[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර දුක දිනූ සුරූපී අම්බපාලි

සසර දුක දිනූ සුරූපී අම්බපාලි

අම්බපාලි තෙරණිය වශයෙන් ප්‍රසිද්ධ වූ මෙම තෙරණින් වහන්සේ ඵුස්ස බුදුන්වහන්සේගේ කාලයේ උන්වහන්සේගේ සහෝදරිය ව ඉපිද සිටියා ය. ඇය උන්වහන්සේගෙන් බණ අසා පැහැදී මහ දන් පවත්වා මතු භවයේ ඉතා රූමත් ව උපදිම්වා'යි ප්‍රාර්ථනා කළා ය.

පසුව සිඛී බුදුහිමියන්ගේ කාලයේ අරුණ නම් නගරයේ බමුණු කුල කාන්තාවකව උපන්නා ය. පසුව එම සසුනේ පැවිදි වූවා ය. දිනක් භික්ෂුණීන් සමඟ චෛත්‍යය වැඳ පැදකුණු කරමින් සිටියා ය. මෙසේ පැදකුණු කරමින් සිටින විට ඉදිරියෙන් වඩින රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඩක් සෑ මළුවේ වැටිණි. රහත් තෙරණින් වහන්සේ එය නොදැක්කා ය. පසු පසින් ගිය අම්බපාලි තෙරණිය එම කෙළ පිඩ දැක කිපී

“මෙතැන කෙළ ගැසුවේ මොන ගණිකාවදැයි” බැන වැදුණා ය.

රහත් මෙහෙණින් වහන්සේ නමකට බැණ වැදීම නිසා නිරයෙහි ම දුක් විඳි අතර මිනිස් ලොවේ භව දසදහසක් ම ගණිකාවක වූවා ය. අනතුරුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේ බඹසරව හිඳ එම පිනෙන් දෙව් ලොව ඉපදුණා ය. පෙර භවයක දී ඕපපාතිකව ඉපදීමට ප්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භවයෙහි එනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයේ අඹ ගසක් මුල ඕපපාතික ව උපන්නා ය.

අම්බපාලිය නම් වූ සුරූපිකාවගේ අත පතා ආ රජවරු, ඇමතිවරු, සිටුවරු ආදී ප්‍රභූවරුන් ඇය ලබා ගැනීමට යුද කිරීමට සූදානම් වූ හෙයින් විනිසුරුවරු ඇය නගර සෝභිනී තනතුරේ පිහිටුවා සටන විසඳූහ. මෙම පුවත පරමත්ථ දීපනී නම් ථේරී ගාථා අටුවාවේ විස්තර වන්නේ චමත්කාරජනක ලෙස ය.

ලෞකික ජීවිතයේ අප්‍රමාණ සැප සම්පත් විඳි රූපශ්‍රීයෙන් අගතැන්පත් අම්බපාලිය බඹයක් පමණ වූ මේ සිරුර තුළින් ම යථාභූත ඤාණය ලද අයුරු වර්ණනා කරන්නේ බෞද්ධ කුල කාන්තාවනට පමණක් නොව සියලු බෞද්ධ උවැසි උවැසියන්හට ද, භික්ෂු භික්ෂුණීන් හට ද ගැඹුරු බණක් දෙසන සේ ය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ මෙහෙණියක ලෙස පැවිදි බව ලැබූ ඇය අනිත්‍ය මෙනෙහි කරමින් පවසන ගාථා දාර්ශනික අදහස්වලින් හෙබි උත්තම ගණයේ භාව ගීත සමූහයකි. මෙම ථේරී ගාථා පෙළේ හැම ගාථාවක ම අවසානයට ඇති පදය වන “සච්චවාදී වචනං අනඤ්ඤතා” යන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය දේශනා කර වදාළ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විවරණය කළ අනිත්‍යතා දර්ශනය කිසිදාක වෙනස් නොවන සනාතන දහමක් බව අවධාරණයෙන් කියා සිටී.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා දෘශ්‍යමාන වන සිත්කළු අංග ලක්ෂණවලින් හෙබි රූ සපුව යොවුන් වියේ දී පහන් සිතින් දුටු සැටිත්, ජරා ජීර්ණව වයස්ගතව තෙරණියකගේ ඇසින් උපේක්ෂා සහගතව දකින අයුරුත් අම්බපාලි ථේරී ගාථාවලින් පිළිබිඹු වේ.

කාළකා භවම්රවණ්ණ සදිසා
වෙල්ලිතග්ගා මම මුද්ධජා අහු
තේ ජරාය සාණාවාකසදිසා
සච්චවාදී වචනං අනඤ්ඤථා

පෙරදා තුරුණු වියේ දී ඉමහත් අබිමනින් සිය ළැම පෙදෙසින් නැඟි විකසිත වත කමල දෙස බලා සිටි විට සුමට සමබර පුන් පියවුරු, අද වන විට දිය පෙරන පෙරහන් කඩක් සේ බිම බලාගෙන පහතට එල්ලී සිටින්නේ නිකම්ම නිකන් හම්කඩක් සේ ය.

ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනිච්චතා දර්ශනය සැබැවිනුත් සැබෑ ය. සදා නොවෙනස් වේ. අකාලික ය.

චිත්තකාර සුකතාව ලෙඛකා
සුභරෙ සුභමුකා පරෙ මම
තා ජරාය විලිහී පලම්බිතා
සච්චවාදී වචනං අනඤ්ඤතා

පෙර මගේ ඇස් බැමි දෙක සිත්තරකු විසින් මැනවින් අඳින ලද රේඛා දෙකක් මෙන් විය. දැන් මහලු හෙයින් අග රැළිවලින් යුතුව එම බැමි දෙක එල්ලා වැටේ. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේ ම ය.

පත්තලී මකුලවණ්ණසාදිසා
සොභරො සුදන්තා පුරෙ මම
තෙ ජරාය ඛණ්ඩිතාච පීතකා
සච්චවාදී වචනං අනඤ්ඤතා

පෙර මගේ මනහර වූ දත් මූණමල් පැහැයට සමානව මනහර විය.දැන් මහලු බව හේතුවෙන් එම දත් කැඩුණේ ද කහ පැහැ වූයේ ද වේ. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේ ම ය.

නාගභොග සදිසෙපමා උභො
සොභරෙසු ඌරු පුරෙ මම
තෙ ජරාය යථා වේළුනාළියො
සච්චවාදී වචනං අනඤ්ඤතා

පෙර මගේ ඉතා මනහර වූ කළවා දෙක ඇත් සොඬ මෙන් මනහර විය. දැන් මහලු වීම නිසා එම කළවා දෙක උණ පුරුක් මෙනි. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේ ම ය.

ඊ දිසො අහු අයං සමුස්සයො
ජප්ජරෝ බහුදුක්ඛනමාලයෝ
සොපලෙපපතීතො ජරාඝරො
සච්චවාදී වචනං අනඤ්ඤථා

එදා එසේ වූ මේ සිරුර මෙදා ජරාවෙන් පිරි දුක් කන්දරාවකට නිවාසයක් වූ හැටි ජරාවට පත්වී ගරා වැටුණු බදාම ගැලවී දිරාපත් වූ මේ ශරීර කූඩුව අනිත්‍යතාවයේ ජීවමාන සංකේතයක් වැනි ය. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු වදන සදා එසේමයි. කිසිදා වෙනස් නොවේ.

බඹයක් තරම් වූ සිය සිරුර ඇසුරින් තුන්ලෝ පුරා ඉතිරී පැතිරී පවතින අනිත්‍යතා ලක්ෂණය මෙනෙහි කරමින් ඒ අනුව දුක්ඛ ලක්ෂණය ද, අනාත්ම ලක්ෂණය ද අවබෝධ වන සේ විපස්සනා වැඩූ අම්බපාලි තෙරණිය මඟ ඵල ලබා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ රහත් බවට පත් තෙරණියක වූවා ය.

එදා තරුණ හදවත් සසල කළ අභිමානවත් සුරූපී අම්බපාලිය අභිසාරිකාව දෙතිස් කුණපයෙන් පිරී මේ සිරුරේ සැබෑ ස්වරූපය හඳුනාගෙන යථාභූතඥානය ලබා උදාන ගීයක් වශයෙන් ද සිය අත්දැකීම් නිතර නිතර මෙනෙහි කළා ය.

උපන් දා සිට සදා සිදුවන්නකි අප සිරුර ජරාවට පත්වීම (ජරාපි දුක්ඛා) ඒ දහම ප්‍රඥාවෙන් දුටු ළමා වියෙන් යොවුන් විය කරා වැඩීමත්, ඉක්බිති භද්‍ර යෞවනයට එළඹීමත් සදා නොනවතින දිරාපත්වීමේ ම අඛණ්ඩ සිද්ධි දාමයකි. ලක්ෂණයකි. මේ දිවි ගමනේ කළු කෙස් සුදු වී,ඇඟ රැලි වැටී, ඇස් නොපෙනී, කන් නෑසී,ගඳ සුවඳ, රස නීරස නොහඳුනන තත්ත්වයට පත්වන තරම්. ජරාවට දිරීමට පත්වීම පුදුමයක් සේ නොපෙනේ. පුදුමයක් වන්නේ එසේ නොවුවහොත් පමණි.

මේ පරමාර්ථය අවබෝධ කරගත් අම්බපාලි තෙරණිය එදා සිත්කළු රූ සපුව මෙදා ජරාපත් වී ඇති අයුරු මෙනෙහි කරන්නේ දොම්නස් සහගත සිතකින් නම් නොවේ. ඇය සියල්ල පුරා ඉතිරී පැතිරී ඇති අනිස පසක් කළ බැවිනි.

සප්බං අනිච්ඡං “ලොව සියල්ල බිඳෙයි.නොතිරයි, දුකයි. යන දහම පසක් කළ දහම් ඇස පහළ වූ ඇය යථාර්ථය දුටුවා ය. රහත් වූවා ය.

අසහාය රූප සම්පත්තියකින් ද, අද්විතීය ප්‍රඥා මහිමයකින් ද නගර සෝභනියක වුව ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී තමා සතු අති රමණීය අඹ වනය බුදුපාමොක් මහ සඟනට ආරාම පහසුව සඳහා පූජා කළා ය. සිය පුත් විමල කොණ්ඩඤ්ඤ තෙරණුන්ගෙන් දහම් අසා පැවිදි වී විදසුන් වඩා නිවන් මඟ පසක් කළා ය.

දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]