[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක 2023-01-15

ළඟම සිටින සතුරා

සිතිවිල්ලෙන් පවා තමන්ගේ විරුද්ධවාදියාට ගැරහීම, විපත්, කරදර ගෙනදීම සතුරාගේ හැටි ය. සතුරන් කී පමණින් ඕනෑම කෙනෙක් තුළ තිගැස්මක් ඇතිවීම පුදුමයට කරුණක් නොවන්නේ එහෙයිනි. සතුරු වෙසින්ම එන සතුරාට වඩා මිතුරු වෙසින් එන සතුරා වඩාත් භයානක ය. ඒ හොඳ මුහුණ පෙන්වමින් උගුල් ඇටවීම නිසා ය. මේ දෙදෙනා ම බාහිර සතුරන් ය. ඊටත් වඩා භයානක සතුරෙක් තමන් තුළ ම සිටින බව දන්නෝ සීමිත ය. ඒ නොදැනීම තුළ ම විනාශයට යන්නෝ අසීමිත ය.

මෙහි තවත් බරපතළ විනාශකාරී පැතිකඩක් වේ. එනම්, බාහිර සතුරන්ගේ කරදර, විනාශකාරී බව බොහෝ දුරට මේ ජීවිතයට පමණ ය. එහෙත් තමන් තුළ සිටින සතුරා මේ ජීවිතයත්, මරණින් මතු ජීවිතයත් යන දෙකම විපතෙහි හෙළන්නේ ය. එහෙයින් මේ සතුරා හඳුනා ගැනීමටත්, ඒ හා සමඟම යටපත් කිරීමටත් දෙලොව යහපත බලාපොරොත්තු වන අය විසින් වග බලා ගත යුතු ම ය.

මේ සතුරා නම් පාපකාරී සිතිවිලි ය. ලෝබ, ද්වේෂ, මෝහාදී අකුසල සිතිවිලිවලින් මෙහෙයවන ක්‍රියාකාරකම් පසුපස එන්නේ ම දුක් විපාක ය. එහෙයින් සිත ගැන අවධානයෙන් සිටිමින් මේ සතුරන් හඳුනාගෙන, වහාම පළවා හරින්නට මිතුරු සිතිවිලි උපදවා ගන්නට උත්සාහ කළ යුතු ය.

තුනුරුවන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ඇති කරගන්නා ශ්‍රද්ධාව , නිරතුරුවම ඒ ගුණ සිහිකිරීම, ධර්මානුකූල ජීවන ප්‍රතිපදාවට ම හුරුවීම තමන් තුළ සැඟවී සිටින, තමන්ට නොපෙනෙන, බොහෝවිට නොදැනෙන සතුරා එළවා දැමීමේ මඟයි.

බොහෝ දෙනෙක් පාපකාරී ක්‍රියාවන්හි නිරත වන්නේ එහි දුක් විපාක ගැන තැකීමක් නොකරමිනි.

මේ ජීවිතයේ තමන්ට මුහුණ දෙන්නට සිදුවන අභාග්‍ය සම්පන්න, දුක්ඛිත අවස්ථා මොන තරම් තිබෙනවා ද? නොසිතූ විපත්, කරදර මොන තරම් එළඹෙනවා ද? ඇතැම්විට කුසට අහරක්, ඉන්න හිටින්නට තැනක්, ඇඳිවතක් පමණවත් සොයා ගන්නට නොහැකි දුෂ්කර අවස්ථා කොපමණ ද? ඒ, අප පෙර කළ කම් පල නොවේ යැයි කිව නොහැකි ය.

මේ මනුෂ්‍ය ජීවිතයෙන් එහාට ගිහින් තිරිසන් ලෝකයට අවධානය යොමු කරමු. නිරන්තරයෙන් අපේ ඇස ගැටෙන කුසට අහරක් නැතිව, පිපාසයට වතුර ටිකක් නැතිව අගුපිල්වල, මහ මඟ වැටී නිදන සුනඛයන්, බළලුන් මොන තරම්ද? බඩසයින් පෙළෙමින් ගෙයක් ගෙයක් ගානේ ඇවිද ගියත්, අනන්ත අප්‍රමාණ ගල් මුල් පහර හැර මේ අසරණයන්ට ආහාර ටිකක් දෙන්නේ කීයෙන් කී දෙනාද?

තිරිසන් ලෝකයේ වන මෙවන් දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදී අපට ලැබී තිබෙන්නේ ලස්සන මනුස්ස ජීවිතයකි. යමක් කියන්නට, කරන්නට පෙර හොඳින් සිතා බලන්නට අපූර්ව ශක්තියක් අපට තිබේ. ජීවිත විනාශ වන්නේ ඒ ශක්තියෙන් ප්‍රයෝජන නොගන්නා බැවිනි.

බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සමයෙහි රජගහනුවර සුප්පබුද්ධකුට්ඨි නම් උපාසකයෙක් විය. ඔහු කුල පෙළපතින් උසස් ය. ධනයෙන් පොහොසත් ය. එහෙත් සැරව වැගිරෙන, සිරුර පුරා පැතිරුණු දද රෝගයක් නිසා කිසිවෙක් ඔහු සමීපයටවත් නො එන්නේ ය. සියල්ලෝ පිළිකුල් කරති. මේ දුක්ඛිත බව පෙර අකුසලයක් නිසා ය. පෙර ආත්මයක නගරසිඛී නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක කාරා කෙළපිඩක් ගැසීම නිසා ය. ඒ පවින් නිරයේ බොහෝ කල් දුක් විඳ මේ අත් බැව්හි ද මිනිසෙක්ව මහා දුකක් වින්දේ ය. ඔහු අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනුවණයාගේ කුරිරු පල ඇති පව්කම් කොට තමාට සතුරකු වැනි වූ අත් බවින් යුතුව හැසිරෙන බව ය.

ජීවිතය විඳින්නට වන්නේත් විඳවන්නට වන්නේත් තමන් කළ කම් අනුව ය. විඳවනවාද ? විඳිනවා ද? යන්න තමන් ම තෝරා ගත යුතු ය.

දුරුතු අව අටවක පෝය

 ජනවාරි 14 සෙනසුරාදා අ.භා. 07.19 න් අව අටවක ලබා 15 ඉරිදා අ.භා. 07.41 න් ගෙවේ.
15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]