම් සතුටක් සුරක්ෂිත බවක් ලැබෙන බව ඇත්ත ය. එහෙත් මුදල් සෙවීම ජීවිතයේ එකම අරමුණ කොට ගත යුතු නැත. මුදල් රැස්කිරීමට යොමු වී ජීවිතය අර්ථවත්, ඵලවත් කර ගැනීම පිණිස කළ යුතු වෙනත් කටයුතු කිරීමට අමතක නොකළ යුතු ය. ජීවිතයක සාමය හා සුහදතාව පවත්වා ගැනීමට නම් ධනය පිළිබඳ වඩා නිවැරැදි හේතු යුක්ත ආකල්පයන් ඇති කර ගත යුතු ම ය.

සෑම අයෙක් ම සැප සොයා යෑම ස්වභාවික ය. එහෙත් අවාසනාවකට මෙන් බොහෝ දෙනා සතුට හා ධනය සමකොට සලකයි. නැණවතුනට නම් මෙය සදොස් සමීකරණයකි. අල්පේච්ඡතාව ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ ලක්ෂණයකි. සෑම ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ම ඉතා චාම් ජීවිත ගත කළ අයයි. ශක්තය, හීන කරන, කාමාශාවන් පිනවීමට බෙහෙවින් නැඹුරුවීම මේ පුද්ගලයන්ගේ ජීවිතයේ අංග නොවේ. මේ පුද්ගලයන් උදාර ලෙස සංවරයෙන් යුතුව ජීවිතය ගත කරන අයයි. මෙයින් පැහැදිලි වන්නේ අවශ්‍යතා අඩුවන තරමට සතුට වැඩිවන බව ය.

නිරන්තරයෙන් ම අසහනකාරී ස්වභාවයකින් යුක්ත සිතක් හුදෙක් භෞතික සැප සම්පත් ලබා දීමෙන් තෘප්තිමත් කළ හැකි නොවේ. ඒ නිසා ධනය හා සෞභාග්‍යය, සතුට භුක්ති විඳීමට ඇති එකම මඟ වශයෙන් සැළකිය යුතු නැත. අපේ දිනපතා අවශ්‍යතාවන් ඉතා පහසුවෙන් සපුරා ගත හැකි ඒවා ය. එහෙත් අපේ ආශාවන් නම් කිසිදාක මුළුමනින් තෘප්තිමත් කර ගත හැකි ඒවා නොවේ. තම ආශාවන් හැකිතාක් දුරට සීමා කර ගත් සරල ජීවිතය වඩා අර්ථවත් ය.

ධනය මනා වූ සිහිනුවණින් පරිහරණය කළ යුතු ය. එය ඔබේ මෙන් ම අන් අයගේ ද යහපත සඳහා ද වැය කළ යුතුයි. කිසිවෙක් තම රට,ජාතිය,ආගම වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු නොකර කෑදරකමින් ධනය පොදි ගසමින් සිටීමෙන් ඔහුගේ ජීවිතය හිස් බොල් ස්වභාවයකට පත් වේ.

තම වස්තුව නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔහුට හෝ ඇයට වැටහෙන්නේ මරණාසන්න මොහොතේ දී යි. එහෙත් ඒ වන විට පමා වූවා වැඩි ය. මහත් වෙහෙස විඳ රැස් කරන ලද වස්තුවෙන් ඔහුට හෝ වෙනත් අයට ප්‍රයෝජනයක් වී නැති බව ඉතා පැහැදිලි ය.

වස්තුව නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන තමන්ගේ මෙන් ම අන් අයගේ ජීවන තත්ත්වය නංවාලීමට සියලු දෙනාට සතුට ගෙන දීමට කටයුතු නොකොට තණ්හාවෙන් එය පොදි ගසාගෙන සිටීමේ දුර්විපාක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව විස්තර කර ඇත. ඔබ මියගිය දිනක ඔබගේ වස්තුව, ධනය ඉතිරි වනු ඇත. ඒ වගේ ම ඔබගේ නෑ හිතවතුන් ඔබගේ මළ සිරුර සමඟ ඔබ මිහිදන් කරන සොහොන් බිමට පැමිණෙනවා ඇත. එහෙත්, ඉන් එහාට ඔබ සමඟ යන්නේ කවුද? ඔබ ජීවත්ව සිටි කාලය තුළ කරන ලද හොඳ නරක පමණයි.

කුසල කර්ම හෝ අකුසල කර්ම කිරීමේ නිසැක ශක්තියක් මනුෂ්‍යයා සතුව පවතී. ඒ වගේ ම තමන් කරන ඕනෑම අධම, අකුසල ක්‍රියාවක් සාධාරණ බව පෙන්වා තමන්ගේ වාසියට හරවා ගැනීමට සටකපට පුද්ගලයාට හැකියාව ඇත.

තමන් විසින් වරදක්, අකුසලයක් කරන ලද කල, එය එසේ යැයි පිළිගැනීම වඩා හොඳම ක්‍රමයයි.

සෙසු අයට ඉමහත් දුක් පීඩා සිදුකළ “හිට්ලර්” කියා සිටියේ එසේ සිදු කළේ උදාර චේතනාවන්ගෙන් යුතුව බවයි. එහෙත් නියම වශයෙන් සිතට එකඟව සතුට භුක්ති විඳීමට නම් ඔබ කළ යුතු වන්නේ ඔබේ සෑම ක්‍රියාවක්ම පරික්ෂා කොට බලා, ඒවා සිදුකොට ඇත්තේ ආත්මාර්ථකාමී අරමුණ ඇතිව ද, නැතිව ද, සියලු සත්වයින්ගේ යහපත, සුබසෙත උදෙසා ද? නැද්ද? යන්න ආවර්ජනය කිරීමයි.

මේ නිසා අපි අපේ තත්ත්වය ගැන අලුත් තක්සේරුවක් කොට අපගේ මත ගැන නැවත සලකා බැලීමට කාලය පැමිණ ඇති බව සිතට ගත යුතු යි.

දුරුතු අව අටවක පෝය

 ජනවාරි 14 සෙනසුරාදා අ.භා. 07.19 න් අව අටවක ලබා 15 ඉරිදා අ.භා. 07.41 න් ගෙවේ.
15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]