[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනය ආරම්භ කළා

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනය ආරම්භ කළා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ප්‍රංශයේ ජේතවනාරාම විහාරවාසී මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුලනේ ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ වශයෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය සාර්ථකවීමට මූලික පසුබිම සකස්වුණ ආකාරය පැහැදිලි කරන්න හාමුදුරුවනේ

දකුණු පළාතේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ තිබෙන මුලනේ නමින් හඳුන්වන බොහොම රමණීය ගැමි පරිසරයක තමයි මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ. ඒ වගේම තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කළ ශ්‍රද්ධා බුද්ධිසම්පන්න ආදර්ශවත් මව්පිය දෙපළගේ පුත්‍ර රත්නයක් වශයෙන් 1984 වර්ෂයේ ජූලි 06 වැනි දා උප්පත්තිය ලැබුවා. ඒ පුණ්‍යවන්ත මව්පිය දෙපළගේ ආභාසය කුඩා අවධියේ සිටම මාගේ ජීවිතයට ආලෝකයක් වුණා. මුලනේ අග්‍රාරාම ලොකු හාමුදුරුවන් වහන්සේගේත්, මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක හාමුදුරුවන් වහන්සේගේත් තිබුණ ඥාති සම්බන්ධතාවමත උතුම් පැවිදි බිමට පත්වීමේ භාග්‍ය උදාවුණා.

ඒ අනුව ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ප්‍රංශයේ ජේතවනාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේත්, තේනාගම සිවංකර නායක හිමිපාණන් වහන්සේගේත් ශිෂ්‍යයකු වශයෙන් 1997 වර්ෂයේ ඔක්තෝබර් 29 වැනි දා මුලනේ ගුණානන්ද යන ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව ලබන්නට පුණ්‍යවන්ත වුණා. විතාරන්දෙණිය ඇත්ගාල්මුල්ල අශ්වත්ථාරාම පුරාණ විහාරයේ දී පැවිදි පුණ්‍යෙීත්සවය සිදුවුණ බවත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

බෝධිසත්ව ගුණෝපේත ආචාර්ය පාදෝත්තමයාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මුල්කිරිගල රාජමහා විහාර පිරිවෙන, හොරණ වරකාගොඩ ගල්ලෙන විහාර පිරිවෙන යන පිරිවෙන් තුළින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා ගෙන කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබා ගැනීමට කටයුතු කළා. වසරක පමණ කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදුකළත්, පාලි භාෂාව හා බෞද්ධ දර්ශනය හැදෑරීමට කැලණිය විශ්ව විද්‍යාලයට මාරුවීමක් ලබා ගැනීමට සිදුවුණා. එහිදී දෙවන පෙළ පන්ති සමාර්ථයක් සහිතව පාලි විශේෂවේදී උපාධිය ලබාගෙන 2013 වසරේ සිට ආචාර්යවරයකු වශයෙන් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් ගුරු සේවය ආරම්භ කළා.

ජාත්‍යන්තර ධර්මදූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් නිර්මල ථෙරවාදී බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමට පෙළඹුණ ආකාරය සිහිපත් කරන්න අපේ හාමුදුරුවනේ.

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ව වැඩසිටි අපවත්වී වදාළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන්ගේත්, තායිවානයේ ප්‍රධාන සංඝනායක කැලණිය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේත් ආශිර්වාදයෙන් උසස් අධ්‍යාපනය සඳහා තායිවානයේ  yuan kuang  බෞද්ධ විශ්ව විද්‍යාලයට වැඩම කළා. අධ්‍යයන කටයුතු අවසන් වීමත් සමඟ මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක හාමුදුරුවන්ගේ ආරාධනාවකට අනුව ප්‍රංශයේ ජේතවනාරාම විහාරයට වැඩම කිරීමට සිදුවුණා. එහිදී චීන, කාම්බෝජ, ලාඕස, වියට්නාම, ප්‍රංශ ආදි බෞද්ධ ජනතාවගේ ආගමික කටයුතු ඉටුකර දීමට කටයුතු කළා. ඔවුන් බොහෝවිට බුද්ධ වන්දනාව වගේම භාවනා කටයුතුවල නිරතවෙන බෞද්ධයන්.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ජාතික,ආගමික, ශාසනික, සමාජයීය සේවාවන් කෙටියෙන් සඳහන් කරමින් සාකච්ඡාව අවසන් කරමු හාමුදුරුවනේ

ශාස්ත්‍රීය සේවය වශයෙන් පුවත්පත්, සඟරා සඳහා ලිපි සම්පාදනය කිරීමටත්, අට්ඨකථාවලින් නිරූපිත ලක්දිව භික්ෂු චර්යාව, අට්ඨකථාවෙන් භික්ෂු රස කතා ආදී ග්‍රන්ථ රචනා කිරීමටත් කටයුතු කළා.

ධර්මදූත ස්වාමින් වහන්සේ නමක් වශයෙන් ලෝක බෞද්ධ ජනතාවගේ ආගමික කටයුතු ඉටුකරදෙමින් නිර්මල ථෙරවාදී බුදුදහම ලොවපුරා ප්‍රචළිත කිරීමට කටයුතු කරගෙන යනවා. ඒවගේම මාගේ ගුරු දේවෝත්තම ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ජේතවනාරාමාධිපති අපවත් වී වදාළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ සිදුකළ සුවිශාල ජාතික, ආගමික, සමාජියීය මෙහෙවර අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේට ගෞරවයක් වන ආකාරයට විතාරන්දෙණියේ මුලනේ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනය ආරම්භ කළා. අධ්‍යාපන ආයතනය විවෘත කළ දිනයේදීත් වෛද්‍ය සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දුන්නා. මෙත්තා ළදරු පාසල, මෙත්තා උසස් පාසල,මෙත්තා පරිගණක විද්‍යාගාරය, මෙත්තා පුස්තකාලය, මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ වෛද්‍ය ශිෂ්‍යත්ව වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යනවා. සියලුම අධ්‍යාපන පහසුකම් නොමිලේ ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. අඩු ආදායම් ලාභී පවුල්වලට අයත් වෛද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන් රු.3000/- මුදලක් අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක්ම ලබා දීමට කටයුතු කරනවා. මම විද්‍යෝදය පිරිවෙන් අධ්‍යාපනය ලබන අවධියේ ආරම්භ කළ මෙත්තා පදනම හරහා එවකටත් දුෂ්කර පළාත්වල දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. එම මෙත්තා පදනමත් මෙම අධ්‍යාපන ආයතනයට ම සම්බන්ධ කරගෙන මෙත්තා පෙර පාසල ආරම්භ කළා. පෙර පාසල් දරුවන් සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, පාසල් උපකරණ ඇතුළු සියලුම අවශ්‍යතා නොමිලේ ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අධ්‍යාපනය ආයතනය මූලික කරගෙන ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු සිදු කරනවා. එම සියලු සත්කාරයන් සඳහා චීන, ලාඕස, කාම්භෝජ, වියට්නාම්, ප්‍රංශ ජාතිකයන් විසින් උපකාර කරනු ලබනවා.

දුරුතු අව අටවක පෝය

 ජනවාරි 14 සෙනසුරාදා අ.භා. 07.19 න් අව අටවක ලබා 15 ඉරිදා අ.භා. 07.41 න් ගෙවේ.
15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]